Blog



පොතකට පිට කවරයක් දැමූ අය මිස හිතකට පිට කවරයක් දැමූ අය ගැන ඔබ අසා තිබෙනවා ද? විභව, මං ආස ම මගේ කවිය පහළොස්වන ලියමනට සංවාදයට එක්වුණේ එහෙම හිතකට පිටකවරයක් දාපු තරුණ කවියෙක්. රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ඔහු නමින් යසිත උපමාල් ජයසිංහ. මේ වසරේ මුල භාගයේ "පිට කවරයක් දැමූ හිතක්" නමින් තම කුළුදුල් කෘතියෙන් කාව්‍යකරණයට පිවිසි යසිත එහි එන කවියක් තමන්ගෙ ආස ම කවිය විදියට තෝරාගත්තා. "දන්නව ද සඳත් තියෙන්නෙ ම බැබළෙන්න පොදක් වැටෙන්න ම පායන්න කඳුත් එක්ක ම බෑවුම දන්නව ද හිත් තියෙන්නෙ ම පෑරෙන්න උදේට පිපුණු මල් හවසට පරවෙන්න උදයේ හිරු අවරින් බැස යන්න රැයක් ගෙවී එළි වෙන්න දන්නව ද කාලය තියෙන්නෙ ම ගෙවිලා යන්න කූඹියකු මෙරුවෙකු වී ඉඟිලෙන්න තටු ටික ගැලවෙලා සීසීකඩ විසිරෙන්න තවත් එකෙකුගේ ගොදුරක් වෙන්න දන්නව ද ඉපදෙන්න දවසක මියයන්න..." විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ඉගනුම ලැබුවද සාහිත්‍යට, කලාවට දැඩි ඇල්මක් දක්වන ඔහු තාක්ෂණයට බර ලොවක පොතපතට පෙම් බඳින තරුණයෙක්. ඉතින් ඒ සාහිත්‍යකාමී කවියා විභව එක්ක වචන ඇමිණුවේ මෙහෙම යි. මේ කවියේ පොදු අදහස කිව්වොත්, මං විශ්වාස කරන දේ තමයි හිත් කියන ඒවා මේ වෙලාවේ සතුටින් තියෙනවා ඊළඟට බිඳිලා යනවා. ඒ දේවල් ගොඩක් වෙන්නේ ආදරේදී. පළමු බැල්මෙන් කැමති වෙලා පස්සේ දුර ඉඳන් ආදරේ කරනවා. ටික ටික මේ දෙන්නගෙ තියෙන දුර පරතරය ලං කර ගන්නවා. සරලව අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා කියලා කියනවා. දෙන්නෙක්ට කවදාවත් එක්කෙනෙක් වෙන්න බෑ. ඒත්, එහෙම කියනවා නේ. ඒ උනාට දෙන්නගෙ ආදරේ එකක් වුණාට පස්සේ වෙන්නෙ එතැන් පටන් වෙන් වෙලා යන එක තමයි. ඒ කියන්නේ අපි ලංවෙනවා. හැබැයි ඒ එක්ක ම අපේ වෙන්වීමත් ලංවෙනවා. 'සඳත් තියෙන්නෙ ම බැබළෙන්න පොදක් වැටෙන්න ම පායන්න කඳුත් එක්ක ම බෑවුම දන්නව ද හිත් තියෙන්නෙ ම පෑරෙන්න...' සඳ බැබළෙනවා. පොදත් වැටෙනවා සුන්දර රාත්‍රියක්. ප්‍රේමයත් ඒ වගේ ම සුන්දරයි. අපි කන්දක් නඟිනවා. හැබැයි අවසානයට බෑවුමක් තියෙනවා. අපි කොච්චර නැග්ගත් අවසානය බෑවුමක්. ආදරේ කරන අය ටිකෙන් ටික ලංවෙනවා. හැබැයි ආදරෙන් බැඳුණ මොහොතේ ඉඳන්, වෙන් වෙන්න පටන් ගන්නවා. ලං වීමක් තියෙනවා නම්, වෙන් වීමකුත් තියෙනවා.කන්දක් නැග්ගොත් බෑවුමක් තියනවා වගේ. ඉතින්, හිත් පෑරෙනවා ම තමයි. 'උදේට පිපුණු මල් හවසට පරවෙන්න උදයේ හිරු අවරින් බැස යන්න රැයක් ගෙවී එළි වෙන්න දන්නව ද කාලය තියෙන්නෙ ම ගෙවිලා යන්න...' අපි ගෙදර ඉස්සරහ මල් ගහක් වවනවා. අපි හිතමු රෝස ගහක් කියලා. අපි ඒකෙ ලස්සන මලක් පිපෙනවට කැමතියි. අපි උදේ ම ගිහින් බලද්දි මල් පිපිලා ලස්සනට පිණිබිඳු වැටිලා තියෙනවා. ඒ වුණාට දවසින් දවස ටිකෙන් ටික පරවෙලා යනවා. අපිට කවදාවත් ඒක පර නොවී පිපුණු විදියට ම තියාගන්න බෑ. ඒ වගේ ම තමයි උදේට ලෝකය ම එළිය කරන ඉරත් හවසට බැහැලා යනවා. ඒ ඉරත් එක්ක ම මිනිස්සුත් හැඩගැහෙනවා. මේ කවියෙන් කියන්න ඕනේ වුණේ මිනිස්සුන්ගෙ බැඳීම් අතර තියන ලංවීමේ හා වෙන්වීමේ පරතරය එක්ක මිනිස්සු වෙනස් වෙන විදිය. අපි කොච්චර දේවල් කරත් කොච්චර සතුටින් ඉන්න හැදුවත්, අපේ හිත එක්තරා මොහොතක දී බිඳෙනවා. ඒ බිඳුණම ආයෙ අවස්ථාවක් හම්බෙනවා අලුත් ආරම්භයක් ගන්න. ඒ අවස්ථාව දෙන්න තමයි රෑවෙන්නෙ. ආයෙ එළිවෙන්නෙ. ආයෙ ආයෙ ම රෑ වෙන්නෙ එළිවෙන්නෙ. ඉතින් ඔහොම අපේ කාලය ගෙවිලා යනවා. 'කූඹියකු මෙරුවෙකු වී ඉඟිලෙන්න තටු ටික ගැලවිලා සීසීකඩ විසිරෙන්න තවත් එකෙකුගේ ගොදුරක් වෙන්න දන්නව ද ඉපදෙන්න දවසක මියයන්න...' මේ ජීවිතයේ කාල පරතරය ඇතුළෙ අපි ඉපදුණු මොහොතේ ඉඳන් අම්මගේ මූණ දිහා බලාගෙන කිරි ටික බීලා ලොකු වෙලා මිනිස්සු එක්ක බැඳීම් ඇති කර ගෙන හිත් පාරගෙන යන ගමනේ කෙළවර තමයි මරණය. තමන් ජීවත්වන කාලය තුළ මිනිස්සුන්ට අදහසක් තියෙන්න ඕනි අපි මේ යන්නෙ මියයන්න කියලා. ජීවිත කාලය තුළ සමාජය තුළ විවිධ බැඳීම් ඇති වෙනවා. ඒ ආදරය ම වෙන්න ඕනි නෑ. මේ බැඳීම් ඇතුළේ බිදීම් සිද්ධ වෙනවා. තනි වෙන්න වෙනවා. එහෙම තනි වීමේදී මිනිහෙකුට වෙන්න පුළුවන් හොඳ ම දේ තමයි තමන්ට තමන් ම මුණ ගැසීම. තමාට තමාව පැහැදිළි ව අඳුරගන්න කාලය ලැබීම. මේ ජීවත්වෙන ටික කාලය ඇතුළේ ආගම් බේද,ජාති බේද හදාගන්නවා කියන්නෙ, ආදරය ඇතුළෙ වෛරය හදා ගන්නවා කියන්නේ ජීවිතෙන් තේරුමක් නෑ. තමන්ට තමන්ව ගිලිහෙනවා. හැම මිනිහෙක්ටම තියෙන්න ඕන අනෙක් කෙනා ගැන ගෞරවයක්. ආදරයක්. ඒ වගේ ම අද අපි අඳුරේ නම් අපි දුකින් ඉන්නවනම්, අද අපට සැනසීම නැත්නම්, අපි දැනගන්න ඕනේ කවද හරි අපිටත් සතුට, සැනසීම, එළිය ලැබෙන දවසක් තියෙනවා කියලා. මං දකින දෙයක් තමයි ජීවිතේ දුක සතුට සීයට පනහා-පනහා තියන්නෙ. කෙනෙක් දුකින් ඉන්නකොට කෙනෙක් සතුටින් ඉන්නවා. ඒක මේ ලෝකේ හැටි. ලෝක හැමෝට ම සතුට ඉන්නත් බෑ. හැමෝට ම දුකින් ඉන්නත් බෑ. දුක සතුට සමබර වෙන්න ඕනේ. අද දුකක් තියෙනවා නම් හිතට සතුටක් ලැබෙයි. අද අඳුරෙ ඉන්නවා නම් හෙට ආලෝකයක් ලැබෙයි. ඒ දුක සතුට අඩුවැඩි විදිහට ලැබෙද්දී අපි ඒක උපේක්ෂාවෙන් බාර ගන්න ඕනේ. මේ කවිය පටන් ගන්න තැන ඉඳන් ඉවරවෙන තැන වෙනකම් මට කියන්න ඕන වුණේ මිනිහෙක් ඉපදුණා නම් තමන් මිය යන බව දැනගෙන ඉන්න ඕන කියලා. ඒ නිසා තමන්ගෙ ජීවිත කාලය තුළ හොඳින් ජීවත්වෙන්න ඕනි කියලා... මේ ඔහුගෙ ෆේස්බුක් පිටුවෙන් ඇහිඳගත්ත ලියමනක්. ඒකත් මං මෙතනට ම අලවන්නම්... "තනිකම.ඒ වචනෙ ඇහෙනකොටත් පොඩ්ඩක් තිගැස්සෙනවා.මිනිස්සු වෙන ම මනෝ ලෝකෙකට අරන් යනවා. ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ඇවිත් මනුස්ස ජීවිතයක් ලැබිලත්.ඒ ජීවත් වෙන අවුරුදු හැට හැත්තෑව කාලයේ දි සැළකිය යුතු තරම් කාලයක් තනි වෙනවා කියන හැඟීම දැනෙනකොට අපිට බය වෙන එක සාධාරණයි. ජීවිතය තුළ ඍතු කිහිපයකට පසු තද වැස්සක් ඇදවැටෙනවා කියලා හිතන්න.අපිට ඒ වෙලාවට නවාතැන්පලක් වෙන්න වෙනවා.ගොඩ අය එනවා. වැස්ස නතර වුණාම යන්න යනවා.ඒ අය එනකොට අරන් ආව මඩ පැල්ලම් පොළොව අවලස්සන කරනවා.ඒත්, අපි ඒවා අමාරුවෙන් මකන්න උත්සහ කරනවා.සමහර විට ඒ කැළැල් නින්දටත් බාධාවක්. මං පෞද්ගලිකව අත්වින්ද කාරණාවක්. ජීවිතයට හොඳ කියවීමක් අවශ්‍යයි.අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න.තව කෙනෙක් අපිව දකින්නෙ කොහොමද කියලා දැනගන්න.ඒ කියන්නෙ අපි වගකීම් සහගත මිනිස්සු කියලා අපිට ම දැනෙන්න ජීවත් වෙන්න.ආදරය කියන්නෙ වගකීමක්, වගකීම් සහගත මිනිස්සු ඉස්සරහ.ඒ නිසා හදිසි නවාතැන් ගන්න අයගෙන් ජීවිතේ,තමන් ව දකින්න යන්න එපා.මොකද, ඒක හෘදස්පන්දන වේගය වැඩි කරන උඟුලක්. තමන්ට ඕනෙ ම නම් ඒ එන අයගෙ නම්වලින් මල් පැළයක් හිටවන්න.මල් පිපෙන්න දෙන්න.ඒ ලස්සන උදේ හවස විඳින්න. එහෙම දවසක, එහෙම හවසක, වැස්ස නැති වෙලාවක, තමන්ට උරුම මිනිස්සු ඒ නවාතැනට ගොඩ වෙන්න පුළුවන්.අන්න එදාට ජීවිතේ කියවන්න පටන් ගන්න. ආදරණීයන් කැමති හැඩි වෙච්ච තැන්වලට නෙවෙයි.ලස්සනට මල් පිපෙන තැන්වලට. පුළුවන් නම් හදවතේ මල් පැළ හිටවන්න..." මව් කුසෙන් ඉපදිලා, මිනිසත් කමට නිගා කරමින් නොමැරෙන අය ගානට ඉන්න මිනිසුන් අතරේ, නොමිනිසුන් නොවෙන්නට, ජීවිත ගමනෙ එකිනෙකාට ප්‍රේම කරන්න,ගරු කරන්න, ජීවිතය තේරුම් ගන්න අපිට කියාදෙන මේ කවිය එක්ක ඔහුගේ මේ කවිපොත තව නොබෝ දිනකින් ම ඔබ අතට ලැබේවි. ************** බාහිර විචාරය මේ කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්... ජීවිතය කියන්නේ හරියට මායාවක් වගේ දෙයක්. අපි ඒ ස්වභාවික මායාවට තවත් අලුත් ඉන්ද්‍රජාල එකතු කරල ඒ මායාව තවත් පටලවනවා. අපි කරන්නේ මොකක්ද කියලා හරියට අපිටවත් තේරෙන්නේ නෑ. හැබැයි අපි ඒක කරනවා. ඒකට මොකක්ද කියන්නෙ කියලා මට හරියට ම තේරෙන්නේ නැහැ. ඒත් මං ඒක ගැන එක දෙයක් කියනවා. අපි කරන්නෙ ම අපි හොඳට ම දන්න දේවල් නොදන්නවා වගේ රඟපානවා. ඒ රඟපෑම කරන කොට අපි ගොඩක් මහන්සි වෙනවා. අපි ගොඩක් කැප වෙනවා කියලා අපි අනිත් අයට ඒත්තු ගන්නන්න උත්සුක වෙනවා. ඉතිං අපි හැමෝම කරන්නේ ඕක. අපි හොඳටබ්ම දන්න දේවල් නොදන්න දේවල් විදිහට හිතාගෙන අහපොළව ගැටලන්න කල්පනා කරන ගමන් අපි ඒවට උත්තර හොයනවා. සරල ම දේවල්වලට බහුවිධ ආටෝප එකතු කරලා අපි සංකීර්ණ දේවල් මවනවා. වෙස් මූණු දානවා, පිටකවර දානවා, හොඳ ම මෝස්තර තියන රැපිං කඩදාසි වලින් ඔතනවා, තීන්ත ආලේප කරනවා, හැඩය වෙනස් කරනවා. ඊට පස්සේ අපි දිනනවා, ලකුණු ගන්නවා, සතුටු වෙනවා. සමහර වෙලාවල්වලදී අපේ ප්‍රෝඩාව ඉස්මතු වෙනවා ඒ වෙලාවට අපි ලැජ්ජා වෙනවා, ඇඹරිලා, ලිස්සලා යනවා. මිනිස්සු හැමෝම ජීවන රඟමඩලේ රඟපාන නළුනිළියෝ කියලා මං අහලා තියෙනවා. ඒත් මොකට මෙච්චර රඟපානව ද කියලා අපිට ම තේරෙන්නේ නැහැ. ඒ රඟපෑම්වල කිසිම තේරුමකුත් නැහැ. හැබැයි අපි රඟපෑම නවත්තන්නෙත් නැහැ. මේ ගැන හරියට ම විචාරයක් කරන්න පුළුවන් වටිනා තිළිණයක් මෑතකදී මට හම්බ වුණා. මට හිතෙන විදියට ඇත්තටම මේකෙන් කරන්න පුළුවන්, අපි කඩදාසි ඔතලා, තීන්ත ගාලා ,වෙස්මූණ දාලා වසන් කරන යම්කිසි දෙයක් එළියට අරගෙන හොඳට ඒ මේ අත හරවලා බලන්න අවස්ථාවක් ලබා දීම. මේක මට හම්බුණේ කවි පොතක තිබිලා. කවි පොතේ නම තමයි, පිට කවරයක් දැමූ හිතක්.. ඒ හිතට පණ පොවල තියෙන්නෙ යසිත උපමාල් ජයසිංහ කියන දක්ෂ තරුණ කවියා. බැලූ බැල්මට එකපාරට ම හරියට ම තේරුම හොයාගන්න ටිකක් අමාරු වුණත් දෙතුන් විඩක් කියෙව්වහම ඇත්තට මේකේ හැංගිච්ච ගැඹුරු තේරුමක් තියෙනවා කියලා මට හිතුණා. ඔහු මහා ලොකු දිග කතාවක් කියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. කවිය පටන් ගන්නෙම අපෙන් දන්නවා ද? කියලා අහලා. පළවෙනි පද පේළි ටික තියෙන්නෙ මෙන්න මේ විදිහට. "සඳත් තියෙන්නෙ ම බැබළෙන්න... පොදක් වැටෙන්න ම පායන්න... කඳුත් එක්ක ම බෑවුම... දන්නව ද...? හිත් තියෙන්නෙ ම පෑරෙන්න..." හඳ අපි හැමෝම දන්න දෙයක්. ගොඩක් මිනිස්සු හඳට කවිත් ලියල තියනවා. හැමෝම වර්ණනා කරන්නේ හඳේ එළිය ගැන ,හඳේ බැබළීම ගැන, එහෙත් ඒ බැබළීම ලෝකෙට දෙන්න හඳ කොහෙන්ද එළිය ගත්තෙ කියලා කල්පනා කරන මිනිස්සු බොහෝම අතලොස්සයි ඉන්නේ. ඒ වගේම දවසක පුරහඳක් වෙලා පායන්න හඳ කොච්චර පෙරුම් පුරනවද කියලා මිනිස්සු කිහිප දෙනයි හරියට ම දන්නේ. මිනිස්සු හඳ වර්ණනා කරන්නෙත් පුර හඳක් වගේ ඒක අහසේ තිබුණොත් විතරයි. හඳ නැති දවසට මිනිස්සුන්ට හඳ ගැන ගාණක්වත් නෑ. පොදක් වැටෙන්න ම පායන්න තමයි. පොදක් වැටෙන වෙලාවෙදිත් මිනිස්සු බලන් ඉන්නේ, ඒක නතර වෙනකම් විතරයි. මේ පොද පොළවට වැටුණේ කොහොමද කියලා, වැටෙන්නේ ඇයි කියලා මිනිස්සු කොයිම වෙලාවකදිවත් හිතන්නේ නැහැ. ඒත් ඒ පොද නොවැටුණොත් අහසට දෙස්දෙවෙල් තියන්න මිනිස්සු බලන් ඉන්නවා. කඳුත් එක්ක ම බෑවුම.. මිනිස්සු හැම වෙලාවෙම දකින්නේ කන්ද විතරයි ඒත් කන්ද මුදුනට නැඟ ගත්තම පේන්නේ බෑවුම කියලා දන්නෙ මිනිස්සු කීප දෙනයි. මුදුනට ගිහිල්ල පහළ බලද්දී බෑවුම හරි ලස්සනට පේනවා කියලා දන්නේ බොහෝම පුංචි පිරිසක් විතරයි. ඒ හින්දා ගොඩක් මිනිස්සු කන්දේ තියෙන බෑවුමට වෛර කරනවා. ඒ විතරක් නෙමෙයි දන්නව ද? හිත් තියෙන පෑරෙන්න... මිනිස්සු හිතාගෙන ඉන්නේ එහෙම. ඒ වුණත් කවදාවත් ම කවුරුවත් කියන්නේ නෑ ඒ හිත්වලට ම තමයි පුළුවන් සැනසෙන්න, නිවෙන්න ,තවත් හිතකට සතුටක් ගෙනත් දෙන විදිහෙ වැඩක් කරන්න, හිතන්න පුළුවන් කියලා. ඒ විදිහට හිතන හිත් තියෙනවා මේ ලෝකෙ බොහෝම අතලොස්සක්. හැබැයි මිනිස්සු දකින්නෙම පෑරිලා වෛර කරන, ක්‍රෝධ කරන, දුකෙන් ඉන්න, කලකිරිලා ඉන්න ,පසුතැවීමක් තියාගෙන ඉන්න, කඳුළුත් එආඅක්ක ගනුදෙනු කරන හිත් විතරයි. ඒ නිසා මිනිස්සු හිතන්නේ හිත් තියෙන්නෙ ම පෑරෙන්න විතරක් කියලා. යසිත තමන්ගෙ දෙවැනි පද පේළිය පටන් ගන්නවා මෙන්න මේ විදිහට. "උදේට පිපුණු මල් හවසට පරවෙන්න... උදයේ හිරුත් අවරින් බැස යන්න... රැයක් ගෙවී එළිවෙන්න... දන්නවද...? කාලය තියෙන්නෙ ම ගෙවිලා යන්න..." මිනිස්සු හැමෝම මල්වලට කැමතියි. මල්වල චමත්කාරය, මල්වල අලංකාරය ජීවිතත් එක්ක බද්ධ කර ගන්නවා. හැබැයි එයාලා විශ්වාස කරනවා උදේට පිපුණ නම් අනිවාර්යෙන් හවසට මලක් පර වෙන්න ඕනේ කියලා. මට හිතෙනවා එයාලට අමතක වෙනව ද කියල දවසක පිපිලා බොහෝ කාලයක් පර නොවී තියෙන මල් ගැන. මිනිස්සු හිතාගෙන ඉන්නවා උදේට පායන ඉර අනිවාර්යයෙන් හවසට බැහැලා යන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම එයාලට අමතක වෙලා ද කියල හිතන්න ඕනේ ඉර එක ම තැනක තියෙද්දි අපි තමයි ඒ විදිහට වෙනස් ගමන් පථයක ගමන් කරන්නේ කියලා. රැයක් ගෙවිලා එළි වෙන්න ම ඕනි කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. මිනිස්සු එහෙම ප්‍රාර්ථනා කරගෙන තමයි රෑට නින්දට යන්නේ. හැබැයි රැයක් දවාලක් නැතුව නැතිව තමන්ගේ හිතත් එක්ක නින්දෙ ම; අඳුරෙ ම ගිලිලා ඉන්න, ඒක ඇතුළෙ ම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා මිනිස්සු දන්නවා. හැබැයි එයාලට ඒක අමතක වෙනවා. දන්නව ද ? කාලය තියෙන්නෙ ම ගෙවිලා යන්න. මිනිස්සු හිතාගෙන ඉන්නේ එහෙම. හැබැයි ඒ කාලයට සමහර තැනක සමහරෙකුගේ ජීවිත නතර කරන්න පුළුවන් කියලා මිනිස්සු හිතන්නේ නැහැ. මිනිස්සු දන්නවා. හැබැයි කතා කරන්න කැමති නැහැ. හේතුව තමයි අර මං කලින් කියපු එයාලා දාගෙන ඉන්න වෙස් මූණ, යාථාර්තය වැහෙන විදිහට ඔතලා තියෙන තියෙන රැපින් පේපර් එක, මිනිස්සු දන්නවා ඒක ගැලවුණොත් තමන්ගෙ ආත්මාර්ථයේ නිරුවත සමාජය දකිනවා කියලා. ඒ නිසා ම ඔවුන් යථාර්ථය දැක්කත් නොදැක්ක ගානට ම ඉන්නවා. යසිත තමන්ගෙ තුන්වෙනි පද පේළිය පටන් ගන්න මෙන්න මෙහෙම කතාවකුත් එක්ක. "කූඹියෙකුට මෙරුවෙකු වී ඉඟිලෙන්න... තටු ටික ගැලවිලා සීසීකඩ විසිරෙන්න... තවත් එකෙකුගේ ගොදුරක් වෙන්න... දන්නව ද? ඉපදෙන්නේ දවසක මිය යන්න... " අපි ගෙවන ජීවිත මහා පුදුමාකාරයි. ඉපදෙන හැම ජීවියෙක් ම තමන්ගේ ජීවිතයේ විවිධ කඩඉම් පසු කරනවා, අත්දැකීම් ලබා ගන්නවා ,පරිණත වෙනවා, ජීවිතය ගැන තේරුම් ගන්නවා, අන්තිමේට දවසක ඒ හැම දෙයකම මතක විතරක් ඉතිරි කරලා, හැමෝගෙම මතකෙ විතරක් රැඳිලා සදහටම මේ ලෝකෙන් යන්න ම යනවා. මේ ක්‍රියාවලිය අපා, දෙපා, සිවුපා, බහුපා, මිනිස්සු, සත්තු හැමෝටම පොදු දෙයක්. කොහොම වුණත් අන්තිමේදී මේ ලෝකෙට ආව හැමෝම අනුන් වෙනුවෙන් ජීවත් වෙලා දවසක මේ ලෝකෙන් යන්න ම යනවා. මිනිස්සු මේ කතා කරන දේ ගැන හොඳට ම දන්නවා. දවසක හැමදේම දාලා යන්න වෙනවා කියලාත් දන්නවා. ඒ වගේම බැඳීම් වැඩි වන තරමට රිදීම් වැඩි වෙනවා කියලත් දන්නවා. දවසක මේ තත්ත්වයට තමන් තනියම මුහුණ දෙන්න ඕන කියලත් දන්නවා. හැබැයි මිනිස්සුන්ට මේක ගැන කථා කරන්න වෙලාවක් නැහැ. එයාලට ඊට වැඩිය වැදගත් වැඩක් තියෙනවා. වෙස් මූණ දාන්න, තීන්ත ගාන්න , රැපිං කරන්න මේ වගේ වැඩවලට මිනිස්සු තමන්ගෙ මුළු ජීවිතේම කැප කරනවා. ඉතිං එයාලට එයාලා හොඳට ම දන්න මේ කාරණා ගැන හිතන්න වෙලාවක් නැති වෙලා යනවා. හරියට අපේ හඳ ගැන, වැස්ස ගැන ,කඳු ගැන ,මල් ගැන, ඉර ගැන, මරණය ගැන, ජීවිතේ ගැන හැම දෙයක්ම දැනගෙන එකේ යථාර්ථය දැකගෙන ,ඒ දැක්කත් දැනුණත් නොදැක්ක ගානට, නොදැනෙන ගානට, නොදන්න ගානට, රඟපානවා වගේ.කොහොම වුණත් මටනම් හිතෙන්නේ මිනිස්සු තමන්ට පේන යථාර්ථය පිළිගන්න කැමති නෑ වගේ දෙයක්. ඇත්තටම එයාලා එහෙම රඟපාන්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි, එක දවසක් එයාලගෙ ජීවිතවල ලොකු පසුතැවීමක් ඉතුරු කරයිදෝ කියලා මට හිතෙනවා. මොනව වුණත් විචාරාත්මක කියවීමකින් ඒ පසුතැවීම ටිකක් හරි නතර කරගන්න යසිත උපමාල් ජයසිංහ තරුණ කාව්‍යකරුවා උත්සාහයක් දරලා තියනවා කියලා මට හිතෙනවා .ඔහු කියන විදිහට අපි දන්න ම දේවල් ගැන අපෙන් ආයෙත් වතාවක් දන්නවා ද? කියලා ඔහොම අහලා අපිට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා කියලා මට හිතෙනවා. කොහොමද ජීවිතේ ගැන අපි දකින පටු විදිය වෙනුවට ටිකක් පුළුල්ව දකින්නෙ ටිකක් ලොකු පරාසයක විහිදෙන විදියට දකින්නෙ කියලා හිතන්න යසිත අපිට මඟක් පෙන්නල තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඒක ඉතා ම සාර්ථක මාර්ගයක් කියලත් මට හිතෙනවා. ඒ මාර්ගය තුළ අපි හරියට ගමන් කළොත් ඉන් කවදහරි දවසක මං කලින් කිව්ව වගේ අපිට විඳින්න වෙන පසුතැවීම් ටිකක් දුරට හරි සමනය කරගන්න පුළුවන් වෙන විදියට ජීවිතේ දකින්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඉතිං කවියකට, කතාවකට, සින්දුවකට පද ටිකක් විතරක් ම දෙනවට වැඩිය ඒ පද ටික ඇතුළෙ හිතන්න දෙයක් ඉතිරි කරනවා නම් එක සාර්ථක නිර්මාණයක් කියලා මට හිතෙනවා. කොහොම වුණත් මේක ඉතා ම සාර්ථක නිර්මාණයක් කියලා මම භය නැතුව කියනවා. හේතුව තමයි ජීවිතය අපිට හිතන්න අමතක වෙලා තිබුණ දෙයක් අපි මෙච්චර කාලයක් හිතපු නැති දෙයක් නැවත වතාවක් හිතන්න අපිට මතක් කරලා දෙන්න කවි සිතට පුළුවන්කම තියෙනවා. මේත් එක්කම මං ඔයාලට එක අලුත් යෝජනාවක් කරන්න කැමතියි. හැමදාමත් අපි දකින ගහකොළ, ඉරහඳ ,තාරකාවැස්ස, කඳුපන්ති , ජලපහරවල් මේ හැම දෙයකින්ම පුළුවන් නම් ජීවිතේ දකින්න.යථාර්ථවාදී ජීවිතයක් ගත කරන එක බොහෝම අර්ථවත් වැඩක් වේවි. බොහොම රසවත් අත්දැකීමක් වේවි. ඉතින්, ඔයාගෙ ජීවිතේ දැක්ම ටිකක් පුළුල් කෝණයකින් දකින්නත්, යසිතට තව තවත් අලුතින් හිතන්න පුළුවන් යමක්, දකින්න පුළුවන් යමක්, සමාජයට දායාද කරන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ විවරණයට මෙතෙකින් තිත තියෙනවා...

NEWS

මං ආස ම මගේ කවිය | 15 වන දිගහැරුම | යසිත උපමාල් ජයසිංහ සමඟ...

  • Date: 2021-08-16