Blog



ගායනය හා සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සූරීන්. පද රචනය: මහගමසේකර සූරීන් යුග ගායනයක් වන මෙම ගීතය පුරාවට ම එකම රිද්මයකින් ගලා යයි. කවියා සන්නාලියක සමඟ කරන සංවාදයක් ලෙස සරලව දැක්විය හැකි මේ ගීතයේ "සන්නාලියක්" යනු ඇඳුම් මසන තැනැත්තියකි. බැලූ බැල්මට සරල පද මාලාවක් සරල තනුවකින් විචිත්‍රකර වූ මේ ගීතය නොනිම් සසරේ ගෙවන ජීවිතයේ විවිධ විශේෂිත වූ අවස්ථාවන් ගෙනහැර දක්වමින් ජීවිතයේ නොතිර බවත් සසරේ නොනිම් බවත් මනාව මතුකර දක්වයි. මෙහිදී කවියා ස්ත්‍රියකගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන ප්‍රධාන කොට ගෙනහැර දැක්වූවද හුදෙක්ම මෙමඟින් සමස්ත සසර වැසියන්ගේ ජීවන ගමන පිළිබිඹු කරවයි. බිළිඳියක්, දැරියක්, කාන්තාවක්, මවක්, මිත්තණියක් වෙයි. ලොව මානව සංහතියේ ජීවන මුල මවයි. එබැවින් මෙහිදී කවියා ස්ත්‍රියක් ගෙනහැර දක්වමින් සමස්ත සසර කතර අතරමං ව සැරිසරන මනුසත් ජීවිතයේ නොතිර බව මොනවට පැහැදිලි කරයි. "සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ... සන්තොසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ... කාටද ඇඳුම වියන්නේ... මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ..." පළමුව කවියා සන්නාලියගෙන් විමසයි. හිමිදිරි උදයේ හිනැහෙමින් කවුරුන් හට ඇඳුමක් සකසනවා ද යන වග. එහිදී සන්නාලිය පිළිවදන් දෙන්නේ මාලගිරවුන්ගේ තටුවල නිල්වන් කොළ පැහැයෙන් ඇඳුමක් සකසන්නේ ඊයේ උපන් කුළුඳුල් දියණියට යන වගයි. මෙහිදී කවියා හිමිදිරි උදයෙන් අරුත් ගන්වා ඇත්තේ ජීවිතයේ පූර්ව අවධිය යි. එලෙස ම නිල්වන් කොළ පැහැය ජීවයේ සංකේතය යි. මිහිමත ජීවයේ අපූර්ව සංකේතය ගස්කොළන් ය. එබැවින් නිල්වන් කොළ පැහැති ඇඳුමක් ලෙස ජීවයේ උපත එනම් නව ජීවයක් මෙලොව එළිය දැකීම සංකේතවත් කරයි. සන්තෝසයෙන් හිනැහෙමින් ඇඳුම සකසන බව දැක්වීමෙන් දරුවකුගේ උපත දෙමව්පියන් ඇතුළු සියළු දෙනාට සතුට උපදවන කාරණයක් බව හැඟවූවද එමඟින් සංසාර චක්‍රයේ තවත් එක් නැවතුම්පොළක නතර වූවෙන් හටගත් භාවාත්මක දුක ගීතයේ අවසානයේදී රස විඳින්නාට හැඟවීම කවියාගේ විදග්ධභාවය පිළිබිඹු කරවයි. සසර සරන පෘතග්ජන මිනිසුන් වන අප එවන් අවස්ථාවක සතුටු වීම ස්වභාවය යි. නමුත් සියළු දුකෙහි ද ආරම්භය එය ම යි. ලොව පවතින අව්‍යාජ දේ වලින් ඉහළින් ම පවතින දෙයකි, බිළිඳෙකුගේ සිනහව. ඉතින් එවන් දෙයක් හුදෙක් පෘතග්ජන අපට සතුට ඉපිදවීම පිළිබඳ තර්ක කළ යුතු නොවේ. එවිට සන්නාලිය පවසන පරිදි ඊයේ උපන් කුළුඳුල් දියණිය වෙනුවෙන් ඒ සළුව පිළියෙල කරයි. පවුලක කුළුඳුලේ උපදින දරුවා අනෙක් කාටත් වඩා සැමගේ ආකර්ශණය, අවධානය , ආදරය ලබයි. එහිදී කවියා ඉතා සියුමැලි ලෙස හා ප්‍රසන්න ලෙස දරුවෙකුගේ උපත දක්වමින් ජීවිතයේ ආරම්භක සන්තුෂ්ටිය සන්නලියගේ පිළිතුර හරහා දක්වයි. හිමිදිරි උදයේ ජීවිතයේ නැවුම් බව හා අලුත් බව දක්වන අතරම ප්‍රබෝධමත් ආරම්භය මනාව හඟවයි. "සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ... දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ..." පසුව කවියා නැවත සන්නාලියගෙන් අසයි. සැන්දෑ යාමයේ හැඩ වැඩ දමා අලංකාරවත් ලස්සන ඇඳුමක් සකසන්නේ කාටදැයි කියා... සන්නාලිය එවිට පිළිවදන් දෙන්නේ සැඳෑ අහසක මෙන් වර්ණ විචිත්‍ර ඇඳුම සකසන්නේ ගෙදර කුළුඳුල් දියණිය විවාහ කර දීමට මංගල ඇඳුම සකසන බවයි. මෙහිදී ගීත රචකයා සැන්දෑ සමයෙන් අරුත් ගන්වා ඇත්තේ ජීවිතයේ තරුණ විය එහෙත් නැතිනම් මැදිවිය යි. එනම් නව යොවුන් විය පසුකර තරුණ වියට පැමිණි විට ආවාහ විවාහ සිදුකර දීම සිරිත යි. එලෙස තුරුණු වියේ පසුවන පෙර උපන් කුළුඳුල් දියණිය යුග දිවියට එළඹිම එහිදී අදහස් කරයි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් විවාහ වන දිනය ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයකි. එනම්, පෙර ගත කළ තනිකඩ ජීවිතයට සමු දී නව ජීවිතයක් තවකෙකු සමඟ බෙදාගනිමින් ගත කරන නව පරිචයක ආරම්භය යි. මව්පිය රැකවරණය ආදරය මත යැපෙමින් සිටින තරුණ ජීවිතය විවාහයෙන් පසු ගත කරන ජීවිතයට හුදෙක්ම වෙනස් වේ. එය ආදරය, පරිත්‍යාගය, කැපකිරීම මෙන්ම දෙදෙනා අතර බැඳීම ලිංගිකත්වය මත ද රඳා පවති. එලෙස නව පරිචයක් අරඹා දරුවන් දරා ඔවුන් පෝෂණය කරමින් එකිනෙකා මත බැඳෙමින් පෙරලෙන රිය සකක් බඳු ය ජීවිතය. මෙහිදී සන්නාලිය සැන්දෑ අහස සේ අලංකාර ඇඳුමක් සකසන බව පැවසීම මගින් තරුණ වයසේ අලංකාරය කෙළිලොල් බව ද අරුත් ගන්වයි. එනම් තරුණ වියේදී බොහෝ ම වින්දනයට බරවූ ඉන්ද්‍රිය පිනවීමෙහි ලා බොහෝ සේ සිත යොදවන බව සාමාන්‍ය ස්වභාවය යි. හැඩ වැඩ දැමූ රන්වන් ගෙත්තම් කළ ඇඳුමෙන් සැරසී දීගෙක යන බව දක්වන්නේ එබැවිනි. එලෙස ම පෙර කී සේ ම මෙය ද ජීවිතයේ වඩාත්ම සතුටුදායක මෙන් ම ප්‍රියමනාප අවස්ථාවක් ලෙස නිරූපණය කිරීමට කවියා වග බලාගෙන ඇත. සැඳෑ අහස අප බොහෝ දෙනා දැක ඇති පරිදි දිලිසෙන තැඹිලි කහ පැහැයෙන් යුතු වන අතර විවිධ වර්ණ රටා මවමින් විවිත්‍ර දර්ශන මවයි. එමඟින් කවියා තරුණු වියේ ආකර්ශණීය බව ප්‍රියමනාප බව දක්වමින් ස්ත්‍රියකගේ ජීවිතයේ දෙවන සන්ධිස්ථානය ගෙනහැර දක්වයි. "සන්නාලියනේ සන්නාලියනේ සීතල සඳ එළියේ මැලවුණු මූණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ..." අවසාන වශයෙන් කවියා නැවතත් සන්නාලියගෙන් අසයි. සීතල රාත්‍රියේ සඳ එළියෙන් දෑත් වාරු නොවී වෙව්ලමින් කවුරුන් හට ඇඳුමක් සකසන්නේද කියා. එවිට සන්නාලිය පවසන්නේ මිය ගිය දියණියගේ මිනිය වසන්නට ඇඳුමක් සකසන බවයි. මේ රාත්‍රියෙන් දවස අවසන් වී යයි. එලෙසම කවියා රාත්‍රියෙන් ජීවිතයේ ද අවසානය නිරූපණය කරයි. නමුත් අප දන්නා සත්‍ය නම් හෙට නැවත හිරු නැඟෙයි. අලුත් දවසක් ආරම්භ වෙයි. එනම් අප හෙට දවස උදාවීම වළකාලන තුරුම මේ සසර චක්‍රය පෙරලෙයි. ඉපදෙමින් මැරෙමින් සසර ගලා යයි. සීතල රාත්‍රියේ පාළු බව හා සෙනෙහසේ උණුසුමක් නොමැති බවක් පෙන්වයි. සඳ එළිය ඇත්තේ කාගෙවත් සරණක් පිහිටක් ආලෝකයක් නොමැති අයවලුන්ට තනියටයි. දියණිය හැර ගිය සොවින් මළානික ව වියෝ දුක දරා ගන්නා සන්නාලියගේ දුක ඉහිලුම් නැති බව කවියා දක්වයි. සන්නාලියගේ අධික ශෝකය දක්වන අතර ම ජීවිතයේ අතිර බව තාවකාලික සතුට පසුපස හඹා යාමේ අවසානයක් එළඹෙන දිනයක් පැමිණෙන බව ගීත රචකයා විසින් සමාජයට ලබා දිමට අවැසි පණිවුඩය ලෙස දෘශ්‍යමාන වේ. මිය යාමෙන් පසු හදවත නතර වී දේහය සීතල වී යයි. සීතල සළුවක් ලෙසින් අදහස් කර ඇත්තේ එයයි. කණකොක් තටුවේ සුදුමැලි පාටින් අසුබ නැතහොත් ප්‍රියමනාප නොවන සිදුවීමක් දක්වයි. මරණයක් ඉතා දුක්බර ලෙස දැකීම පෘථග්ජන අපගේ ස්වභාවය යි. එම සිදුවීම ඉතා අවාසනාවන්ත හා පාළු පරිසරයක් මවමින් ශ්‍රාවක සිත් සතන් සංවේදි කිරීමට තරම් කවියා සමත් වී ඇත. තවත් ලෙසකින් සන්නාලිය සිටියදි ම දියණිය ඉපදී විවාහ වී මිය යාම මඟින් ජීවිතයේ වඩාත් නොතිර බව දැක්විමට උත්සාහ කර ඇති බව පැසසිය මනා ය. තවත් අයුරකින් සන්නාලිය යනු හුදෙක් පුද්ගලයෙකු නොවන ලෙසත් ඕ ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල ස්වභාවය කියාපෑමේ එක් චරිතයක් ලෙසත් තවත් කෙනෙකු උපකල්පනයේ කිසිදු දෝෂයක් නැත. කෙසේ හෝ ගීත රචකයා මේ මඟින් සසර අතරමංව සරණ අප සියළු දෙනාගේ ජීවිතවල ස්වභාවය මෙන් ම නිමක් නොමැති සසර චාරිකාව පිළිබඳ අතිශයෝක්තියකින් තොරව ගෙන හැර දක්වා ඇත. හුදු පුහු නිල බල ධනය රූපය පසුපස තණ්හාවෙන් හඹායන ජීවිතවලට අටලෝ දහමින් කම්පා නොවී සසර සැරීමට හෝ අවබෝධයෙන් නිමක් නැති සසර පිළිබඳ යම්කිසි අදහසක් ලබාගෙන ඉන් මිදීමට නවමු මාර්ගයක් විවර කිරීමක් ලෙස ද මේ ගීතය දැක්විය හැක. අප ඉපිද මිය යයි. සසර සන්නාලිය දිගින් දිගට ම අප කැඳවාගෙන අපට ඇඳුම් සකසා දෙයි. සන්නාලියට නැවතුමක් ද නොමැති නමුදු යම් දිනෙක අප නතර වූ විට ඇය ද ඇඳුම් සැකසීම නතර කරයි. සදාකාලික විවේකය එතැන ය. නිමක් නැති ගමනේ අවසානය එතැන යි. එය හුදු මරණයෙන් කෙළවරක් නොමැත. ** සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ... සන්තොසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ... කාටද ඇඳුම වියන්නේ... මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූට යි මේ පොඩි ඇඳුම වියන්නේ... සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ...දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ... සන්නාලියනේ සන්නාලියනේ සීතල සඳ එළියේ මැලවුණු මූණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්න යි සීතල සළුව වියන්නේ...

NEWS

හඬ මත පැටළුණු අකුරු | 55 වන දිගහැරුම

  • Date: 2022-01-04