Blog



-කොහොමද ඔබ මාව ස්පර්ශ කරන්නේ?- "ආරම්භයේ දී ඔහු පමණයි. නමුත් ඔහුගේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා තවෙකක් හිඳීමේ ආශාව ඔහුට ඇතිවනවා. පසුව ගැහැනියක සහ පිරිමියකු ලෙසින් වර්ගීකරණ දෙකක් සමඟින් දෙදෙනෙකු බිහිවනවා... "මා ඔහුගෙන් නිර්මාණය වන කල, ඔහු මාත් සමඟ ලිංගිකව එකතු වන්නේ කෙසේද?" යනුවෙන් ගැහැනිය සංකල්පනාවක් ඇති කර ගන්නවා. " උක්ත සඳහන් වාක්‍යය බ්‍රිතාන්‍ය දාර්ශනිකයකු වන ඇලන් වොට්ස් විසින් ජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද්දක්. "her" නරඹන විට මතකයට නැංවු ඒ අපූරු කියමනත් සමඟ චිත්‍රපටයක් ද මතකයට නංවනවා. ඒ "The Japanese Wife" නමි බෙංගාලි සිනමාපටය. එකිනෙකාට නොපෙනී, නොදැනී, ලියුම් හුවමාරුවකින් පමණක් ප්‍රේම කරනා අපූරු කතන්දරයක්. තනිකරම "The Japanese Wife" චිත්‍රපටයේ කතා සාරය මෙන් "her" චිත්‍රපටය දැනුණි. අතිශය දුරස්ථ ප්‍රේමයක හුදෙක් හඬ හුවමාරුවකින්ම පමණක් ප්‍රේමවන්තයන් දෙදෙනකු බවට පත් විය හැකි ද? එය බොහෝමත්ම අසීරු කාර්යයක්. ආදරය කෙතරම් ඉහළක සිට කඩා වැටිය යුතු ද? ඒ කුඩා ගල් කැට විලාසයෙන් නොව ඉතා මෘදු මල් පෙති ආකාරයෙනි. එහෙත් මල් පෙති ඇද හැලෙන්නේ කුඩා ගල් කැට සමඟ නම් ආදරයට පෙරහන්කඩ දැමිය යුතු ද? අවංක ආදරයට පෙරහන්කඩයක් තිබිය යුතු ය. තියෝ සහ සමන්තා අතර ගොඩනැ‍ඟෙන මේ අසම්මත සබඳතාව අතත්‍ය එකකි. එකිනෙකා නොදැක, නොදැන හුවමාරු වන කටහඬින් පමණක් එකිනෙකාව මානසික බැඳ තබන්නේ තමන්ට අහිමි යමක් විසිනි. ඒ මා කලින් කියූ ගල් කැට සමඟ බිමට කඩා හැළෙන මල් පෙති ය. ඔවුන් මල්පෙති අහුලා ගැනීමට රුසියෝ ය. එහි සුවඳ බලන්නට පවා සැරසුණෝ ය. රහසිගතව සහ අමාරුවෙන් ලබා ගන්නට යන අනෙකාට අයිති ඔබේ ආශාව කෙතරම් විශාලදැයි හැ‍ඟෙන්නේ මෙවිට ය. සෑම විටම ඔබේ ආශාව පරිමාව ඉක්මවා යන්නට නොදී සුළු බාධකයක් ඒ හරහා වැටෙයි. 'her' චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ සැබෑ මිනිසකුගේ සිත තුළ මෙහෙයුම් පද්ධතියක් කෙරෙහි ඇතිවන අවංක, නිර්ව්‍යාජී නමුත් අසම්මත ආදර සම්බන්ධතාවක් පිළිබඳ කතාවකි. අරුමය නමි මෙහෙයුම් පද්ධතියකට ආදරය කළ හැකිද යන්නයි. එය කෙසේ ප්‍රේමයක් ද?අසංස්පර්ශයෙන් යුතු ප්‍රේමවන්තියකගේ ප්‍රේමණීය පහස කෙසේ නම් ලැබිය හැකි ද? ප්‍රේමයෙන් තොර රාගයටත්, රාගයෙන් තොර ප්‍රේමයටත් වැඩි පැවැත්මක් නැත... මට මෙතනදි මතක් වෙනවා විශාරද නන්දා මාලිනියන්ගේ අපුරු ගීතයක පැදි පෙළ, "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි" තියෝගේ බිඳුණු ජීවිතයට අස්වැසිල්ලක් සේ සොයා එන සමන්තා නිතැතින්ම "තියෝගේ" ජීවනාලිය බඳු වෙයි. පැය විසි හතර පුරාවට ඇගේ සුමිහිරි වදනින් තියෝ විශ්මිත වෙයි. තියෙඩෝර් හා බැඳි පෙම වඩා වඩාත් වැඩිදියුණු වීමේ දී, මිනිස් ශරීරයක ඇති අවශ්‍යතාවය මෙහෙයුම් පද්ධතියට දැනෙන්නට පටන් ගනු ලබනවා. මිනිසකු හා ගැහැනියක එක් වීමේ දී ලබන ලිංගික තෘප්තිය ශරීරයක් නොලද මෙහෙයුම් පද්ධතිය විසින් අත් විඳිනු ලබනවා. තියඩෝර් ගේ පෙම් බස් හමුවේ මෙහෙයුම් පද්ධතිය ආදරය නැමැති වටහාගත හැඟීම මත උත්තේජනයට ලක් වනවා. සැබෑ ගැහැනියක ලෙසින් තියඩෝර් හා ශාරීරිකව එක් වීමේ දැඩි ආශාව මෙහෙයුම් පද්ධතිය තුළ ඇති වනවා. එසේම, සැබෑ ගැහැනියක මාර්‍ගයෙන් තියඩෝර් හා එක්ව තම අවශ්‍යතාවයන් සංසිඳුවා ගැනීමටත් මෙහෙයුම් පද්ධතිය මහත් පරිශ්‍රමයක් දරනු ලබනවා. මේ සෑම දෙයක්ම සිදුවන්නේ මෙහෙයුම් පද්ධතිය, තියඩෝර් හා ආදරයෙන් බැඳීමේ පසුබිම මත. නමුත් අවසාන සමන්තාගේ වෙන්ව යාම හමුවේ සාමාන්‍ය ප්‍රේමයක් තුළ ඇති වන ප්‍රේමයේ විරහව, 'her' චිත්‍රපටය තුලදීත් සියුම්ව ප්‍රේක්ෂකයා වෙත සමීප කරවනවා. "සමන්තා" යාන්ත්‍රීය මෙහෙයුම් පද්ධතියක් වුවත්, තමන්ට නිර්ව්‍යාජී ව පෙම් කළ සමන්තාගේ වෙන්ව යාම හමුවේ හුදකලා ලෝකයා තුළ තවත් වරක් තියඩෝර් හුදකලා මිනිසකු බවට පත් වනවා. මිනිස් ප්‍රාණින් "8316" සමඟ සබඳතා පවත්වන "සමන්තා" හට එයින් "641" ක් ප්‍රේමවන්තයන් ය. ප්‍රශ්නාර්ථය එතැනයි. "සමන්තා" යනු "තියඩෝර්" වෙනුවෙන්ම උපන් ප්‍රේමවන්තියක නොව, මෙහෙයුම් පද්ධතියකි. අවසානයේ තියෝගේ මිතුරිය වන "එමී" ද මෙහෙයුම් පද්ධතිය තුළ ප්‍රේමයට සිර වූ අයකු වීම ද අවසානය පවා මවිතය දනවන්නක්. තියඩෝර් ලෙස Joaquin Phoenix සිය සුවිශේෂී චරිත නිරූපණය ඉතා විශිෂ්ට අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වනවා. නුදුරු අනාගතයේ දී සවිඤ්ඤාණික කෘත්‍රිම බුද්ධියක් ඇති තැනැත්තියකට ආදරය කිරීම පිළිබඳ ප්‍රායෝගික ලෝකය තුළ දැකිය හැකි ද? නැතිනම්, මිනිසුන්ටත් වඩා පැහැදිළි කළ නොහැකි ලෙස යන්ත්‍ර තුළ ආදරය කිරීමේ හැකියාව ඇතිවේ ද? නමුත්, වැදගත් වන්නේ යන්ත්‍රයකට ආදරය කිරීමේ හැකියාව පිළිබඳ සිතීම නොව, මිනිසුන්ට තවදුරටත් හැඟීම් දැනීම් දැනෙනවා ද යන්න පිළිබඳ සිතීම නොවේ ද?

NEWS

විභව Unframed | Episode 37 | her (2013) Movie Review

  • Date: 2021-11-05