Blog



ඇරඹෙන විට නුඹ ආශා වෙති සැවොම... සෝ සුසුම් හෙළති සමහරුන්... රසවිදියි නුඹ ව නානාප්‍රකාරයෙන්... හාත්පස දියපොදක් පේනතෙක් මානයේ නැති, මදක් හෝ ප්‍රාණයක් සහිත ගහකොළවලින් නිමග්න වූ, ඉරි තැලුණු කර්කශ පොළොව මතට දිය බිඳක් වැටීම ම අමෘතයකි. අහස් කුස සිසාරා කාල වර්ණයෙන් යුත් මේඝ වලා දිස්වද්දී, ඒ අතරින් නේක රටා හා බියගුළු හඬ නංවමින් රිදී රේඛා ඔබ මොබ සැරි සරද්දී හුදී ජනයා පමණක් නොව ගහකොළ සතා සීපාවා පවා මෙය සොඳුරු ඍතුවක පෙර මග කියාපාන බැව් දනිති. එලෙසම එයට නොමද ව ලොල් බදිති. නානාප්‍රකාරයෙන් රසවිදීමට උත්සුක වෙති. මේ අතර වසත් සමය කෙරෙහි සිත් තැවුලෙන් සිටින පිරිසක් ද නැතුවා නොවේ. ගතකරයි ඇතැමුන් දවස ම සයනයෙහි සමවැදී තම සිහිනයන්හී... බොහෝදෙනා ප්‍රිය කරන්නේ සීත සුළං ධාරාවන්ට මැදිව "සර සර" යන්නෙන් වැහි බිදු පොළොව සිපගන්නා පසුබිම් වාදනයට සවන් දෙමින් තමා මවාගත් මනෝ ලෝකයක අතරමං වෙමින් සැප පහසු සයනයේ නිදි දෙව්දුව සොයා යාම යි. සැබැවින් ම මෙම වසත් සමය තුළ අප ළඟා කරගන්නා නින්ද අන් කවර නින්දකටත් වඩා සැපවත් හැඟීමක් ගෙන දෙනු බැව් මම අත්දැකීමෙන් දනිමි. කල්ගෙවයි සමහරුන් යට වී පොත් ගොඩකට තොලගාමින් උණුහුම් කෝපි උගුරක්... මනස නිදහස් කරන කදිම ඖෂධයක් ලෙස පොත් හැදින්විය හැක. නවකතා, පරිවර්තන, ප්‍රබන්ධ වැනි තමාගේ රසයට ගැළපෙන තම සිත නිවන ඕනෑම පොතක් සහ දුම් දමන කෝපි කෝප්පයක් යනු ජාඩියට මූඩිය මෙනි. මන්ද යත් අප තුළ ඇති රසවින්දන හැඟීම් උද්දීපනය කළ හැකි මහානර්ඝ බලයක් වස්සානය සතු යැයි මා නොමද ව විශ්වාස කරන බැවිනි. හාත්පස නරඹමින් කවුළුවක් අසල අසුනක හිඳ පොතක් කියවීම දිව්‍යලෝකයේ ගියා හා සමාන ය. දුම් දමන කෝපි කෝප්පය අමතක නොකිරීමට වගබලා ගත යුතු ය. සතුටු වෙති ගොවියෝ දරමින් අටුකොටු සාර සුබ සිහින... ගසක් ඵල දරන්න පොහොර, සාරවත් පසට අමතරව ජලය ද අවශ්‍ය බැව් අප හොදාකාර ව ම දනියි. එබැවින් අහස් දිය යනු තම ජීවිත කාලය ම මහපොළොව සමග පොරබදන ගොවීන්ට මහමෙර තරම් ය. අටු කොටු අස්වැන්නෙන් පිරී ඉතිරී ගොස් තම අඹුදරුවන්ට සාරවත් ජීවිතයක් උදාකරදීම තරම් සතුටක් ඔවුනට නොමැත්තේය. රට දැය බත බුලතින් සරු කිරීමට දායක වන ගොවීන්ට වසත් සමය යනු වෙස්වලාගත් ආශිර්වාදයකි. "අහෝ පවකි මේ අනෝරා වැහි කෝඩ" පවසති ශාප කරන ඇත්තෝ... මෙතෙක් වේලා මා සඳහන් කරන ලද්දේ වර්ෂාව පිළිබඳ ඇතැම් පුද්ගලයන් තුළ ඇතිවන සුබදායක සිතුවිලි පමණි. නමුත් ඕනෑම දෙයක දෙපැත්තක් ඇති බව පසක් කරමින් වර්ෂාවේ අඳුරු පැතිකඩක් ද නැතුවාම නොවේ. උදේ සවස දෛනික රැකී රක්ෂාවලට යන්නාවුන් ද එළිමහනේ තම කර්මාන්තයන්හි නියැලෙන්නාවුන්ට ද වැස්ස මහත් බාධාවකි. මන්ද යත් තම එදිනෙදා ජීවන වියදම සපුරා ගැනීමට ඉන් නොහැකිවන බැවිනි. ඔවුන්ගේ හිත් පත්ලේ වැස්ස ගැන අනෙකා තුළ මෙන් ආශාවක් නැතුවා නොවන නමුත් එදාවේල සරිකර ගනනේ කෙසේද යන්න සිතුවිල්ල එයා පරයා නැගී සිටියි. මුදල් මූලික කොටගත් සමාජයක මෙය සාමාන්‍ය දෙයකි. සෑමදෙනා ම මුදල් පසුපස හැල්මේ දුවති. එහෙයින් වර්ෂාව ඔවුනට බාධාවක් වූ විට මැසිවිලි නගන්නේ එබැවිනි. නමුත්, කෙළිදෙලින් නිදහසේ පෙඟී තෙත්වන්නට සිතැත්තෙමි මා...සැමවිට! කුඩා දරුවෝ වැස්සට බොහෝ ප්‍රියකරති. ඔවුහු වැස්සේ තෙමෙති. සෙල්ලම් කරති. කඩදාසි බෝට්ටු සාදා පා කරති. දෙමාපියන්ගේ අපමණ දෝෂාරෝපණ මධ්‍යයේ වුව ද ඔවුහු මෙවන් දේ කිරීමට වඩ වඩා නැඹුරු වෙති. එය නම් කුඩා දරුවන් තමාගේ මනසේ හැටියට වැස්ස විදින ආකාරය යි. වයසින් කිසිසේත් ම ළමයෙකු නොවන නමුත් මනසින් පමණක් ළමයෙකු වන රචකයා හෙවත් මම ද වඩා පෙම් බදින්නේ මෙලෙස වැස්සේ තෙමි තෙමී සිත් සේ විනෝද වීමට යි. එය කාර්යබහුල ලෝකයෙන් මදකට මිදී වෙනම ලෝකයක අපව අතරමං කරවීමට පෙළඹෙයි. සත්‍ය වශයෙන් ම මෙලෙස වැස්සේ තෙමීමෙන් ලබන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකි අමුතු ම එකකි. නමුත් වර්තමානය වනවිට කාලය හරස් වී ඇත. මෙවන් වයසක දී වැස්සේ තෙමී නටන පුද්ගලයෙකු දැකීමෙන් ඔහුගේ හෝ ඇයගේ පූර්ව ළමාවිය සංවර්ධනය වී නැත්දැයි ඇතමෙකුට සිතිය හැක. නමුත් මාගේ අදහස නම් අහසින් වැටෙන මෙම දිය බිඳු වල රටාව රසවිඳීමට වයස බාධාවක් නොවන බව යි. මන්ද යත් අපගේ වයසෙහි අගය කෙතරම් වැඩි වුවත් මිය යන තෙක් ම සැමදාම අප තුළ ළමයෙකු ජීවත් වන බැවිනි. එහෙයින්, වස්සානය මා නුඹට අපමණ ව ආදරය කරමි... කෙතරම් මැසිවිලි නැගුවත් මා ඇතුළු සැවොම වස්සානයට ප්‍රේමය කරති. ඇතැමෙකුගේ උඩු හිත එය පිළිගැනීමට අකමැති වුවත් සකල මනුෂ්‍ය වර්ගයා වර්ෂාවට හද පත්ලෙන් ම ආදරය කරයි. ලෙන්ගතු වෙයි. අප පමණක් නොව මෙලොව වසනා සියළු සතා සීපාවා ගහකොළ පවා මෙය රසවිදිති. ආදරය කරති. ලෙන්ගතු වෙති. එය හුදෙක් සොබාදම් මාතාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ධර්මතාවක් හෙයිනි

NEWS

විභව Unframed | Episode 32 | වස්සානය

  • Date: 2021-10-01