Blog



කළු වලාකුළෙන් ගහන ගැබ්බර හැන්දෑ අහස දැන් දැන් කඩාහැලෙන මහා වැස්සක ලකුණු කියාපායි. එකිනෙකාට එකිනෙකා තරඟයේ යෙදෙමින් සයිරන් නළා හඬවමින්, දැල්වුණු ලාම්පුවලින් වාහන පිම්මේ පාරේ ඇදෙයි. විජේවර්ධනය ඉස්සරහ මහ පාරට මුහුණ දාගෙන ගල් බංකුවේ ඔහේ මනෝ ගගහා හිටි මගෙ හිතට ඉඳහිට බාධාවක් වුණේ පාරෙ යන වාහනවලින් එළියට එබුණු සමහර මූණු විතරමයි. උගුරෙ මහා ගලක් හිරවෙන තරමට දැඩි වේදනාවකින් රිදුම් දෙයි. වියළිච්ච කඳුළුවලින් දුක හෝදා හරින්නට නොහැකි තැන පපුව ද මහා බරකින් පිරී ඇත. ඊටත් තනි මට මේ මහපාර කෑගසා හඬන්නට තැනක් නොවෙයි. දැන් දැන් ටික් ටික් හඬින් බර වැහි බිඳිති වැටෙයි. තුරල් නොවෙන මහා වැස්සක් බවට පත්වුණත් මට නිනව්වක් නැති තරම්‍ ය. මම එලෙස අඩහෝරාවකට වඩා ඔහේ ඉඳන් ඉන්ට ඇති. දැන් තෙත ඇඳුම් මගේ ඇඟට ඇලෙන තරමට ඇලී ගොස්‍ ය. හීතල හුළඟත් එක්ක කට කට ගා ගැහෙන්න ගත්තෙ පොඩි බයකුත් එක්ක. විඩින් විඩේ පාරෙ ගියපු සමහර වාහන අහේතුක ව මං පහුවෙද්දි නලා සද්දෙ දාන්න ඇත්තෙ මොළේ විකාර වෙච්ච පිස්සු මනුස්සයෙක් වැස්සෙ ඔහේ තෙමෙනවා කියලා හිතන් වෙන්නැති. පළාත ම එළිය කරමින් අකුණක් ගහනවත් එක්කම "දැන් ඇති..යන්නෝනේ" තෙමි තෙමිම හොස්ටල් එකට ඇවිදන් යන එකත් හිතේ බර ටිකක් හරි අඩු කරයිනෙ. "සාරධා...මොකද මෙතන කරන්නෙ...වැස්සෙ තෙමිලා සන්නිය හදන් මැරෙන්නද හදන්නෙ...මොළෙත් නරක් වීගෙන එනවද ආ..." අකුණුවලට වඩා භයානක ඒ සද්දෙ... "නිකිණි.." "ඔව්...නිකිණි තමයි...මටත් බොරු ඇදබාලා වලේ නාට්‍ය බලන්න කැතීලා එක්ක එනවා කියලා...මෙතෙන්ට වෙලා බිත්තර තම්බනවද? නාට්‍ය පටන් අරන් ටිකක් වෙලා යද්දි මං සැකේට කැතීට මැසේජ් එකක් දැම්මා...වළේ සෙනඟ හන්දා හොයාගන්න බෑ...ඒ පාර මට කිව්වා විජේ එකෙන් රෑට කාලම එනවා කිව්වා නිකිණිලා එක්ක...ලෙක්චර්ස් ඉවර වෙලා විජේ එකට ගියා කියලා. වැඩි කතා ඕන්නෑ නගිනවා ස්කූටියට...යන් හොස්ටල්... මෙන්න ජැකට් එක..." "හොඳට ම පෙගිච්ච මට මොකටද දැන් ජැකට්?" "තව නාගන්න ඕනද ඒ කියන්නෙ?" ස්කූටිය හරවාපු නිකිණි ඒක ස්ටාර්ට් කරෙත් තරහෙන් වගේ. බයවෙච්ච පාර ජැකට් එක දාගෙනම මං නැග්ගා. "නිකිණි ඩ්‍රාමා...මා..එක" "ඩ්‍රාමා නෙවෙයි මං දැන් මේ ටෙලිඩ්‍රාමා එකක් බලන්න එක්කන් යන්නෙ. විකාර කියවන්නැතුව ඉන්නවද?" යන්තම් නිකිණිගෙ ලේට් පාස් එක තිබ්බ හන්දා හොස්ටල් එක ඇතුලට යාගත්තා... "වචනයක්වත් කතා කරන්නෙපා…හැටි බලනවා...තෙමිච්ච කුකුළෙක් වගේ...තෙමිලා මැරෙන්නද හදන්නෙ..ගිහින් නාගෙන එන්න. මං රස්නෙන් බොන්න මොනවහරි හදන්නම්." ඒ පාර ඇය කතා කළේ කලින්ට වඩා සන්සුන්ව...හුඟක් වෙලාවට ප්‍රශ්නෙක දි හිතට මොහොතකට හරි සහනයක් ලැබෙන්න...පැය ගාණක් නාන එක හොඳයි කිව්වට...ඒක මට තේරුණේ අද...ගැහි ගැහී හිටපු මං වතුර මල ඔහේ ඇරලා හිටගෙන වරුවක් ම හිටියා... " සාරා...දැන් පැයකට වැඩියි…අද රෑ මට හෙල්ත් සෙන්ටර් එකට අරන් යන්න තමයි වෙන්නෙ. එනවද දැන්වත්..." කල්පනා ලෝකෙන් පියවි ලෝකෙට ආවෙ ඒ වෙලාවෙ..කොණ්ඩෙත් පිහගෙන ගැහි ගැහී මං කාමරේ පුටුවකින් වාඩි වුණා... "හොඳ වෙලාවට මං සති අන්තෙ වෙලත් අද ගෙදර නොගියෙ…නැත්තන් මොන පිස්සුවක් නටයිද දන්නෙ නෑ අපි කට්ටිය නැතුව...දැන් රෑට උණ ගනියි දෙයියනේ ඔහොම තෙමිලා...ආ බොන්න..." දුම් දාන නෙස්කැෆේ කෝප්පයක් ගැහි ගැහී හිටපු මට දිව්‍ය ඖෂධයක් වගේ... "ඔහොම ප්‍රශ්න විසඳන්න පුළුවන් ද? උගත් කියලා කියන්නෙ පොතට විතරක් නෙවෙයි. මොළේ උඩද ඉඳන් ඉන්නෙ" මට වැඩිය ගෙවුණු හෝරා දෙකටම කතා කළේ නිකිණි...අහේතුක ව බර කඳුළක් මගෙ ඇස්වලින් කඩා වැටුණා. "අඬන්න ඇති වෙනකම්..." මං උණු නෙස්කැෆේ උගුර උගුර බිබී පැය බාගෙකට වඩා කතාබහක් නැතුව ම ගෙවලා දැම්මා. " හ්ම්...දැන්වත් කියනවද මොකද මේ කියලා?" "කියන්න තරම් දෙයක් වුණේ නෑ...හැමෝගෙම කනින් කොනින් අහපු කතාව මං අද ඇස් දෙකට ම දැක්කා." තවත් වචනයක්වත් නොකියම මට හැඬුම් ආවා. "මොකක්? " විසල් හා දෑවසරකට ආසන්න වන්නට පැවති ප්‍රේම සම්බන්ධය හදිසියේම හෙණයක් පිපිරුවාක් පරිද්දෙන් බිඳ වැටුණ තැන වෙනකල් නිකිණි නොදත්තක් නැත. විසල්ගේ මව්පිය පාර්ශවය වලව් පෙලපතක ඇත්තන් වීමත්, උඩරට පාතරට භේදයත් හේතුවෙන් මේ දැනගත් වහාම තදින් ම විරුද්ධතා පැන නැගෙන්නට විය. ඔවුනගේ විරුද්ධතා මත්තේ උවත් ඔහු මා මත්තේ ම කාලයක් ජීවත් වූ සැටි යළිත් දෙනෙත් තෙත්කරයි. මව්පිය පාර්ශ්වයෙන් ගෙන ආ විවාහ යෝජනාවක් හේතුවෙන් හදිසි වෙන්වීමක් බලාපොරොත්තු නොවූ වෙලාවක එය සිදුවිය. එතැන් පටන් මා අඩක් මළ එකියක වශයෙන් කටයුතු කළ ආකාරය නිකිණිට අමුත්තක් නොවෙයි. "අද දවල් වරුවෙන් පස්සෙ ලෙක්චර්ස් තිබ්බෙ නැති හන්දා සාහිත්‍ය සංගමේ සඟරා විකුණන වැඩේට අපි ගියා අක්බාර් පාලම පැත්තෙන්" "ඔව්...ඉතින්..." "වි..ස..විසල්" මට නැවතත් හැඬුම් ආවේ ඉබේට ම යි. "දුල්ලෑව,මිල්ලෑව ලේ වැල්ල...හත්මුතු පරම්පරාව ම ගැන පම්පෝරිය කියවද්දි මං ඒ කාලෙම කිව්වනෙ...විසල්ට උඩරට පහතරට ප්‍රශ්නයක් නොවුණට එයාගෙ ගෙදෙට්ට ඕක ප්‍රශ්නයක් වෙයි කියලා…ඇහුවද? නෑ..." "ඒත් නිකිණි වෙන් වෙලා මාස තුනක්වත් යන්න ඉක්මන ඒ ආදරේ මරලා දාලා එයාට වෙන කෙනෙක්ගෙ අතක් අල්ලන් යන්න තරම් හිතේ හයියක්" "මොකක් කිව්වා?" පෙම්වතුන් නම් හන්තාන අඩවියට අරුමයක් නොවෙයි. අක්බාර් හි අපි යන මඟත් දෑඟිලි පටලවාගෙන දොඩමළු වූවන් බොහොමයකි. එහෙත් හදිසියේම අන් තරුණියක් හා ඔහුගේ රුව දුටු මගේ මුව ගොළු වුණේ...ආයෙත් ඔහු මා කරා හැරී එතැයි මෙතෙක් කල් මා මනසින් මවාගත් අහස් මාලිගා කඩා බිඳ වැටෙමින්... ඉංජිනේරු පීඨය දිහාවට සඟරා මිටියකුත් අරන් මමත් අපේ කාණ්ඩයේ අනෙක් කීපදෙනත් යන අතරමඟ ඔහු හමුවුණේ අනපේක්ෂිත ව. උන් තැන පවා අමතක ව "විසල්"...මට කෑගැහුණේ ඉබේටම...ඔහුත් මාත් එකවර මුහුණෙන් මුහුණ හමුවුණ තැන...අර තරුණිය මං දිහා හිසේ සිට පාදාන්තයට ම අමුතු බැල්මක් හෙලුවා. තවත් වචනයක්වත් නොදොඩාම මං මගේ කාණ්ඩය සමග ඔවුන් එතැන නැවතී සිටියදී ම හීනෙන් මෙන් ඇවිද ගිය සැටි මට ද අරුමයකි. "සාරධා...ප්‍රශ්නයක් නෑනේ…" අපේ කාණ්ඩයේ අයෙක් අසද්දි ලා හිනාවක් මුවට නගාගෙන සියල්ල යටපත් කරගන්න උත්සාහ කළත්...මූණෙන් කඳුළු වැස්සක් වැටෙන්නට අඳුරු වලාකුළු පාවෙන අපූරුව ඔවුන්ට පේන්ට ඇති. යන්නට ආ ගමන නවතා පිට පාරේ ම මා තනිවම එන්ට හැරුණු තැන...සාරධා යන්...ඕවා ඔහොම තමයි...ලෙක්චර් එකට යන්...ඕවා හිත හිත තවත් ඔළුව අවුල් කරගන්නැතුව...සහනි ආවෙ තනියට... හවස ලෙක්චරය නොයා මඟහැර බැරි කමට ගියා විනා අබාපු බලියක් පරිද්දෙන් ඔහේ කරකැවෙන විදුලි පංකාව දෙස බලා හුන්නෙමි. හවස වලේ නාට්‍යත් නොබලාම ඉන්ට හිතින් පිඹුරුපත් හදා අවසන්... "කියලා ඉවරද? දැන්වත් තේරෙනවද තවත් බලන් ඉඳලා වැඩක් නෑ කියලා" "ඒත් නිකිණි මෙච්චර ඉක්මනට ඇයි?" "මිනිස්සුන්ට මොහොතින් වෙනස් වෙන්න පුළුවන් සාරා.දැන් ඔයාට තනියෙන් ගමනක් යන්න පාරක් හැදිලා තියෙනවා. ආයෙ හැරෙන්නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නෙ. අතරමඟ දි හම්බෙච්ච පොඩි නැවතුමක් කියලා ඕක හිතෙන් අයින් කරන්න කොහොම හරි..." තිත්ත බේතක් කෑ එකියක පරිද්දෙන් ඇඹරෙමින් ආයාසයෙන් කඳුළු වළකාගන්නට වෑයම් කරන මගෙ හිස අතගාමින් ඇය එක එල්ලේම ප්‍රකාශ කළා. "කියනකොට ලේසියි. ඒත් ඒක කරද්දි අමාරුයි...හිතින් යන්න ම යන මිනිස්සුන් ව ඇයි අපි ආයෙ නවත්තන්නේ සාරා?" ඇය හා ඔහු දෑත් පටලවාගෙන ඇවිද ගිය මාවතේ එදවස මා හා ඔහු ඇවිද ගිය රූ මැවි මැවී නින්දත් නොනින්දත් අතර රැය පහන් කළෙමි. "සාරා කොහෙ යන්නද ලෑස්තිය..." තවමත් නිදිගැට අතරින්ම එරමිණියා ගොතාගෙන නිකිණි ඇඳේ සිට බෙරිහන් දෙයි. "සුදුත් ඇඳන්..ගැටඹෙ යන්නද? යන් යන්..මේ ටිකේ එකදිගට විභාග ලියලා ලියලා මටත් හිත ටිකක් හෑල්ලු කරගන්නෝනෙ" වෙනදට නිවාඩු දවසක හොස්ටල් හිටියොත් කෙලින්ම දවල් කෑමට ම නැගිටින නිකිණි දණිපණි ගාලා ඇඳ පැළඳගත්තෙම වැඩියත් මාව තනියෙන් යවන්න බැරිකමට කියලා මං දැනන් උන්නා. ඈ නොහිටින්ට මා කෙසේ මේ සිද්ධියට මූණ දේවිද? "පයින්?...මහකන්ද බස් එකක් එනකල් ඉමු…මේ උදේ මටනම් බෑ පයින් යන්න…දැන් කල්පනාව ගැටඹෙට ම පයින්ද? " "නිකිණි...මට හිත හෑල්ලු කරගන්න පයින් යන්නෝනෙ..මං යන්නම් තනියම.." "හා හා මේ යන් යන්...මේවගෙ වෙලාවක ළඟ නැති යාළුවෙක් මොකටද? " ගලහට ම පයින් ඇවිත් හති අරින ගමන් "ගමන ඉතින් දඬු මොණරෙනෙ. අඩියක් පයින් යන්න බෑ. හති..." ගැටඹේ පන්සල තරම් තවත් හිත නිවන තැනක්... මල් පහන් පූජා කර දැවැන්ත සිංහ රූපයට මෙහායින් වාඩිගෙනම... නිදැල්ලේ පොරි අහුරු පිටින් භුක්ති විඳින පරෙවියන් දෙස බලා සිටීමත් භාවනාවකි. වරු ගාණක් උනත් මෙතන ඉඳන් ඉන්න පුළුවන්... "දැන් කොහොමද සාරධා? උදේම නැගිට්ටට මොකද හිස් බඩම ආව නිසා මට දැන් නම් බඩගිනියි..." මට මූණට හිනාවක් පහළ වුණේ ඉබේටමයි.." ගණන් ගන්නෙපා. රෝමේ ගිනි ගනිද්දි නීරෝ විණා වැයුවා කියන්නේ ඕකට තමා" "දුව අපි මේ උදෙන්ම කිරි පිඬු පූජාවකට පන්සලට ආවෙ. අපිටත් කෑමට එක්කම ගෙනාපු කිරිබත් ඉතුරුයි." "කිරිබත්..." අනේ බොහොම පින් නැන්දෙ…නිකිණි කියන්නත් කලින්ම කිරිබත් කෑල්ලක් ගත්තා… "දැන් බඩගිනි හරිද?" “මොනව කරන්නත් කලින් කාලා ඉන්නෝනේ...”කටේ පුරෝගෙන ම නිකිණි කියන් ගියා. තවත් හෝරාවක් විතර ගැටඹේ බෝ සෙවණෙ හිටි අපි... “අපි යමුද?” “හ්ම්” මම නැගී හිටියේ හිතේ බර ගොඩාක් දුරට සැහැල්ලු කරගනිමින්. "දැන්වත් බස් එකේ යමුද? මගෙ කකුල් දෙක..." මට තවත් පයින් ම යන්නට හිත කියයි.. "සාරා දැන් අව්වත් වැටිලා…මේ අව්වෙ පයින්ම හොස්ටල් එකට...එහෙනම් අර මල්වත්ත ගාවින් මට කර්තකොලොම්බම් උරයක්වත්... "ලුණු මිරිස් පදමට දාපු අඹ මලු දෙකක් ම මිලට ගත්ත අපි පයින් ම ගමන පටන් ගත්තා… "අපෝ...පුදුම ඇඹුලයි..අමුවෙන් ඉදෝපුවා..." නිකිණිගෙ මූණ දැක්කාම මට ආයෙත් හිනා ගියා... "මෙහෙමනෙ සාරා...මේක පිටින් නම් මට හරි රහ පාටට පෙනුණෙ...කාලා බැලුවාම තමා...හපෝ ඇඹුල..." යන්තම් අනික් අඹ මුල හොඳයි... "ආදරෙත් ඕවගේ. ඉඳිච්ච රස පාට අඹ ගෙඩියක් වගේ. කන්න ගත්තාම තමා ඇඹුල පැණි රහ පේන්නෙ.." ඇඟට පතට නොදැනිම නිකිණි කියන් ගියා... "අද ඉඳන් අලුත් දවසක්..ආයේ විසල්ගෙ නමවත් කියන්නෙපා. තේරුණාද?" නිකිණි නොවන්නට පොඩි හේතුවටත් ඇසට කඳුළු උනන මට විසල්ගේ වෙන්වීම කෙසේ නම් බලපායිද? අදටත් මම නිකිණිට ණය ගැත්තියක්මි. ****************** කාලය ඉගිල ගියේ බොහොම ඉක්මනට. විසල් මා හැරදමා ගිය පසු කිසිදු ප්‍රේමාරාධනාවක් පිළි නොගත් මම රිසිසේ උපාධිය සම්පූර්ණ කළෙමි. සිව් වසරක ඇවෑමෙන් මම මුළුමනින් ම ප්‍රකෘති තත්තවයට පත් ව සිටියෙමි. මගේත් නිකිණිගේත් මිත්‍රත්වයට යම් දුරස් වීමක් වූයේ නම් ඒ මෙකලයි. ඈ හා මා එකවර විදෙස් ශිෂ්‍යත්වයකට අයදුම් කළමුත් කල්ගතවත්ම අප දෙදෙනාට ම හිතට හරියන රැකියාවක් ලැබුණෙන් වැඩිදුර අධ්‍යාපනය නවතා දැමීමු. "කොච්චර ඉගෙන ගත්තත් වැඩිවෙන්නෙ නෑ, පුළුවන් කාලෙ ඉගෙන ගන්නෝනෙ ඉහළටම" ගෙවල් වලින් නෝක්කාඩු නැගූ තැන් නැත්තාද නොවේ. "අනේ සාරා මට දැන් මේ රේස් එක දුවලා දුවලා හති...ජීවිතේ තුන් කාලක් ම ඔහොම ඉඳලා නිකන් මැරිලා යන්න බෑ...මං මේක කරන්නෙ ආසාවෙන්..." ඔව්...ඇය ඉගැන්වීමට ම උපන්නියකි...විභාගය හෙටයි කියා ඇය දැමූ කුප්පි වලින් ගොඩ ගිය බොහෝ දෙනාගෙන් ලැබුණු සීනි මුරුක්කු, බූන්දි, කඩල මුල් මේ නා නා විධ කෑම ජාති වලට වැඩි හරියක්ම වග කියන්නේ මම නිසා එය හොඳ හැටි දනිමි. අප දෙදෙනාගේ දුරස් වීම මට හිස්තැනක් එක් කළේ ඈ හා මා ගෙවූ වරුවක් වුවත් මට සතුටක් නිසාවෙනි. සරසවියෙන් මා හම්බ කරගත් වැදගත් බොහෝ දෑ ඇති මුත් ඈ ඒ සියල්ලෙන් උඩින් ම සිටියි. මේ කාලයේ මගේ ජීවිතයේ බොහෝ පෙරළියක් සිදු වූ සමය යි. "හලෝ....සාරා...මට පොඩි සහතිකේක වැඩකට ෆැකල්ටි එකටයි සෙනෙට් එකටයි යන්නෝනෙ. ගිය පාර ගෙට් එකටත් නොගිය එකේ යමුද කැම්පස් එක පැත්තෙ. දැන් මල් පිපෙන්නත් පටන් අරන්. උදේ ම ගිහින් නුවර පොඩි රවුමකුත් දාලා එමු ද? මං කිව්වෙ කරදරයක් නැත්තන් විතරක්" ඒ පෙබරවාරියේ එක් සන්ධ්‍යාවක නිකිණිගේ ඇමතුමකි...එක හුස්මට වැඩත් සමඟ කාර්‍යබහුල මටත් එය මහා අස්වැසිල්ලකි. මට දෙවරක් සිතීමට යමක් නැත. එකපයින්ම මං, "හාං යන්… හැබැයි මං එන්නෙ තනියම...නිදහසේ ඕපදූපයක් කිය කිය ඇවිදින්නෝනෙ..." "ආ...ඒකනම් තවත් හොඳයි..." මගේ නැවතුමට කලින්ම දුම්රියේ හුළං කවුළුවක් අද්දර ඉඳන් හුන් ඈ... මගින් මගටම "කැන්ටිමත් එක්ක ම එහා පෙට්ටියෙ නගින තැන ම ජනේල ගාව..." දැන් මට නගින තැන කටපාඩම්‍ ය..එක රොත්තට සෙනඟ පීරමින් වේදිකාවේ තෙරපෙන මට "සාරා..." නිකිණිගේ බෙරිහන් දීමයි...වටේ කව්රු සිටියත් ඇයට කම් නැත. පොඩි මැණිකේ කඳු පල්ලම් බහිමින් පිම්මේ දුවයි. වසර දෙකකටත් මෙහායින් නුවර කෝච්චි ගමනක් නොගී මට කාෂ්ඨක දාහය වෙනුවට හීතල හුළඟ…මීදුම් බාන හිස් අහස... මහා සැනසීමකි…කන් පිරෙන්නට නිකිණිගේ කියවිල්ලත් අඩුපාඩුවක් නැත්තේ ය…බොහෝ කලකට පෙරාතුව බඩු මුට්ටුත් කර තියන්...සති අග ගෙදර ගොස් සිමෙන්ති කොට්ටයක් තරමට හොස්ටල් එකේ බඩගිනිකාරයන් වෙනුවෙන් තඩි බත් මුලකුත් උස්සාගෙන ආ දවස් වලට අපි යළි යළිත් කිමිදුනෙමු. ඒ සියල්ලටත් එහා මා මඟ හැරි දමා ආ යම් මතකයක් වේද? "විසල්" දැන් මතක පට අතර කඩතුරාවකවත් බලාපොරොත්තු නොමැති.... ජීවිතයේ එක් ඉසව්වක මා මුණ ගැසුණු චරිතයක් පමණකි…නමුදු ඔහු කෙරේ වෛරය අංශු මාත්‍රයකුදු මා තුළ නොමැත...'සරසවි උයන' අදත් එදා වාගෙමයි. "වැඩියත් ම ඕන වුණේ පොඩ්ඩක් ඇවිදින්න." "ඉතින් දැන් සහතිකේක වැඩක් තියෙනවා කිව්වා නේද?" ඔහොම ම සෙනෙට් එකට යන්කො."...සරසවි උයනේ පටන් සනාතන මන්දිරයට පයින් ම බෑ නොකියාම නිකිණිත් ගියේ... "කාලෙකට පස්සෙනෙ. සෙල්ෆි එකක්...අනේ තව එකක්..." ඇයට නම් මෙලෝ හදිස්සියක් නැත... "ඔයා පල්ලෙහයින් ඉන්න.මං ඉක්මනට ගිහින් එන්නම්…" ලියකිවිලි යැයි කිවහැකි කිහිපයක් රැගෙන මාවත් තනිකර ඈ තරප්පුව නැග සනාතන මන්දිරයට ගියා ය. ඈ හා ගන්නා ලද සෙල්ෆි ඡායාරූප කීපයක් මම නිදැල්ලේ ගල් කණුවකට හේත්තු වී වට්ස් ඇප් ස්ටේටස් දමන අතර ම… "මේ පාර මල් කලින්ම...?" "ඔයාලා ඇයි හදිසියෙම පේරා ගියෙ? " මිතුරු ලැයිස්තුවේ ප්‍රශ්න ගොඩකට උත්තර බඳිමින් සිටියෙමි. ගියාටත් වඩා කලබලයෙන් මෙන් නිකිණි පහළට දිව ආවේ දුරකථනයත් කනේ ගසාගෙනයි. "මොකද මේ කලබලේ?" "නෑ...නෑ...කලබලයක් නෑ සාරා...වැඩේ හරි...අපි නුවර යමුද? බලාජි දෝසායි එකෙන් කාල ම යන්කො... " දැන් වැඩෙත් හරි නම් තව වෙලා තියෙන එකේ තව ටිකක් ඇවිදල ම යන්කො" "බ...බලාජි එකෙන්" එදවස විසල් මෙන්ම මාත් නුවර කොතරම් කෑම කඩ තිබුණත් සොයා ගිය එකම කෑම කඩය...ඔහු හා මා වෙන් ව ගතවූ කාලය පුරාවට ම ඒ නමවත් නිකිණි අතින් සඳහනක් නොවුණි. සරසවි මිතුරු හමුවකදී විසල් වෙනත් පීඨයක අයෙක් වුවත් ඔහු පිළිබඳ ව අසන සෑම වතාවකම කතාව වෙනතකට හැරවීම ඇයගේ පුරුද්දයි. "මට දැන් බඩගිනිත් වගේ...මේ…ඒකයි..." ඔළුව කස කස ම නිකිණි කිව්වත් දෑවසරකින් මේ ආපු ගමන තවත් ඇවිදින්ට තිබුණා නම්...නොසිතුණාමත් නොවේ... "බලාජි එකෙන්මද කන්නෝනෙ? මතක ඇති කාලෙක ඔය කඩේ පැත්ත පළාතක ගිහින් නෑ." "අයියෝ සාරා...ඒකම තමයි...මටත් බලන්නෝනෙ...ඒ පැත්ත දැන් වෙනස් වෙලත් ඇති... "මේ ඒක නෙවෙයි අනේ...අපේ අම්මා මං ගෙදෙට්ට නාකි වෙනවා කියලා මනමාලයො හොයනවා...පුදුම කරදරයක්...මට ඕනෙ තනියම ඉන්න…" ගමනෙ කොතනකවත් සඳහනක් නැති අමුතු මාතෘකාවකින් නිකිණි කතාවම කනපිට පෙරළුවා. නුවරට හැමදාමත් ම ඉබි ගමනේ දිවෙන මහකන්ද බසයක නැගි අපි... "අම්මෝ...මට මෙච්චර කියලත් හැංගුවා එහෙනම්..." ඇගේ ප්‍රේමය පතා ආ හැමකෙක් ම ප්‍රතික්ෂේප කරමින් එකල "ඔටු රැජිණ" ලෙසින් ද හංවඩු ගැසී සිටි නිකිණිට වගේ වගක්වත් නැත. අද පවා පරණ යහළුවෙක් හම්බුණොත් අර "ඔටු රැජිණ" එහෙම තාම තනිකඩද? මෙය පොදු ප්‍රස්තාව පිරුළකි. කෑම කඩය පෙරට වඩා අලුත් මුහුණුවරක් ගෙන ඇති නමුත් සුහදශීලී බව නම් පෙර පරිදි ම ය. හදිසියේම මගේ දුරකථනය නාද විය. "අයියෝ සාරා...ඔයා කියන්නෙපැයි අද දවසම මං එක්ක කියලා...දවසකට කතා නොකර ඉන්න බැරිද? සාරා සෑහෙන්න වටින වස්තුවනෙ ඉතින්. පිස්සු නිකිණි එක්ක ගිහින් මොකුත් වෙයි කියලා බය ඇති" නිකිණි ඇසක් ඉඟි මරමින් සන් කළාය... මිගාර හා කෙටි පිළිසඳරකින් කතාව අවසන් කළේ ආ විගස සියල්ල දැනුම්දෙන පොරොන්දුව ඇතුවයි... දුම් දමන තෝසේ එක හුස්මට ගිලිමින් ම නිකිණි දුරකථන තිරය ගැන විමසිල්ලෙන්‍ ය. "මොකද කියන්නෙ? ඉක්මනට එන්නලුද? " "අම්මෝ නෑ නෑ...දවසම ඉඳලා එන්න කිව්වා...කාලෙකින් හින්දා.... " හිනාවත් එක්ක ම කෑම පිට උගුරේ ගොස් කැස්සක් ආවේත් නිකිණිගේ දුරකථනය නාද වුනෙත් එකවර ම යි. "ඔව්..ඔව්..බලාජි එකේ...අපි කන ගමන්...නෑ කමක් නෑ..එන්න..." දැන් නම් මගේ රතු කට්ට පනින්නත් ළඟයි.මොකක්ද මේ වෙන්න යන්නෙ ඇත්තටම... "නිකිණි...මොකක්ද මේ?" " සා..රා..මේකයි...වචන ගොත ගහන ගමන් නිකිණි එක හුස්මට වතුර වීදුරුව හිස් කළා. ඒත් සමඟම සිද්ධ වුනේ මං කොහෙත්ම අපේක්ෂා නොකළ දෙයක්.. " විසල්" ආරාධනයකින් තොරවම අපි සිටි මේසයේ අසුන් ගත්තා..." "නිකිණි...මොකක්ද මේ වෙන්නෙ? මොකක්ද?... "සාරා...මං ම කියන්නම්...අවුරුදු හතරකට පස්සෙ..වලව්මාන්නෙන් හෙම්බත් වෙච්ච ගෙදර හැමෝම ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඔයාව අන්තිම වතාවට දැකපු දවසෙ ඉඳන් මං සෑහෙන්න විඳෙව්වා." මට තවත් ඒ කතාවට කන් දී පලක් නොමැති බව හැඟී ගියත් මම සන්සුන් ව රැඳී සිටියෙමි. නිකිණිත් මා පසෙකින්... "මං අම්මලාගේ කැමැත්තෙන් ගෙනාපු යෝජනාවෙන් කවදාවත් ම ඔයාව දැක්කෙ නෑ සාරා. දෙන්නෙක් එකවගේ නොවුණත් මං සිත්මිගෙන් සාරාව හොයන්න හැමවෙලේම උත්සාහ කළා. වැඩක් නෑ. ගැළපීමක් නැති තැන හිතේ සැනසීමකුත් නෑ. ඔයාට දුන්නු වේදනාවට සමානව ම මං විඳෙව්වා. මං රට ගියා. දැන් සතියක් ඇති ලංකාවට ඇවිත්. "සාරා...විසල්ට ගොඩක් වුවමනා වුණා ඔයාට මේ දේවල් කියලා හිත නිදහස් කරගන්න. මට ගෙදරින් ගෙනාපු යෝජනාවක්...විසල්ගෙ හොඳම යාළුවෙක්. ඒ මාර්ගෙන් තමයි මට ආයෙම විසල්ව හම්බුණේ...එයා මට නොවඳිනා වැඳුම් වැන්දා. ඔයාව එකම එක වතාවක් හම්බෙන්න උදව් කරන්න කියලා." මෙතෙක් වෙලා නිහඬ ව සිටි නිකිණි කතා කළා. දැන් මගේ වාරය...මම කවරක් පවසන්නද? මුහුණට වැටුණු කෙහෙරැල්ල කන පිටුපසට දමා ගන්නට එසැවුණු මගේ වමත දෙස විසල්ගේ දෑස් රැඳී තිබුණේ ඇයි දැයි හරිහැටි මට තේරුම් නොගිය මුත්... "සා..රා.. කව්ද ඒ වාසනාවන්තයා? නොලැබීම මිනිස්සුන්ට දරා ගන්න පුළුවන්. ඒත් ලැබිලා නැතිවුණාම නෑ...නැතිකරගත්තාම...ඒක දරා ගන්න හුඟක් අමාරුයි." එක්වරම බිඳුණු හඬින් ඔහු කතා කරන්නට විය. තවමත් ඔහුගේ දෑස් මගේ මංගල මුදුව මත ය. " ඔව්..සාරා...විසල් දන්නෙ නෑ…ඔයා බැඳපු වගක්…මං කිව්වෙත් නෑ...එයාට ඕනෙ වුණේ...ඔයත් එක්ක කතා කරන්න…හිත නිදහස් කරගන්න…" "එයා මිගාර...යෝජනාවක්...හොඳ කෙනෙක්..." වචන තුනකින් ඔහුව විස්තර කළෙමි. දිගු නිහඬතාවයකි. ඒ ගෙවුනු තත්ත්පර කිහිපය කවරක් පවසන්නදැයි අප තිදෙනාම හිතින් පෙළ ගැසුවෙමු. බරැති සුසුම් කීපයකට පස්සෙ... "මිගාර- සාරධා...හොඳ ගැළපුමක්...මං හදවතින් ම සුබ පතනවා සාරා...මට දහස්වාරයක් සමාවෙන්න." මම කවරක් පවසන්න ද? පවුලේ ම ඥාතින්ගේත් නිකිණිගේත් ළඟම මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ගේත් සහභාගී වීමෙන් පැවති කසාදය ලියාපදිංචි කුඩා සාදය...දුර රටක සිටි විසල් ට ආරංචි නොවීම අරුමයක් නොවෙයි... "සමාව ඉල්ලන්න තරම් ඒක ලොකු වැරැද්දක් නෙවෙයි විසල්...ඒ සිද්ධ වෙන්න තිබ්බ දෙයක්...හැමදේම කාලයට භාර දෙන එකයි හොඳම..." ඒ වචන කියන්න ට කෙසේ දිරි ලද්දාදැයි මම නොදනිමි. කාලය විසින් සියළු තුවාල සුවපත් කර ඇත. ඔහු තවදුරටත් බිඳුණු සිතකින් සිටින්නේදැයි නොදනිමි. නමුදු මම දැන් නොබිඳුණු සිතැත්තියක්මි. සතුට දුක සම සිතින් දරා ගනිමි. (නො) බිඳුණු සිත් ඒ කතාව යි... නිමි.

NEWS

විභව කෙටිකතා | (නො)බිඳුණු සිත්

  • Date: 2021-10-21