Blog



"අපි අහල තිබුණේ සූර්යයා රතු තරුවක් වෙලා ඉන්පසුව සුදු වාමනයෙක් ලෙස අවසන් ගමන් යන බවයි. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නෙ හරය සිසිල් වීමට පටන්ගෙන එය මතුපිට කබොල දක්වා සිසිල් වී ගෙන පැමිණ මුළු තරුවම එකවර නිවී යාම යි. තියෙන ප්‍රමාණයට වඩා මඳක් විශාල වූ රතු පැහැති තරුවක් විදියට අවසාන කාලයේ දී සූර්යයා අපට දැකගැනීමට හැකි වේවි." "ඇති නේලා ඇති..." අයාල් මගේ කියවීම නැවැත්වූයේ එක්වර ම යි...නාසා ආයතනය අනුබද්ධිත ව මසකට වරක් ලෝකයා වෙත මුදාහරින පරීක්ෂණ ලිපි පෙළක මවිසින් සූර්යයාගේ මියැදීම හා සම්බන්ධ එළිදැක්වීමට යන ලිපියක පූර්විකාවක් අයාල්ට ඇසෙන්නට කියවමින් සිටියෙමි. ඔහු හැමදාමත් එසේ ය. අප දෙදෙනාගේ බොහෝ කතාබහ අවසන් වන්නේ තර්ක, විවාද, නොවිසඳුණු උපකල්පන මත රඳා කරනු ලබන නිගමන වලිනි. දැන් දැන් මට අයාල් මහා හිසරදයක් වී ගෙනයි එන්නේ...ඊටත් වඩා මට ඔහු කෙරේ ඇතිවෙන්නෙ නොසන්සිඳෙන කුතුහලයක්...ඔව්...අයාල් ඇත්තට ම රහස් ගුහාවක්... දෑවසරකට පෙරාතුව නාසාහි යොවුන් අජටාකාශගාමීන් පුහුණු කිරීමේ පාඨමාලාවට මා බැඳුණේ මා කුඩා කල පටන් වෙනස් සිතුම් පැතුම් ඇත්තියක් වූ නිසා ම යි. අනෙකුන් දොස්තරලා, ඉංජිනේරුවන් වන්නට දඟලන කොට මට වුවමනා වූයේ තාරකා විද්‍යාඥවරියක් නැත්නම් අජටාකාශගාමීවරියක් වීමට යි. මගෙ මේ අරමුණට අභිප්‍රේරණයක් වූයේ නාසා ආයතනය හරහා මා ලද ශිෂ්‍යත්වය යි... මෙහි පුහුණුව ලබන, පර්‍යේෂණ කරන බොහෝ දෙනා අතුරේ අයාල් මට හමූවූයේ අහම්බෙනුයි. ඔහු කොහේ කොතැනක සිට පැමිණියා ද යන්නවත් මට විමසන්නට වුවමනාවක් නොතිබුණි. ඒත්....හදිසියේම මහාචාර්ය ක්ලියෝ මේයර් යටතේ සිදුකරන වැදගත් පර්‍යේෂණ ද්විත්වයක කොටස්කරුවන් වන්නට අප දෙදෙනාට ම මඟ පෑදුණි. අභ්‍යවකාශ කොලනි ස්ථාපිත කිරීම හා ඒ ආශ්‍රිතව බැඳුණු පර්‍යේෂණාත්මක වටපිටාවට පිඹුරුපත් සැකසීමත්, අඟහරු මත වූ පස් සාම්පල පරීක්ෂාව හා ඒ මත මිනිස් මොළය ඉක්මවූ ජීවීන් විශේෂ වෙත්ද?... යන පර්‍යේෂණ ද්විත්වය වෙනුවෙන් සැදුම්ලත් කාණ්ඩයක අප සාමාජිකයන් වූයේ අහඹුවකිනි. ඒ යොවුන් අජටාකාශගාමීන් වූ අප එවැනි බැරෑරුම් කටයුත්තකට අතගැසීමට නුසුදුසුදැයි මතයක එල්බ සිටි නිසාවෙනි. මේ කරුණු ඔස්සේ බොහෝ දෙනා පර්‍යේෂණ මෙහෙයවමින් සිටිමුත් නාසාහි අලුත් ම මෙහෙයුම් කිහිපයකින් එකක් ලෙස මහාචාර්ය ක්ලියෝගේ මෙම පර්‍යේෂණ මාලාව හැඳින්වීම යෙහෙකි ය. අයාල්ව මා සමීපව දැන හඳුනාගත්තේ අනායාසයෙනි. මන්ද ඔහු තුළ වූ ලාංකික ආභාෂය එයට හේතුවන්නට ඇති...ඔහු පැවසූ පරිද්දෙන් ලාංකික පියෙක්ටත් ඇමෙරිකානු ජාතික මවකටත් දාව උපන් ඔහු අර්ධ ලාංකිකයෙකි... එදිනෙදා වැඩකටයුතුවල ම කොටසක් බවට පත්වුණු මේ පර්‍යේෂණ මාලාවේ කටයුතු අතරතුර ඉඩක් හමුවන සෑම මොහොතක ම අප දෙදෙනාගේ ම තර්ක කිරීම්වල නම් අඩුවක් නොවුණි. ඒ බොහෝ සැඳෑවන්හි දුම් දමන උණුහුම් කෝපි කෝප්පයක් ඇල්මැරුණු තත්ත්වයට එනතෙක් ම මගේ සියලු තර්ක ඔහු ඉදිරියේ දියාරු විය. සියල්ල අවසන ඔහු නැගූ අවඥා සහගත හිනාව මට මුලදී කෝපයක් ගෙන ආ මුත් පසුව හටගත්තේ කුතුහලයකි. මා ඉදිරිපත් කළ බොහෝ කරුණු හමුවේ අයාල් පැවසූයේ එකම කරුණකි. "නේලා...ඔයා හැමවෙලාවෙ ම කරන්නෙ අසම්පූර්ණ උපකල්පන මත පිහිටලා නිගමන ඉදිරිපත් කරන එක...ඒත් ඇත්ත ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්...දවසක ඔයා ඔයිට වඩා නිවැරදි යමක් දැනගනීවි...ඒත් මේ ඒකට කාලය නෙවෙයි..." එකම ප්‍රකාශය වාර ගණනාවකට වඩා අසා ඇති හෙයින් එහි අලුත් බවක් මට නම් නොදැනේ...වරක් මා තුළ හටගත් කෝපය නිසාම කෝපි කෝප්පයෙන් ඔහුට දමා ගසන්නට පවා සිත්විය. නමුත් මගේ සිතිවිලි මඬිමින් මා වෙත අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේයැයි මා හට හැඟෙන්නට විය..."මං දවසක ඇත්තක් දැන ගනියිලු...තාම ඒකට කාලය නෙවෙයිලු...මොනවද අයාල් මේ කියවන්නෙ...කවදද ඔය කියන ඇත්ත මං දැනගන්න දවස එන්නෙ...ඔයා මනෝවිකාරෙන් දොඩෝනවද අයාල්?..." එක්වරම අයාල්ගේ නිල් පැහැති ඇස් මදෙසට යොමුවුණි. ඒ තියුණු බැල්ම දරාගත නොහී, ඒ බැල්මෙන් මිදෙන්නට නොහී මම අසරණ වූයෙමි. දීප්තිමත් පළිඟු දෙකක් පරිද්දෙන් එය මා මෝහනයට පත්කරන්නට විය...මොහොතකින් ඔහුගේ මුවෙහි සුපුරුදු අවඥා සහගත සිනාව ඇඳී මැකී ගියේ ය. ඔහු හමුවේ මගේ තර්ක දියාරු වී ගිය කරුණු අතර කාලතරණය හා සංකල්පයත් , පෘථිවියේ අවසානය පිළිබඳව සංකල්පයත් ප්‍රමුඛ විය....මා සතු උපකල්පන මත මා සෘජුවම ප්‍රකාශ කළේ කාලතරණය යනු ප්‍රායෝගික නොවන දෙයක් බවයි. එය විද්‍යා ප්‍රබන්ධයන්ට පමණක්ම සීමාවූවක් බවයි. නමුත් අයාල් සෑමවිටම ප්‍රකාශ කළේ අප ජීවත්වන ත්‍රිමාණ අවකාශයට එහා චතුර්මාන අවකාශයක් පවතින බවයි. කාලය යනුවෙන් අවකාශය හා සබැඳි තවත් මානයක් ඔස්සේ මේ චතුර්මාන අවකාශය ගොඩනැගී ඇති බවයි...මෙතැන් දී ඔහු මා හා එකඟ වූ එකම කරුණ නම් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පමණකි. "අයාල් දැන්වත් ඔය හීන ලෝකෙන් මිදෙන්න...ඔයා ඔය ඉදිරිපත් කරන කිසිදෙයක් ප්‍රායෝගික නෑ...මිනිස්සු විදියට අපිට ප්‍රායෝගික ව කරන්නත් බෑ. හිතන්න කාලතරණය ගැන තියෙන උපකල්පිත ක්‍රම ගැන හිතුවාම කාටත් වැටහෙන දෙයක් මේක." "එක්කො අපි ආලෝකයට වඩා වැඩි වේගෙකින් ගමන් කරන්නෝනෙ...නැත්තන් කළු කුහරයක් වටා කක්ෂගත වෙන්නෝනෙ, එහෙමත් නැත්තන් wormhole එකක් හරහා ගමන් කරන්නෝනෙ...මේවා ප්‍රායෝගික ද?" "ඔය එක දෙයක් හරි ප්‍රායෝගික යි කියලා මං ඔයාට පෙන්නුවොත් නේලා ඔයා මාත් එක්ක එකඟ වෙනව ද?" අයාල් ඒක කිව්වෙ ගොඩක් අවධාරණයෙන් වුණත් "කොහොමද අයාල් කොහොමද? " මම මහ හඬින් හිනැහුනෙමි..."හිතන්න අයාල්...ආලෝකයට වඩා වැඩි වේගෙකින් ගමන් කරන්න නම් අනන්ත ශක්තියක් අවශ්‍යයි...කෝ...කොහොමද ඒක කරන්නේ?...කළු කුහරයක් වටා කක්ෂගත වෙන එක ගත්තොත්....ඒකෙ තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා අභ්‍යවකාශගාමියා නූඩ්ල්ස් බවට පත්වෙනවා...ඒ කියන්නෙ කකුල් මත ඇතිවන බලය හේතුවෙන් ලොකු ඇඳීමකට ලක්වෙනවා. හරියටම නූඩ්ල්ස් රැලක් වගේ තත්ත්වෙට පත්වෙනකල්ම දැඩි ගුරුත්වාකර්ෂණ බලේ හමුවෙ ඔහු ඇදිලා යනවා...ඊළඟට worm hole එකක් හරහා ගමන් කරන එකත් මේ කළු කුහර කතාව හින්දා බොරුවක් වෙනවනෙ. "කළු කුහරයක් වගේ ගුරුත්වාකර්ෂණය වැඩි දෙතැනක දී අවකාශ කාලය වක්‍ර කිරීමනෙ worm hole එකක දි වෙන්නෙ. හරියට ම ඒක tunnel එකක් වගේ වැඩ කරන්නෙ. එතකොට අභ්‍යවකාශ යානයකට මේ කළු කුහරය හරහා යන්න පුළුවන්. එතකොට අභ්‍යවකාශ යානය මතුවෙන්නෙ එක්කො අතීතෙන්, එක්කො අනාගතෙන් එහෙමත් නැත්තන් කාල අවකාශයේ වෙනත් තැනකින්...සමහරවිට සමාන්තර විශ්වයක වර්තමානෙනුත් වෙන්න පුළුවන්..." අයාල් එක හුස්මට කියපු කතාව මං අහන් හිටියෙ පොඩිකාලෙ මම සින්ඩරෙල්ලාගෙ කතාව අහන් ඉන්නවට වඩා උනන්දුවෙන්... "හරි ලස්සනයි අයාල් අදහස නම්..." මං හිනාවෙවීම කිව්වා..." "නේලා මං මේ නිකමට අහන්නෙ...අතීතෙට යන්න හම්බුනොත් ...මං කියන්නෙ හදිස්සියෙම ඔයාට කාලතරණය කරන්න පුළුවන් උනොත් ඔයා කැමති අතීතෙ කොයිවගේ දවසකටද?" " අයාල් මට තව විනාඩි පහකින් වගේ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න...ඔයාගෙ විකාර අහන් ඉඳලා...ඒත් මං එහෙම පුළුවන් උනොත් යන්නෙ ජීවිතේ මං වැඩියෙන් ම ආදරේ කරපු ලස්සනම දවස්වලට...හරියටම මං අවුරුදු 8 පුංචි කෙල්ලෙක් වෙච්ච කාලෙට...ඒ කාලෙ හරි සැහැල්ලුයි..." " හ්ම්ම්...දැන් ඇති...මං යන්නම්…මට අද අභ්‍යවකාශ කොලනියක අනුරුවක් හදන්න තියෙනවා නේලා..." " අයාල් මං තව එක දෙයක් අහන්නද? ඔයා ඔය කියන ඔක්කොමත් හරි කියමුකො...ඔයා මොකද හිතන්නෙ Grandfather paradox සංකල්පෙ ගැන...ඒකෙන්ම කාලතරණය බොරුවක් වෙනවනෙ...ඒ කියන්නෙ හදිසියෙ ම ඔයා අතීතයට ගිහින් ඔයා අතින් අත් වැරදීමකින් ඔයාගෙ සීයා මැරෙනවා...එතකොට ඔයාගෙ තාත්තා කියලා කෙනෙක් නැති වෙනවා. එතකොට අයාල් ඔයා කියල කෙනෙකුත් නෑනෙ..." අයාල් සමඟ තර්ක කර හති වැටී සිටි මම අවසාන තුරුම්පුවත් අතෑරියෙමි... " අයාල්ගෙ පළිඟු ඇස් නැවතත් මදෙසට දැල්වුණි... " ඇයි ඔහොම බලන්නෙ...දැන්වත් ඔය බොරු කියන එක නවත්තන්නකො අයාල්...මං යන්නම්..." ****** අභ්‍යවකාශ කොලනි සංකල්පය වැඩිවන ලෝක ජනගහනයට හිතකර සංකල්පයක් මුත් ඒ සඳහා වැයවන පිරිවැය හේතුවෙන් එය සුඛෝපභෝගි පන්තියේ අයට පමණක් සීමා වන්නේ යැයි අප බොහෝ දෙනාගේ අදහස විය...අභ්‍යවකාශ කොලනියක් මේ මේ ආකාරයෙන් වියයුතු යැයි, එහි පිහිටීම කෙසේ විය යුතුදැයි මට අදහසක්වත් නොතිබුණි. අයාල් කියූ පරිද්දෙන් ම ඔහු සැලසුම් කරනා පරිද්දෙන් අනුරුවක් නිමවා තිබුණි... මහාචාර්ය ක්ලියෝ පවා ආධුනික ශිල්පියෙක්ගෙන් මෙතරම් දෙයක් බලාපොරොත්තු නොවන්නට ඇති යැයි මට හැඟී ගියේ ඔහු ද මේ විස්මිත නිර්මාණයෙන් හදිසියේම අමන්දානන්දයට පත්වූ නිසාවෙනි...කුඩා කල මං මහත් ආශාවෙන් කියවූ ගලිවර් සහ ලිලිපුට් දේශයේ කුරුමිට්ටන්ගේ අපූරු කතාව මට මතක් වුනේ ඉබේට ම යි. එතරමට මේ අභ්‍යවකාශ කොලනි අනුරුවේ සියල්ල ජීවමාන පරිද්දෙන් ම ප්‍රතිනිර්මාණය කර තිබුණි. "මේක හරියටම මගේ කාමරයේ පොත් මේසය උඩ තියෙන පුංචි ටෙරාරියම් වගා බල්බය වගේ ම යි...අයාල්... කොහොමද මෙච්චර අඩු කාලෙකින් මේක හැදුවේ...බොරු කතා ගොතන්න වගේම මේ වැඩත් හොඳට පුළුවන්නෙ" මගේ කටින් වචන පිටවුනා නෙවෙයි පැන්නා කිව්වොත් නිවැරදියි..." "මොනවද නේලා අයාල්ගෙ බොරු කතා? " ක්ලාරා මාත් සමඟ සමාන්තර ව පාඨමාලාව හදාරන ජර්මන් ජාතික තරුණියක්...මං ආසම නැති දෙයක්...එයා අයාල් ගැන හොයන එක...ඇයි කියලා මටත් තේරෙන්නෙ නෑ...මේවගෙ බොරු ගොතන අයාල් ගැන වෙන කවුරුහරි උනන්දුවෙන් හොයනවා කියලා මට දැනුනොත් එන්නෙ පුදුම තරහක්... " නෑ...නෑ...ක්ලාරා මේ...බලන්නකො... මේකෙ plan එක... මේවගේ වැඩකට තාම අතගහලා නැති වුණත් මේකනම් උත්සාහ කරලා බලන්නම හිතෙන project එකක්..." මම ක්ලාරා ව මඟ ඇරියෙමි... "මේක තවත් එක සැලසුමක් නොවී සුළුවෙන් හරි අත්හදා බැලීම සෑහෙන අවශ්‍යතාවයක්...මේ අනුරුව දැක්කාම මට දැනුණු දේ ඒක..." මහාචාර්ය ක්ලියෝගේ අදහස නම් වඩාත් සුබවාදී විය...මේ අතරෙ දි මහ පුදුම දෙයක් වුණා...හදිසියෙම අභ්‍යවකාශ කොලනි අනුරුව පිහිටවලා තිබුණු රැලිති ආධාරකයේ තියුණු දාරෙකට අයාල්ගෙ අත කැපෙනවා මම දැක්කා..."අයාල්...අයියෝ මොකද උනේ..." මට එකපාරටම කියවුණත්...අනෙක් අය මහාචාර්ය ක්ලියෝ සමඟ වැදගත් සාකච්ඡාවක...මම විතරයි එතකොට...මේ සිද්ධිය දැකලා තියෙන්නෙ...ඔහුගෙ අතින් පිටතට කොළපැහැති දියරයක් වැගිරුණා..." "මොකක්...කොළපාට ලේ....එහෙම වෙන්න පුළුවන් ද?....මගෙ ඇස් මට ම බොරු කරනවද බලන්න තව තවත් මං ළංවෙලා බලන්න හදද්දි අයාල් එතැනින් ඉවත් වුණේ එක්වර ම යි....මේක නම් මහ ප්‍රහේලිකාවක්...සාකච්ඡාවේ නම් දැන්ම අහවර වීමක් නැති හැඩයි..." මගෙ ඔළුව ටිකක් රිදෙනවා...මං මීළඟ සාකච්ඡා වටේ දී අනිවාර්යයෙන් ම සහභාගී වෙන්නම්" යැයි පවසමින් මං නික්මුනේ මේ රහස අද නම් දැනගන්නම ඕනෙ නිසයි... මට ඕනෙ උනේ අයාල්ගෙ කුටිය පරීක්ෂා කරන්න...නොකළ යුත්තක් උනත් නොකර බෑ...පයිනස් ගස් පේළියක් පහුකරගෙන මං අවතීර්ණ වුණේ නිදහස් කලාපයකට...අයාල් නැති හොඳම වෙලාව මේක...මගෙ ආරක්ෂාවට තියෙන්නෙ pocket knife එකක් විතරයි...ඒත් කමක් නෑ...අයාල්ගෙ ඇනෙක්සිය පිහිටලා තිබුණෙ ළඟපාත ම යි...ක්ලාරාගෙ උපන්දිනේට ගිහින් ඇයව ඇරලවන්න යද්දි අයාල්ගෙ ඇනෙක්ස් එක පහුවුණා පොඩි මතකයක් තිබ්බා... ****** පුදුමයක හැටි...දොර අගුළු ලා නොමැත..."මෙච්චර අවසිහියෙන්ද ඉන්නෙ අයාල්..." අනතුරක් පෙනි පෙනීත් ඒ දෙසටම දුවගොස් ත්‍රාසජනක අත්දැකීම් ගන්න එක මා කෙල්ලක බවත් මට අමතක කර ඇති හැටියක්...මම සෙමෙන් දොරේ කවාකාර බෝලය කරකවා අඳුරු ගුහාවකට ඇතුල් වෙන තැතිගත් සත්ත්වයෙක් පරිද්දෙන් ඇතුළු වුණෙමි...ඇනෙක්සියක් වූ පමණින් එය ඉතා නිස්කලංක පුංචි කාමර දෙකකිනුත්, කුඩා කුස්සියකිනුත් පමණක් සමන්විත වූ කොටසක් පමණකි. " පිටින් බැලුවට මොකුත් නොපෙනුනාට මේක නම් මහ භූත බංගලාවක් වගේ...අයාල් එන්න කලින් මට මොනවහරි හොයාගන්න පුළුවන්ද බලන්නෝනෙ...." මම සිතුවිල්ලේ ම එක් කාමරයකට ඇතුල් වුනෙමි.පිළිවෙළකට අඩුක් කළ පොත් රාක්ක දෙකකින් පිරුණු කාමරයේ අන් වැදගත් යමක් සොයාගන්නට මට නොහැකි විය...මා සිත්ගත් එක් නිමැවුමක් පමණක් එහි විය. ඒ මගේ පොත් මේසයේ කෙළවරක පවතින කුඩා ටෙරාරියම් බල්බයට වඩා දෙගුණයකටත් වඩා විශාල වීදුරු කුටියක් වැන්නක තිබුණු පැළෑටි වගාවකි. " හරි ලස්සනයිනෙ" යන්නට සැරසුණු මම නැවතුණේ යමක් මගේ සපත්තුවට තදින් පෑගුණු නිසයි...එය පොළොව මත ඌ පුංචි දොර අඟුලක්..."ඔව්...මගෙ උපකල්පන සියල්ල දැන් දැන් නිවැරදි වෙමින් පවතියි...ඒ අගුල කරකවා දැමූ විට එක් අයෙකුට පමණක් පහළට ගමන් කළ හැකි ප්‍රමාණයේ ඉඩක් විවර වුණි...මම එයින් එබී බැලූ විට සෞම්‍ය ආලෝකයක් එතුළින් ගලා එන්නට විය...කුඩා කළ මං මහත් ආසාවෙන් රසවිඳි පන් පසිඳුවන් කතා මාලාවේ වීරක්‍රියා මට සිහිවිය...මාත් දැන් සැරසෙන්නේ එවැන්නකට ද?ප්‍රවේසමෙන් මම එතැනින් පහළට බැසීමට තීරණය කළෙමි...දඟර පඩිපෙළක් ඔස්සේ උමඟක් වැනි ඒ විවරයෙන් මා පහළට බැසි කළ මා දුටුවේ අදහාගත නොහැකි භූගත කුඩා පරීක්ෂණාගාරයකි...දැන් නම් මගේ ඇස් මට බොරු නොකරනු නියත ය...රසායන විද්‍යාවෙ දි මා මහත් ආසාවෙන් කළ කුරුඳු තෙල් නිස්සාරණය ට බොහෝ සෙයින් සමාන විශාල ඇටවුමක රතුපැහැති දියරයක් ගොජ ගොජ ගාමින් පැසෙමින් තිබුණි... "ඇත්තටම...අයාල් පිස්සෙක්...මෙහෙම පරීක්ෂණ ඇටවුම් ක්‍රියාත්මක වෙන්න තියලා දාලා යනවද...?ලොකු පිපිරීමක් වුණත් වෙන්න පුළුවන්...ඊළඟට පරීක්ෂණ නළ රාක්ක කිහිපයකට ලස්සනට අසුරා තිබුණේ විවිධ මාදිලි වල ක්‍රිස්ටල් වර්ග ගණනාවකි...මම මහත් ආශාවෙන් මොහොතක් ඒවා දෙස බලා සිටියෙමි. සිතූ තරමට වඩා නම් අයාල් හැබෑ දක්ෂයෙක්...මේක භූගත විද්‍යාගාරයකටත් වඩා කෞතුකාගාරයක් වගේ...සිතුවිල්ලේ ම මා ඇවිද ගියේ විශාල රවුම් පලිඟුවක් දෙසට යි...කතා පොත්වල එන එකක් වගේමයි...මහ මායාවක් වගේ...එකෙණෙහි ම යමෙක් පඩිපෙළ ඔස්සේ බහින හඬක්..."කුමක් කරන්නද? මගේ අවසානයද...?මම සාක්කුව තුළ pocket knife එක ආරක්ෂිතදැයි අතඟා බැලීමි. ඉන්හැර මේ භූගත අඳුර ගුහාව තුළ ආරක්ෂාවට කිසිවක් නොවීය... ඔව් ඒ ඇතුළු වුණේ අන්කවරෙකුත් නෙවෙයි....මට සැඟවීමටවත් අවස්ථාවක් නොදීම ඔහු මා ඉදිරියේ... විස්මය හඟවන දෑසින්ම " නේලා ඔයා මෙහේ....? ඔළුව කැක්කුමයි කියලා ඔයා යන්න ගියා නේද? ඒත් ඔයා මෙහේ...?" මම කිසිවක් කීමට නොහැකිව නිරුත්තර වුණෙමි." "අයාල් මං..." කුටියේ වූ සෞම්‍ය ආලෝකය තව තවත් වැඩිවන්නට විය...මොහොතක් නිහඬව ගෙවී යද්දි...මගේ දකුණු අතේ මැණික් කටුවෙන් නිල් පැහැති කුඩා චීපයක් ඇතුළු වුණේ සිතන්නටවත් මොහොතක් නොමැතිවයි..."එපා..." මගෙන් වචනයක්වත් පිට නොවුණි. දැන් මා ජීවිතාසාව ද අතැර සිටියෙමි...මා භූගත ගුහාවක මෙලෙසම මියගිය ද කිසිවෙකුටත් එකදු ජීවමාන සාක්ෂියක් නොමැත...සේලයින් දීමට කැනියුලාව අතෙහි රැඳවූ විට දැනෙන වේදනාවට සමාන සියුම් වේදනාවක් මට දැනී නැතිවී ගියේ ය...කිසිවෙක් මට සිතිවිලි ඔස්සේ කතා කරන්නට විය..."ඔය පුටුවෙන් වාඩි වෙන්න..." අසල වූ පුටුවේ මා ඉඳගත්තා නෙවෙයි...ඉන්දවුණා... පෙරදී මා දුටු විශාල ගෝලාකාර මායා පළිඟුව මා ඉදිරියේ ය...මගේ මුහුණට මුහුණලා පළිඟුව මැදිකොට අනික් පසින් අයාල් වාඩිගෙන සිටියේ ය..." පුදුමයක සැටි...මා තාමත් ජීවත්වෙමි...මෙය නම් ගැඹුරු ස්වප්නයක්මැයි...දැන් නම් මට එයින් මිදෙන්නට ම උවමනා ය...නමුත් මගේ සිතිවිලි වලට යමෙක් මුමුණයි..."නෑ...නෑ...තාම පටන්ගැන්ම පමණයි..." මම සුසුමක් හෙළිමි. "ඕන දේකට මං ලෑසිතියි දැන් නම්..." මගේ මුවින් එකදු වචනයක්වත් පිටනොවුණි. සියල්ල සිතිවිලි ඔස්සේ ම කෙරෙන ගනුදෙනුවක් බවට මාහට එකෙණෙහිම හැඟී ගියේය..."නේලා මේ පළිඟුවට අත තියන්න" ඒ අයාල්ගේ හඬ යි...නමුත් එය ද සිතුවිල්ලක් ඔස්සේ ම ගලා ආවේ ය..." මෙතැන් පටන් මා කරනා සියල්ල...මා රොබෝවරියක් සේ ය.... එක්වරම හාත්පස සෞම්‍ය ආලෝකය නිවීගොස් දැඩි අන්ධකාරයක් පැතිරෙන්නට විය...මා නවතාලිය නොහැකි වේගයකින් භ්‍රමණය වන බව පමණක් මට හැඟී ගියේ ය...මම තදින් ඇස් පියාගතිමි...දැන් මට කවරක් වුවත් කම් නැත. මන්ද මං දැන් ජීවිත ආසාවෙන් මිදී සිටින්නෙමි...එසේ කොපමණ වේලාවක් මා දෑස් පියාගෙන සිටියේදවත්...මා කොපමණ වේලාවක් භ්‍රමණය වූයේදවත් මම නොදනිමි. ගැඹුරු නින්දකින් මා අවදි ව සිටියෙමි....විලෝ ගස් සෙවණක් අතරින් සූර්යයාලෝකය පෙරී එමින් තිබුණි....මායාකරු නම් ඔහුමැයි....අයාල්ද මා සමඟ...ඔහු නම් අවදියෙන්...මට පිටුපා මීදුම් බාන කඳු වළල්ල දෙස බලා හුන්නේ ය..." නේලා අපි යන්..." තවත් සිතිවිල්ලකි...මම රෝබෝවරියක් පරිද්දෙන් අයාල් පසුපස ඔහේ ඇවිද ගියෙමි...හුරුපුරුදු පරිසරය ක ලෙන්ගතුකමක් මට හැඟෙන්නට විය...අපිට යාර පනහකට වඩාවත් ඇවිද යන්නට නොහැකි විය...විලෝ ගස් සෙවණක සිටියේ පුංචි කෙල්ලක හා ලෝම පිරුනු සුරතල් සුනඛයෙකි. ඇය අර සුනඛයාගේ ඔළුව අතගාමින් යම් අහරක් රසවිඳිමින් හුන්නා ය... "දෙවියනේ...ඒ අන්කවරෙකුත් නෙවෙයි...මේ මගේ ම ළමා කාලය...මං ආදරේ කරපු ලස්සන ම දවස්...අයාල් මගෙන් අවසන් වරට ඇසූ ප්‍රශ්නය ..."නේලා ඔයා අතීතෙට යන්න පුළුවන් උනොත් යන්නෙ?...මා අවුරුදු 8ක කෙල්ලෙක් ලෙසින් මගේම ඇස් ඉදිරියේ මගේ ම අතීතය ප්‍රතිනිර්මාණය වෙමින් තිබුණේ ය...පසෙකින් වූයේ එකළ මගේ කැමති ම සුරතලා පෙගී නම් සුරතල් බලු පැටවා යි..."මොනවද ඒ කන්නෙ...? මං ආසම කජු පිරුණු පළතුරු කේක්...කේක් කෑල්ලක් හිතේ හැටියට භුක්ති විඳිමින් හුන් අවුරුදු 8ක් වූ මා...මම බන්දේසියේ වූ කේක් කෑල්ලක් ගැනීමට උත්සාහ කළෙමි...එහෙත් එය මා හට අතින් අල්ලා ගැනීමටවත් නොහැකි වුණි...මා කුඩා කෙල්ලගෙ හිස පිරිමැදීමට වෑයම් කළෙමි..." ඔතනින් ඉවත් වෙන්න නේලා...කාලය හරහා ඔබ ඔබේ ම අතීතයට ආවත් ඔබට ඔබ මුණ ගැසුණු තැන ඔබේ අතීතය වෙනස් ම අයුරකින් ප්‍රතිනිර්මාණය කළ නොහැකියි..." ඒ සිතිවිල්ල මා කරා ගලා ආ ඇසිල්ලෙන් මා එතැනින් ඉවත් වුණෙමි...නමුදු මා සිතිවිල්ලෙන් හඬා වැටී එක් ඉල්ලීමක් පමණක් ඉෂ්ඨ කරදෙනමෙන් බැගෑපත් ලෙස ඉල්ලීමක් කළෙමි..."අනේ අයාල් පෙගී මැරෙන එක නවත්තලා දෙන්න...අඩුම මං ජීවිතේ යමක් තේරෙන අවුරුදු පහළොවකවත් ළමයෙක් වෙනකල්..." "කොහෙත්ම බෑ නේලා...කොහෙත්ම බෑ... කාලතරණයෙන් කාලයාත්‍රිකයෙක්ට කවදාවත්ම අතීතෙ වෙනස් කරන්න බෑ..." මම යළිත් හඬා වැටුණෙමි...අවුරුදු 8ක කුඩා දරුවෙකු වූ මා මහත් චිත්ත පීඩාවට පත් ව මෑතක් වෙනතුරුම මසිතෙන් නොගිලිහී පැවති මතකයක් ලෙස මාගේ සුරතල් බලු පැටවා පෙගීගේ මරණය ශේෂ විය...කළ හැක්කක් නොමැති නම් කවරක් කරන්න ද? මං යළිත් සුසුමක් හෙළා දෑස් පියාගතිමි...එකෙණෙහිම යළිත් මා භ්‍රමණය වන්නට විය...තත්පර, මිනිත්තු හෝ හෝරා කීපයක් ගතවුණාදැයි මම නොදනිමි. නැවතත් අයාලුත් මමත් පෙර පරිදි ම මායාකාරී පළිඟුව ඉදිරියේ අසුන්වල ය.... "නේලා මං දැන් ලෑස්තියි...ඔයා මෙච්චර දවස් ප්‍රශ්න කරපු හැමදේකට ම උත්තර දෙන්න... අන්තිමට මං ඔයාට පැරදුණයි ඔයා හිතපු තුරුම්පුව....Grandfather paradox concept එක...අතීතෙ දවසකට ගියපු කාලයාත්‍රිකයෙක් එයාගෙ අත්වැරදීමකින් එයාගේ සීයාව මරාදැමුවොත් මුණුබුරා නැත්තන් කාලයාත්‍රිකයගෙ ඉපදීමක් නෑ කියන වැරදි උපකල්පනේමද ඔයා තාම ඉන්නෙ? මම සිතිවිලි ඔස්සේම කවරක් ප්‍රතිඋත්තරය ලෙස දෙන්නෙම්දැයි කල්පනා කළෙමි… "ඔයා මගෙන් ඔයාගෙ හුරතලා පෙගී මැරෙන එක නවත්තන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒකට උත්තරේ එය කළ නොහැකියි නම්....එතනින්ම මේ grandfather paradox සංකල්පෙ බොරුවක් කියලා ඔයාට තේරෙනවද? " අයාල් මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුවත් මේ සිතිවිලි ඔස්සේ කෙරෙන ගනුදෙනුවෙන් මා අඩක් පමණ විඩාපත්ව හුන්නෙමි...මම අයාල්ට පැරදුනැයි සිතිවිල්ලේම "ඔව් මං පිළිගන්නවා...ඔයා නිවැරදියි අයාල්..." "ඒක තවත් පැහැදිලි කළොත් මෙහෙමයි...අතීතය එක්තරා ආකාරයකින් සිදුවී අවසාන යි... එහෙනම් අතීතය වෙනස් ආකාරයකින් සිදුවීමවත් සිදුකිරීමවත් කළ හැකි දෙයක් නෙවෙයි... විශේෂයෙන්ම කාලයාත්‍රිකයෙක්ට තමන්ගෙම අතීතෙට ගියත් එය කිසිම විදියකින් වෙනස් කළ නොහැකි යි. මේකට අපි කියන්නෙ හේතු කාරක පුඩුවක් නිර්මාණය නොකරන පසුගාමී කාලගමනක් ලෙසයි...එනම් ඔබේ අතීතය සිදුවී අවසානයි...කිසිසේත්ම එය වෙනස් කිරීමට හේතුවක් නෑ..." අයාල්ගේ එම පිළිතුරෙන් මම උවමනාවටත් වඩා සෑහීමකට පත්වුණෙමි...ඇදහිය නොහැකිමුත්, මා ලද අත්දැකීම් සියල්ල හමුවේ කාලතරණය සතය්‍යකැයි දැන් පටන් මම විශ්වාස කරමි..." නේලා කියපු විදියට කාලය කියන හතරවෙනි මානෙ හරහා යන්න නම්...ආලෝකයේ ප්‍රවේගෙට වඩා වැඩි වේගෙකින් යන එක, කළු කුහරයක් වටා කක්ෂගත වෙන එක, එහෙමත් නැත්තන් worm hole එකක් හරහා යන එක නිවැරදියි..." ඒත් කොහොමද?..."මම මේ පරස්පරතාවය හමුවේ අසරණ වූයෙමි...මගේ සිතිවිලි හඳුනාගත් කලෙක මෙන් අයාල්ගෙන් මා කරා ඇඳී ආ පිළිතුරු සිතිවිල්ල මා අදහාලිය නොහැකි එකක් විය..."හේතුව මිනිසාට තාමත් ඔය එක ක්‍රමයකටවත් ළං විය නොහැකි බුද්ධි මට්ටමක සිටීම වගේම ඒ තරමට දියුණු තාක්ෂණයක් නොපැවතීම...ඒවගෙම අයාල් විදියට ඔයා ඉස්සරහින් ඉන්න මං පෘථිවියට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටලා තියෙන අඟහරු ග්‍රහලොවේ නොනැසී පවතින ජීවීන් විශේෂයක පුරුකක් වීම...ඔව්...ඔයා මෙච්චර කල් මනසෙන් තර්ක කළා 100%ක් නිවැරදියි...මම මනුෂ්‍යයෙක් නොවෙයි...මං අඟහරුවාසියෙක්..." "අ...යා...ල්...පිටසක්වලයෙක්..." සිතිවිල්ලේ ම මම මිමිණුවෙමි..."ඔහු නැවතත් මුවට සිනාවක් නගාගෙන ම සිතිවිල්ලෙන් ම පිළිතුරු දුන්නේ ය..."ඔව්...මං අඟහරුවාසියෙක්...ඔව්...." මට සහතිකයි නේලා මේ වුණු කිසිම සිදුවීමක් කාටවත් නොකියන බව...මොකද පණ ඇති මනුස්සයෙක් මේ කතාව පිළිනොගන්න බව මං හොඳාකාරවම දන්නවා..." මං විසල් දෑසින් බලා හුන්නා විනා...කිසිදු පිළිතුරු සිතිවිල්ලක්වත් නොනැගුවෙමි. නේලා දන්නවද මං professor ක්ලියෝගෙ අඟහරු මත ජීවින් ඉන්න බවට කරන පරීක්ෂණේට තදින්ම විරුද්ධයි...ඒකට ප්‍රධාන ම හේතුව තමයි යම් විදියකින් අපේ වර්ගයාගේ පැවැත්ම ගැන පෘථිවි ජීවීන් දැනගත්තොත් ඒකෙන් මුළු පෘථිවියම වුණත් විනාශ වෙලා යාවි...හරියටම මීට අවුරුදු බිලියන ගාණකට කලින් ඩයිනෝසරයන් මේ ලෝකයෙන් අතුරුදහන් වුණු විදියටම..." "ඒත් ඒ කොහොමද?" මම ඇසිමි..." හිතන්න...ලෝකෙ තියෙන මැඩගස්කරය වගේ දූපතක් ගැන...එහෙ යම් ප්‍රදේශවල තාම හමුවෙනවා ම්ලේච්ඡ ජනවර්ග...ඒ අය කොච්චර ප්‍රචණ්ඩ ද? අන්න ඒ වගේ සියදහස් ගුණයක් අඟහරුවාසී මගේ වර්ගයා ප්‍රචණ්ඩ යි වගේ ම ප්‍රබල යි...අනතුරක ඉව වැටුණු වහාම බහුතරයකගේ ප්‍රතිචාරය පහරදීම...ප්‍රතිවාදියා සමූලඝාතනය... මගේ වර්ගයාගෙනුත් ඉතා සුළු පිරිසකට යි කාලතරණ හැකියාව තියෙන්නෙ. ඒ හැමකෙනෙක් ම මනසින් හික්මුණු අය...ඔවුන්ට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තවකෙක් විනාශ කිරීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම නෑ..." මට වදනින් පහදා දිය නොහැකි සිතිවිලි ගණනාවක් ඇඳී මැකී ගියේ ය..." ඉතින් මං පෘථිවිවාසීන්ගේ ජීවිත වෙනුවෙන් තදින් ම විරුද්ධයි අඟහරු ගවේෂණයට... තව දෙයක් "අඟහරුවාසීන්ට මිනිස්සුන්ට හිතන්නවත් බැරි මට්ටමක දියුණු තාක්ෂණයක් තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා ආලෝකයට වඩා වැඩි වේගෙකින් යන අනන්ත ශක්තියකින් යුක්ත යානා නිපදවන්න...කළු කුහරෙකින් නැත්නම් worm hole එකකින් යද්දි ඇතිවෙන දැඩි ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිරෝධී ආචරණයක් තියෙන යානා නිපදවන්නත්..." තව නේලාට තියෙන ප්‍රශ්න කියන්නකො?... "දැන් මං විද්‍යාගාරය තුළ පරිසරයට හුරු වී සිටියෙමි..." එතකොට...දවසක් අයාල් මට කිව්වේ...ලෝක විනාශය ගැන අයාල් දරන්නෙ වෙනස් ම අදහසක් කියලා..." දැන් මට සිතිවිලි ඔස්සේ අදහස් හුවමාරුව පෙර මෙන් නුපුරුදු නොවේ..." ආහ්...ඔව්...දැනට අපි සොයාගෙන තියෙන විදියට පෘථිවියේ අවසානය සිද්ධ වෙන්නේ අපේ ග්‍රහලොවටත් ලොකු බලපෑමක් සිද්ධ කරමින්... "සූර්යයාගේ මියයාමත් සමඟ ම පෘථිවිය අන්ධකාරයෙන් වැසී යනවා. ඒත් එක්කම මෙතෙක් වෙලා සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ පෘථිවිය ගුරුත්වාකර්ෂණ බලය නැති නිසාම තමන්ගෙ පථයක භ්‍රමණය වෙන්න ගන්නවා. මේ මාර්ගය සරල රේඛීය මාර්ගයක් වේවි...මේ විදියට සරල රේඛාවක ගමන් කරන පෘථිවිය අඟහරු ග්‍රහයා එක්ක ගැටීමේ 90%කටත් වඩා සම්භාවිතාවක් තියෙනවා. මෑත කාලීනව අපි කරපු පරීක්ෂණ වලින් ඒක හෙළිවෙලා තියෙනවා....පෘථිවිය විතරක් විනාශ වෙනව නම් කිසිම ගැටළුවක් නෑ අඟහරුවල අපේ ජනාවාස ගැන...ඒත් සූර්යයා මිය යනවා කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලය ම විනාශ වෙනවා කියන එක...ඒක නිසා අපිටත් දැන් සිද්ධ වෙලා තියෙන්නෙ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ජීවීන්ට ජීවත් වීමට සුදුසු ග්‍රහලෝක හඳුනාගැනීම, එහෙමත් නැත්තන් යම් දිනක පෘථිවිය අපේ ග්‍රහලෝකෙ එක්ක ගැටීම වැළැක්වීමට ප්‍රතිරෝධී ආචරණයක් නිපදවන එක...පෘථිවි ජීවීන්ට වඩා කොච්චර දියුණු මට්ටමක අපේ තාක්ෂණේ පැවතුණත් අදටත් අපි මේ දෙවෙනි කරුණ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ මෙහෙයවන්නෙ සැක සහිත මට්ටමකින්...ඒ අතින් බැලුවාම පළවෙනි විකල්පෙ තමයි වඩා ඵලදායි. අපේ ග්‍රහලෝක ජීවීන්ට නොනැසී ඉන්න ජීවය පිහිටුවන්න හොඳ මට්ටමෙන් පවතින ග්‍රහලෝක තුනක් ගැන දැනට අපි පරීක්ෂණ කරගෙන යනවා...ඒක වඩා සාර්ථක වේවියි මං හිතනවා..." "එතකොට අයාල් ලෝක විනාශය සිද්ධ වෙන විදිය ගැන හිතුවොත් මේ අභය්‍යවකාශ කොලනි පිහිටුවන එක ඕසෝන් ස්තරය විනාශ වෙන එක, පරිසර දූෂණය වැඩිවෙන එක, වැඩිවෙන ජනගහනය පාලනය කියන කරුණවලට පෘථිවිවාසීන් විදියට අපිට ගන්න පුළුවන් විසඳුමක් විතරයි. කොහෙත්ම පෘථිවිය විනාශ වෙන එකෙන් වැළකෙන්න ඒක උදව්වක් නෙවෙයි..." " හරියට හරි නේලා..." "දන්නවද තව දෙයක්...? Professor ක්ලියෝ කරපු හඳේ අයිස් තට්ටු ගැන පරීක්ෂණේට මීට සෑහෙන කාලෙකට කලින් අපි හොයාගත්තා නිෂ්ඵල බව...මොකද හඳේ තිබ්බ මිදුණු අයිස් තට්ටුවල විශාල විදියට රසදිය, ලෝහ රසායන අන්තර්ගත නිසා ඒවා කිසිම ජීවී කොට්ඨාසයක පරිභෝජනයට නුසුදුසු බව..." ******** "මට හුඟක් මහන්සියි අයාල්...." මං සිතිවිල්ලකින්ම දැන්වූයෙමි. සිදු වූ සියල්ල හමුවේ මම පමණට වඩා හෙම්බත් වී සිටියෙමි...එක්වරම අයාල් මගේ සාක්කුවෙන් කුඩා පිහිය ගෙන ඔහුගේ දකුණතෙගි සුළැඟිල්ල මඳක් සිදුරු කර මට පෙනෙන පරිදි පැහැදිලි ව අල්ලා ගෙන සිටියේ ය.පෙරදී මා දුටු පරිද්දෙන්ම ඔහුගේ රුධිරය කොළ පැහැති විය. " දැන් ඒ කුතුහලෙත් හරි නේද නේලා...මං ඇතුළු අඟහරුවාසීන් හැමෝගෙම රුධිරය කොළ පැහැති යි. ඔයාලගෙ වගේ හිමොග්ලොබින් අපේ රුධිරයේ අඩංගු වෙන්නෙ නෑ. ඕනෑම පරිසර තත්ත්වයක් හමුවේ නොනැසී හැඩගැහෙන්න පුළුවන් ගුණාත්මක තත්ත්වෙක රුධිරය යි අපිට ලැබිලා තියෙන්නෙ..." "නේලා... හැමදෙයක්ම දැනගෙනත් දැන් ඔයාට කියන්න මොනවහරි තියෙනව ද? ඒ මායාකාර පලිඟු ඇස් යළිත් මා මෝහනයට පත්කරන්නට විය..." ඒ මොහොතේ මහා හිස්බවක් මට දැනෙමින් තිබුණි. කවරක් අරඹයා එලෙස පාළුවක් දැනෙන්නෙදැයි විසිරුණු සිතුවිලි පෙළගස්වන්නට වෑයම් කරමින් මම සිතීමි..."අපේ ග්‍රහලොවේ මං වගේම තවත් නියෝජිතයො බොහොමයක් පෘථිවියේ තෝරාගත් ප්‍රදේශ හරහා බෙදීගිහින් ඉන්නවා....මගේ පර්‍යේෂණ හැම එකකටම තෝරගත්තෙ නේලා ඔයාව...අඟහරුවල ප්‍රධාන පාලන සංකීර්ණයෙ අපේ හැම පරීක්ෂණයක් ගැන ම කේතයන් වාර්තා වෙලයි තියෙන්නෙ. යම් විදියකින් අපේ පරීක්ෂණ නිසා අපි යොදාගන්න පෘථිවි ජීවීන් මරණයට වුණත් පත්වෙන්න පුළුවන්..." මගේ ඇඟ සීතල වී ගියේ ඉබේට ම යි. "එතකොට මාත්...." "නැහැ නේලා නැහැ...කවදාවත්ම එහෙම වෙන්නෙ නෑ...මට ඒක කරන්නත් බෑ..." එකෙණෙහිම මගේ දකුණතෙහි මැණික් කටුවට පහළින් රැඳවූ නිල් පැහැති චිපය අයාල් ගලවා දැමුවේ ය...පුදුමයකි...රැධිරය බිඳුවක්වත් නැත...පෙර පරිදි මට වේදනාවක්ද නොදැනුණි. ඒත් සමග ම අප දෙදෙනාගේ සිතිවිලි ඔස්සේ අදහස් හුවමාරුව ද නැවතුණි. "නේලා අපි යමු එළියට..." හවස් භාගය ගෙවී යමින් තිබුණි. මේ අද දවසම ද නැතහොත් වෙනත් දවසක සවස් යාමයකදැයි මට නොහැඟුණි. "නේලා මං කාලතරණයෙන් අවකාශය හරහා ගොඩක් සැරිසැරුවා. පරීක්ෂණ කළා.අන්තිමට නාසා එකේ යොවුන් අජටාකාශගාමීයෙකුත් වුණා... අපේ ග්‍රහලෝකෙ නිතීවලට පටහැනිව ගියොත් අනිවාර්යයෙන්ම වෙන්නෙ විනාසය...මරණය...ඒත් මං දැඩි තීරණයක් අරන් ඉන්නෙ...නේලා මං ඔයාට ආදරේ කරනවා...ඔයාගෙ ආයුකාලය එක්ක බැලුවාම මගෙ ආයුකාලය ගොඩක් විශාලයි. අපේ ග්‍රහලෝකෙ නීතිවලට අනුව මිනිසෙක් එක්ක සබඳතාවයක් පැවැත්වීම වරදක් වෙන්න ප්‍රධාන හේතුවක් ඒක...පෘථිවි කාලයට අනුව ඔබ අනිවාර්‍යෙන් මට කලියෙන් මිය යනවා නේලා..." "අයාල්...මම කෑගැසිමී...මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ තවත්...මා ඔහුව තදින් වැළඳ ගතිමි...බටහිර අහස් කුසේ රත්පැහැය තවත් ඔපමට්ටම් කරමින් සිකුරු තරුව පායා එමින් තිබුණි."අන්න වීනස්...."මං එදෙසට අත දිගු කළෙමි... "ඔව් වීනස්...ආදරයේ දෙවඟන...මං සදහටම මේ කාලත්‍රයේ නවතිනවා... නේලා...ඔයයි මගේ ආදරේ..." මා කුඩා කළ මහත් ආසාවෙන් නැරඹූ සිංහල ටෙලියක අවසාන දර්ශනය සිහි ගැන්වුණි. කාලතරණය පිළිබඳ ව නිර්මාණය වුනු අංගම්පොර හා සබැඳි අකාල සන්ධය්‍යාහි කාලයාත්‍රිකයා ඌ නාගසිංහයන්ගේ කාල ආගමනයෙහි නැවැත්ම... ඒත් අයාල් මං වෙනුවෙන්ම මේ කාලත්‍රයේ නවතීවි...සදහටම... කොහේදෝ සිට සැඟවාගෙන සිටි දිළිසෙන පලිඟුවෙන් හැඩවූ මුදුවක් ඔහු මගේ අතෙහි ඇඟිලි අතරෙහි රැඳවූයේ ය... මට හිනා පහළවූයේ ඉබේට ම යි... හැමෝම දොස්තරලා ඉංජිනේරුවො වෙන්න දඟලද්දි මං අජටාකාශගාමීවරියක් වෙලා පෙන්නුවා. එතකොට මගෙ යාළුවො, මට කරපු විහිළු හැමදෙයක් ම වෙනුවට මට හතරවටින්ම කීර්ති ප්‍රශංසා ගලාගෙන ආවා...ඒත්...ඒත් මං ආදරේ කරන්නෙ පිටසක්වළ ජීවියෙක්ට කියලනම් කවදාවත්ම ඒගොල්ලො විශ්වාස කරන්නැති වෙයි...වැඩිම උනොත් මට මානසික ලෙඩක් හැදීගෙන එනවා කියයි...අපි දෙදෙනාම මහ හඬින් හිනැහුනෙමු...වීනස් හරි අපූරුවට දිදුලමින් තිබුණි...ඉතින් වීනස් ඉදිරියේ මා මියෙන තුරාවට මේ සතුට පවතින්නැයි මම ප්‍රාර්ථනා කළෙමි... නිමි

NEWS

විභව කෙටිකතා | අයාල් (විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)

  • Date: 2021-09-16