Blog



මෙතෙක් ලොව බිහි වූ උත්තරීතර ම ආදර කතාව සිද්ධාර්ථ යසෝදරාවන්ගේ ය. ප්‍රේමය වනාහි, ලොව උත්තරීතර ම පරිත්‍යාගය බව සපත කළ උත්තරීතර ම පෙම්වතිය යශෝදරාවන් ය. ඇයගේ ප්‍රේමය එක් ආත්මයකට පමණක් ලඝු වූවක් නොවේ. ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ යශෝධරා දේවිය වස්තු විෂය කර ගත් රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ 'ළා දලු බෝපත්' අතිවිශිෂ්ට පද ගෙත්තම කරුණාරත්න දිවුල්ගනේ නම් අසහාය ගායකයාගේ හඬ මුසුව හා හිත නිවන එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතය කැටිව මතුව ආ අපූර්ව ගීතය උත්තම යසෝදරාවන්ගේ අසමසම ගුණයන්ට උපහාරයක් ම වේවා..! "ළා දලු බෝ සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී..." 'කවිය යනු හොඳ ම වචන හොඳ ම පිළිවෙලට යොදා ගැනීම ය.' එහිලා මෙම නිර්මාණය කෙළ පැමිණියෙකි. යසෝදරාවගේ වේදනාව හා ඇය ම එය දරා ගත් ආකාරය ඉතාම සංයමයෙන් පද ගොනුකොට ලියා ඇති අයුරු සිතාගත නො හැකි ලෙස රසාලිප්ත වේ. ඇගේ හැඬුම ඇසෙන්නේ රසිකයාගේ කනට නොව හදට ය. ඇය මෙලොව උත්තරීතර ම පෙම්වතියයි. ඇගේ ප්‍රේමය විශ්වයේ කවරකුට හෝ සමකල නො හැක. දරුවන් නොමැතිව අවුරුදු දහසයක් බලා සිට, දරුවකු ලැබුණු අවස්ථාවේ දී ම ඔහු ඇගෙන් සමු ගනී. එය දරාලිය නොහැකි වේදනාවකි. ඇය හා ගත කළ අවුරුදු දහසයට ම ඔහු ඇයට නො පනත්කම් කළේ නම් ඇයට ඉවසා දරාලිය හැකිය. නැත, විශ්වය තුළ ඇය දුටු හොඳ ම පෙම්වතා ඔහු ය . වචනයකින් හෝ හිත නො රිද්දා අවුරුදු ගාණක් දරුවන් නොමැතිව හිඳිනා කළ ඇයව සැනසුවේ ඔහු ය. අවුරුදු දහසයකට පසු ඇය ඔවුන්ගේ සැනසීම ගෙනෙන මොහොතේ ඔහු හුදී ලෝක සත්ත්වයන්ගේ සැනසීම පතා හැර ගොස් ය. සාමාන්‍ය පතිනියකට, කුළුදුල් මවකට දරාලිය නො හැකි වේදනාවක් ඇය දරාගත්තේ ඔවුනොවුන් වෙනුවෙන් ම පිරූ වචනයකට ගොනු කළ නො හැකි අසමසම ප්‍රේමය නිසාවෙන් ම ය. ආත්මයක් ආත්මයක් පාසා ප්‍රේමයේ බැඳුණු තපසට ගිය විට දී පවා එකම කැලයක පන්සල් දෙකක සිටි පෙර සංසාරේ ඇසුර මතක් වී ඇය හඬන්නේ යහපත් කාන්තාවකට කෙතරම් වූ විලාප තබා, කොණ්ඩය ඇද ගනිමින්, ඇඳුම් ඉරා ගනිමින් නොව ඇසෙන නෑසෙන ඉකි බිඳුමකිනි. සිද්ධාර්ථයන් නේරංජනාවෙන් එතෙර වූ කල්හි කන්ථක අසු ළය පැලී මැරුණ ද, කාන්තාවකට දැරිය නො හැකි දුක් ඉවසා දරා ගැනීමේ මනා සංයමයකින් යුතු ඕතොමෝ ඔහු වෙනුවෙන් ම දරා ගත්තා ය. විශ්වයේ කාන්තාවක් කර ඇති දුෂ්කරතම කැප කිරීම ඔවුන්ගේ ප්‍රේමය වෙනුවෙන් ඈ කළා ය. පද රචනයෙහි ඇති අපූර්වත්වය වන්නේ ඇගේ නො කැළැල් චරිත ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කිරීමට ගෙන ඇති පින්සාර වෑයම යි. බෝපත් සුළඟට ලෙලදෙන්නේ 'සරසර' ශබ්දයෙනි. එහෙත් ළා දලු බෝපත් සෙලවෙන්නේ ඇසෙන නෑසෙන පමණට ය. යශෝධරාවන්ගේ තරුණ බව, සංයමය, සුකොමාළ බව යනාදි සමස්තය ඒ හරහා රසිකයා තුළ මැවෙයි. "ලේන කුලේ සිට ආගිය මඟතොට සිටියා නො සැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවනැල්ලක් වී...." ආත්මීය බැඳීම සංසාරය පුරාවට එක්ව ගමන් ගත්තකි. එවන් තද ගැඹුරු බැඳීමකින් විරහාවකට පත් වූ කලක ඒ සිත්හි දෙදරා යාම අනුමානයට ගත නො හැකි ය. ඇය හඬා වැටෙන්නේ අතීත මතක සිහිකර ය. ශෝකී විෂයෙහි ලා ආවර්ජනය ස්වභාවය යි. ලේන කුලයේ සිට තමා හා බැඳුණු සහවේදියාගේ මතක, අත් පා, සිරුරු, දරුවන්, ජීවිත දන් දෙමින් පිරූ පාරමිතා වල දී අතැර නො ගිය, මහා දුක් මැද සැමියා ම පැතූ ඇය, කිසිවිටෙක කරදරයක්, වදයක් නොවුණු සෙවනැල්ලක් වන් පාදපරිචාරිකාවකි. "තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ..." සිද්ධාර්ථයන්ට යශෝධරාවන් සේම යසෝදරාවන්ට සිද්ධාර්ථයෝ ද ප්‍රේම කළහ. එය සාංසාරික ය. වචනයකට පිඬු කළ නො හැකි ය. එවන් මාහැඟි ප්‍රේමයක මඟ ලකුණු තද හදවතක, හිස් මුඩු කොට, කසී සළු ඉවත දමා සිද්ධාර්ථයන් සේ ම දුක් විඳි යශෝධරාව කිඹුල්වතට බුදු හිමියන් වැඩම වුව ද පෙර ගමන් නො ගියා ය. ඒ තරහට ද නොවීය. එය කාන්තාවක සතු මාන්නයට නො පත් වටිනාකම විය. විශ්වයේ කිසිදු පෙම්වතියකට සමකල සම කළ නො හැකි පතිභක්තිය දරාගත් ඒ මාහැඟි උත්තමාවියගේ කුටියට වැඩි අවස්ථාවේ සිරිපතුල් අල්ලා දුක පිට කිරීමට පමණක් ඇයට අවශ්‍ය විය. එහෙත් කිසි විටෙක පෙරළා බසක් නොවී ය. ඇය සැනසිල්ලට පත්විය. අවසානයේ බුදු හිමියන් ගිය මඟෙහි ම ගොස් නිවීමට පත් විය. නමුදු ඇගේ ගුණ කදම්භය අද ද විශ්වය පුරා ම පතුරුවන්නේත් විශ්වයේ දීර්ඝතම පෙම් කතාව සිද්ධාර්ථ යශෝධරා වන්නත් යශෝධරාවන්ගේ කැප කිරීම මෙන් ම සිද්ධාර්ථයන්ගේ සෙනෙහස නිසා ම යන වග රසික හදෙහි රඳවමින් ගීතය සමාප්ත වෙයි. පද රචනයෙහි රසාලිප්ත තැන් සංස්පර්ශයට යෝග්‍ය වූ ගැඹුරු කටහඬක් තිබීම තුළ රසිකයා කරුණා රසයෙන් ඔද වැඩුණු ගැඹුරු සෙනෙහසක මුලකුරු කියවන අතර ඒ කියවීමේ නිවී සැනසීමට යෝග්‍ය සංගීතය තිබීම සිතාගත නො හැකි තරම් පුදුමාකාර ය. පද පෙළෙන් මතු වන අරුත යශෝධරාවන්ගේ කටහඬින් හදවතට දැනී සංගීතයෙන් ම නිවීමට පත් වන්නෙකි. රසාලිප්ත ය. ළතෙත් ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 54 වන දිගහැරුම

  • Date: 2022-01-03