Blog



"දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්.. මියෙනා දිනයේ කඳුළක රස විඳිමින්.." සමහර බැඳීම් තියෙනවා හරි අපූරුයි.. යාළුකමට හුඟක් එහාට ගිහින් ආදරයට අංශු මාත්‍රයක් මෙහායින් නැවතුණ සම්බන්ධතා විදියට මිනිස්සු ඒ බැඳීම් අර්ථකථනය කළාට, ඇත්තටම ඒවා ආදරයට මහා හුඟක් එහායින් නැවතුන බැඳීම්.. "ආදරෙයි ද ? " කියල ඇහුව ම "ඔව් මං ආදරෙයි" කියනවා වෙනුවට, "මගෙ නේද? " කියල අහනකොට " ඔව් ඔයාගෙ ම විතරයි " කියල පොරොන්දු දෙනවා වෙනුවට, ආදරෙයි ද? කියල අහන්නෙවත් නැතුව මහමෙරක් ආදරේ කරන්න, මගේ නොවුණත් මං නුඹගෙ ම විතරයි කියල හිතාගෙන ආත්මයම කරගෙන ඉඹින්න හැමෝටම බෑ. මුළු ජීවිත කාලය ම නැතත් ලැබෙන මොහොත තුළ නොලැබෙන දේවල් වෙනුවෙන් රණ්ඩු නොකර ලැබෙන දේ මහා මෙරක් කරගෙන හිත ම බර කරගන්න හැමෝටම බෑ. මේ ආදරයත් අන්න ඒ වගේ . මං දකින විදියට මේ හිත් දන්නවා අනෙකා මේ තමන්ගෙ ලෝකෙට පායන තමන්ට අයිති නැති සඳක් කියල. ඒත් මිනිසුන් හැඟීම් ඉස්සරහ හරි අසරණයි. ඒ අසරණකම පරායක්තයකයන් දක්වන්නෙ අසම්මතයක් විදියට. ඒත් සම්මතය තුළ නැති සැනසීම, මිහිර අසම්මතය තුළින් ලැබෙනවා නම් , ඇයි ඒ හැඟීමට මේ තරම් නෝක්කාඩු සමාජය එල්ල කරන්නෙ ? ජාතිකුලමලවලට කොටු වෙන්න අකමැති නිසා ම ගීතයේ වචන තුළින් දැනෙන හැඟීම අර්ථකථනය කරන්න උත්සාහ ගත්තොත් මේ විදියට ඒක කරන්න පුළුවන් . ජීවිතේ අතාරින්න හිතෙන අන්තිම තත්පරය තුළ නවතින්න නෙවෙයි ඇවිත් ආපහු යන්න වුණත්, ජීවත් වෙන්න බලාපොරොත්තුව සහ ලස්සන ම මතකයන් අරන් ආව ඔය තුරුළෙ මං මට දැනෙනකම් ඉන්න ද ? වචනවලට පෙරලන්න බැරිවෙලා ඇස් අස්සෙ හංගගත්ත කීරිගැහෙන හිතක ඇතිවෙන්න පුළුවන් අහිංසක ම ඉල්ලීම නෙවෙයි ද මේ? තව මොහොතක් මං ඔය තුරුළෙ ඉන්නද? ඒ මොහොත මං මියයන දිනයක නැත්නම් මං මියයන තෙක් ම මගේ ඇස්වලට කඳුළක් විදියට දැනෙන රසයක් වෙයි. ඒක විඳවීමක් නෙවෙයි. ඇත්තටම මට ඒක වින්දයක්.. ඒ හැඟීම, විඳවීම ඇතුළෙ හැංගිලා තියෙන විඳීම මට දෙන්න.. ඔයාට මාව දැනෙන්නෙ ම නැත්නම් ඒ දැනෙනකං මං ඉන්නම් ද ඔයා ගාවින් ? මේ පිරිමි දඩබ්බර හිත කොයිතරම් අසරණ වෙලා ද? එයා හිතන්නෙ ම මේ ගෑනු හිතට තමන්ව දැනෙන්නෙ නැහැ'යි කියල ද? නෑ ඇත්තටම මේ පිරිමි හිතත් දන්නවා මේ ලෝකෙ තමන්ව වැඩිපුරම දැනෙන්නෙ මේ ගෑනි ට කියල . ඒත් ඒක එයාගෙන් ම අහගන්න තියෙන ආත්මාර්ථකාමීත්වය නිසා ම එයා එහෙම අහනවා.. "නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුණේ.." මේක තුන්කොන් ප්‍රේමයක්.. හැබැයි සමපාද ත්‍රිකෝණයක හැංගුණු ආදරයක් නෙවෙයි. විෂම පාද ත්‍රිකෝණයක හැංගුණ වෙනම ම හැඟීමක්. මේ ගෑනු හිත දන්නවා මේ පිරිමියට බෑ කවදාවත් සේල එළලා , මාල බැඳලා තමන්ව කැන්දන් යන්න කියල. ඒත් මේ ගෑනු හිත හැමදාම පිරිමියව පිළිගන්නවා තමන්ට පුළුවන් උපරිම විදියට . ඒත් මේ පිරිමියා හරි අසරණයි. කවුළු දොරකින් ඇරෙන්න මේ ගෑනිව තම හදවතට වඩම්මව ගන්න බැරි තරම් අසරණයි. කොයිතරම් කාලයක් හරි ලස්සන හැඟීමකින් මුළු ලෝකෙට ම රහසේ හැංගිලා හිටියත් එක දවසක එක මොහොතක ඒ හැමදේම හැමෝම දැනගන්නවා. අන්න එහෙම මොහොතක ඒ දෙහිත අසරණ වෙන තරම තමා මනුරංග මේ අකුරු කරලා තියෙන්නෙ.. ඔයාගෙ පහසෙ ඔයාගෙ හදවතේ තියෙන රහස - රස නේද මං.. එහෙම මං ලියන්න හිතුවෙවත් නැති කවියක පද එකිනෙක බිඳිලා යනවා මගේ ඇස් ඉස්සරහ. ඔව් ඇත්තටම මෙයාට ඕන වෙන්නෙ නෑ මේ පිරිමි පපුව සදහට ම සින්නකර ගන්න . රහසක් වෙලා රස මවන්නයි එයාට ඕන වෙලා තියෙන්නෙ. ඒ නිසා කවදාවත් එයා ඒ කවිය අකුරු කරන්නේ නෑ. එහෙම කරන්න හිතන්නෙවත් නෑ. එහෙම අකුරු නොකරපු කවියක පදවැල් බිඳිලා යද්දි මොන ගෑනිට ද දරාගන්න පුළුවන්? මොන, හුස්ම වැටෙන වම් උරස් කුහරෙ යට තියෙන රතුපාට මස් ගුලියකට ද උහුළන්න පුළුවන්? ඒක හරියට නොපිපීම නටුව අතාරින පතොක් කැකුළක් වගේ. කටුක බව දැන දැන ම නොපිපීම බලං ඉන්නකොට එහෙමවත් ඉන්න වරම් නැතුව නටුව අතාරින්න වුණා ම කොයිතරම් ගෑනුහිත් අසරණ වෙනවද? "දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන් දෝ කියලා ඇසුවා.." මේ අහිංසකාවිය අහනවා තුරුළට තුරුල් වෙලා මට ඔයාගෙ සෙනෙහස දැනෙනවා.. මේ දැනෙන සෙනෙහස මට අයිති නැහැනෙ . එහෙම අයිති නැති සෙනෙහසක තුරුල් වෙලා ඉන්න මං ඔයාගෙ කවුද කියල හැමෝම අහනවා. මෙතන හරි ම ලස්සයි . කවදාවත් මේ ගෑනු හිතට දැනිලා නෑ මං මේ පිරිමියගෙ කවුද කියල. කවදාවත් එයාට හිතිලවත් නෑ එහෙම .. මේ තමා අසම්මතයක් විදියට සමාජය තවකෙනෙක්ගෙ හැඟීම් හංවඩු ගහන නෝක්කාඩුවට ලක් කරන අමිහිරි ම වචනය. "කවුරුන්දෝ කියලා ඇසුවා." මේ පාලු මකන හිත ම හිරිවට්ටන අයිතිවාසිකම් නොඉල්ලා ම වගකීම් ඉටුකරන මේ ගෑනිට නොදැනුණත් හැමෝම අහනවා තමන් ඒ පිරිමියගෙ කවුද කියල. ඒ නිසාම එතන මනුරංග හැඟුම්බරව " ඇසුවා" ලෙස යොදල තියෙනවා.. " අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා..." මනුරංග මේ අකුරු කරලා තියෙන්නෙ කතාවක් ද ගීතයක් ද කියලා තේරුම් ගන්නවට වඩා මේ හැඟීම් එක්ක කරන මේ අපූරු ගණුදෙණුව දෑස්වසාගෙන මොහොතක් ඒ තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවානම් එහි හරි අපූරු තැන්වලට ඉව ඇල්ලිය හැකිය. ඇත්තටම මේ පිරිමියා හරි ම අසරණයි . ඔහු එක් පසෙකින් තම බිරිඳ හෝ තමා විශ්වාස කර තමා හා බන්ධනය ගොඬනඟා සිටින ගැහැනිය ගැන සිතිය යුතු ය. අනෙක් පසින් හේතුවක් නොඅසාම තමා වෙනුවෙන් ඕන ම දුකක් කරදරයක් විඳින විඳවන. ආදරය හැර අන් කිසිවක් බලාපොරොත්තු නොවී තමා මත්තෙ ම නැහෙන මේ අහිංසක ගෑනු හිත ගැන සිතිය යුතු ය. මෙය සමාජ සංස්කෘතිය තුළ එසේත් නැතිනම් අනාධිමත් කාලයක සිට මානවයා විසින් අත්පත් කරගෙන එකක් යහපත් යැයි අනෙක අයහපත් යැයි කළු සුදු ගෑ සිරිත්විරිත්වලට පටහැනිය. නමුත් ඒ සියලු බන්ධුත්වයන් එක් හැඟීමක් ඉදිරියේ මොහොතකට අතෑරෙයි.ඒ අත් හැරෙන මොහොත පිළිබඳව සිහිව හැමවෙලාවෙම ඔහු සිතින් හඬයි. විඳවයි . නමුත් ඔහු අසරණයි. යමෙක් ඔහු වරදකරුවෙකු යැයි හංවඩු ගැසීමට ඇඟිල්ල දිගු කරන්නට නොපැකිලන්නට පුළුවන. නමුත් නැවතත් පෙරළා දිය හැක්කෙ එකම පිළිතුරකි. එනම් " හැඟීම් ඉදිරියෙ මිනිසුන් අසරණ ය. " සංසාරයක් පුරාවට කර තියාගෙන යන බරක් දරාගත නොහැකි වන ඕනෑ ම අවස්ථාවක පිරිමියෙක් ඒ බර මොහොතකට බිම තියා ගිමන් හරින්නට මැළි නොවන්නේ ඒ නිසා ය.. එනිසා ගැහැනිය දක්ෂ හා සූක්ෂම විය යුතු ය. ඒ එක ම තනුව වයා වෙහෙසක් දැනෙන මොහොතක වාදන භාණ්ඩය වෙනස් නොකර තනුව වෙනස් කර වැයීමට පිරිමි හිත වසඟ කරගැනිමට තරම් ගැහැනිය සෞන්දර්යවාදී හා සූක්ෂම කපටිච්චියක් විය යුතු ම ය. එලෙස නොහැකි වූ මොහොතක මෙවැනි වේදනාත්මක හිමිවීමක් නැතුව ම අහිමි වන්නට වන හමුවීම් මේ ඉරහඳ යට සිදුවිය හැකිය. එවැනි වරදක ගැඹුර දැනෙන්නට ගත්විට දවසක් තුළ ඒ වේදනාවේ කළකිරීමේ මොහොතවල් ඇති වීමට පුළුවන. මේ පිරිමියා තුළ ඇත්තේ ද එබන්දකි.. "නිල්පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාද.." නිල්පාටින් හැඩ මේ අහස. ඔව් ඇත්තටම මේ අහිංසකාවියගේ ආදරයත් ඒ නිල්පාට අහස වගේ ය. අන්ධකාරය අඳුරු වළාවන් හෝ කිසිඳු වළාවක් නැත. ඉතා මනරම් ය . දැකුම්කලු ය. සුපැහැදිලි ය. එවැනි අහසක් බඳු ඔබ මං දුන්න ආදරය නිසා දුකින් ගැබ්බර වුණා ද ? මේ පිරිමියා අසන්නේ එයය.. ගැබ් ගැනීම හා දරු ප්‍රසූතිය යනු මෙලොව කාන්තාවකට විඳින්න පුළුවන් උපරිම හැඟීමකි. විරහව සහ අහිමිවීම දෙවෙනි වන්නෙ එයට පමණකි.. ඒ දුක ඔබ වින්දාද කියල මේ පුරුෂයා විමසයි. සමහර තුවාල සුව නොවෙන තරමට පාරන්න පාරන්න ගෙන එන්නේ සෞන්දර්යවාදී හා හැඟුම්බර වේදනාවකි. වින්දනයකි. මේ සිදුවන්නේ ද එබන්දකි.. "මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත." ගැහැනු ආදරේදී ලෝභ වෙන තරමට ම , අනෙකාගේ සුභසිද්ධිය උදෙසා ඒ ආදරේ අතාරින්න නිර්ලෝභී වෙනවා. සමහර වෙලාවට කොයිතරම් හැඟීමක් තියෙනවද කියනවානම් , කෙනෙක් වෙනුවෙන් ඇවිලෙන ආදරය ඒ කෙනාට ම දෙන්න ලෝභ හිතනවා. එහෙම කරන්නෙත් ආදරේට. අනෙකා පිච්චෙයි කියන භයට හිමිවිය යුත්තාට ඒ ආදරේ නොදී තමන් දැවී දැවී ඒ ජීවිතය ආලෝකමත් කරනවා. හරියට ඉටිපන්දමක් වගේ. ඒත් එතන තියෙන්නෙ දරාගන්න බැරි වින්දනයක්. මනුරංග තම වචන තුළින් මෙබඳු මනස්ගාතයක් කෙලෙස මවනවාද යන්න අදහාගැනීමටත් නොහැකිය. මේ හැඟීම් තේරුම් ගත හැක්කෙ ප්‍රේමයෙන් උමතු වූ හා උමතුවෙන් ප්‍රේම කරන්නවුන්ටම පමණකි . තමා ගාව ම රැකගෙන තියාගෙන උන් ඒ හීන. ඔව් බලාපොරොත්තු කවදාවත් ෆැන්ටසි ප්‍රේමවන්තියක් තුළ ඇති වන්නේ නැත . එවැනි ගෑනු හිතක ඇති කරගන්නේ ම හීන පමණි. හිරුත් සමඟ මිය ඇඳෙන සඳ සමඟ හිතට ආරූඪ කරගෙන සඳත් සමඟ මෝදු වී ඒ සඳ මෙන් ම සැඟවෙන සිහින පමණකි. ඒ හීන පාවෙලා ඒවා ඇගෙන් මිදී යයි.කොයිතරම් ඈතකට යනවාද කියන්නේ නම් ඒවා දුර ඈතකට පාවී යයි.. "නැවත හමුනොවන සංසාර ගීයේ හිතක තනි මකනවා.." මේ කියන්නෙ ඔහු තමා හා බන්ධුත්වයක් ඇතිකර සිටින අනෙක් ගෑනු ආත්මය පිළිබඳවය. ඔහු මේ සංසාරය පුරාවට යන ගමනේ මේ ආත්මයේ කරන්නේ ආයෙමත් තමන් ප්‍රාර්ථනා නොකරන හිතක තනි මැකීමය. ඔහුට සැබවින් ම අවැසි කුමක් ද යන්න ඔහු ප්‍රකාශ කරයි. නමුත් ගැහැනියකගෙ නෙතකට කඳුළක් දී සිනහවන්නට තරම් ගෑනු නපුරු නැත. ඒ නිසා ම ඇය නිහඬව සිටී. නමුත් තව ආත්මයක් එනතුරු පෙරුම් පිරීමට හා මේ ආත්මයේ පමාවී හමු වුණ උණුසුම ඒ ආත්මයේ වේලාසනින් ප්‍රාර්ථනා කිරීමට තරම් ආත්මාර්ථකාමී වියහැක. මෙතැන මැයගේ නිහඬියාව එය විය හැක. "අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ කවුදෝ අපි සොයනවා.." කවදාවත් මේ හිත් දෙකෙන් එකක්වත් ඔවුනොවුන්ගේ හමුවීම පිළිබඳව පසුතැවිලි නොවන්නේය. නමුත් ඔවුන්ගේ හිමිවීමක් නැති වෙන්වීමට සාධාරණ හේතුවක් සහ ඒ හේතු අතරින් තව මොහොතක් හෝ රැඳී සිටීමට කුමක් හෝ යමක් සොයන්නේ ය. එනිසා ම ඔවුන්ගේ නොවී ඔවුන්ට හිමි වූ මේ කතාවට පසුවදන ලිව්වෙ කවුරුන් ද යන්න තනිව නොව මොවුන් දෙදෙනා සාමූහික භාවයෙන් යුක්තව සොයයි. ගසක් පොළවෙන් උඩට ආ පසු මාර්ගයන් දෙකක ළඳල්ලක්වත් නොගෑවී අහස දෙස බලාසිට වෙන් වුවද ඔවුන් අභ්‍යන්තරයෙන් , මූල පද්ධතියෙන් ආත්මයම සිපවැළඳ ගෙන සිටින්නේ ය. එවැනි එක්නොවන පෙම්වතුන් මුණ ගස්වන්නේ මක්නිසා ද? බහුතරයක් තුළ කැකෑරෙන ප්‍රශ්නය මනුරංග මෙනයින් දක්වයි.. "වෙන් වී යන බව දැන දැන ම තාම හිත ඉල්ලන ඔය දෑත.." මං දන්නවා ඔබ මට අයිති නෑ කියල. මං දන්නවා ඔය හිස තියාගෙන සනසවන්න තරම් මේ උකුළ පිං කරල නෑ කියල. ඒ වගේ ම මං දන්නවා ඔය උරහිසට මගේ හිස බරවැඩී කියල. ඒක යථාර්ථය කියල දන්නවා එහෙම දැන දැනත් තවමත් මගේ මුරණ්ඩු දඩබ්බර හිත ඉල්ලන්නෙ ම ඔය අත්දෙක. මට පුළුවන් වුණා නම් ඔය දෑත මගේ කරගන්න. මේ තමා ස්වකීයන් තුළ ඔවුනොවුන්ගේ ප්‍රේමය හදවත පසාරු කරගෙන යන හෝරාව. ෆැන්ටසිය තුළ තවදුරටත් හුස්ම ගැනීමට නොහැකිව ආලෝක ශතවර්ෂ ගණනාවකට පසුව යථාර්ථවාදී ලෝකයට ගෙන ගොස් අතෑරියාක් මෙන් තමා තුළ තමා අතරමං වෙන අසරණම හැඟීම මෙයයි. එවැනි හිතකට අසම්මතය ලෙස හංවඩු ගැසීම කොතෙක් දුරට සාධාරණ ද? "අහස ගුගුරා කිව් ඒ පුවත තේරුණා මටනම් කල් ඇතිව" ඔව් අර හරි පැහැදිලිව තිබුණ නිල්පාට අහසට අඳුරු වැහිවළාකුළු ඇවිත් හැඩි කරනවා මං දැක්කා. මං දැක්කා වැස්ස වෙලා කඩං වැටුණේ නැති වුණාට ගුගුර ගුගුරා කියපු ඒ පණිවිඩය . මට තේරුණා ඒක.. මං දැනං හිටියා අවසානයක් නොදන්න අවසානයක් නැති සුඛාන්තයකින් තොර වර්තමානයක අතරමං වන බව. අපි අපේ නොවී, අපි අපි තුළ ම අතරමං වෙමු.. අවසානයේ ඔවුන් එවැන්නක් ගිවිසගෙන සදහට ම විඳවනු වස් නිහඬ වන්නේ ය.. ගැහැනු අහම්බෙන් වහින වැස්සක තියෙන කටුක බව සහ ඒ වැස්සට තෙමුණ ම හැදෙන හෙම්බිරිස්සාව නිව්මෝනියාවටත් වඩා වේදනාකාරී බව තේරුම්ගත යුතු ය. අවබෝධයෙන් ජීවත් විය යුතු ය. පිරිමි නොකල් නොවේලා තැනක් නොතැනක් නොදැන ගිම්හානයන් සහ වාලුකා කාන්තාරයන්ට වැස්සක් ලෙස කඩං වැටෙන්නට ප්‍රථම සිය දහස් වාරයක් සිතිය යුතු ය. සමහරවිට නොසිතා වැටෙන ඒ එක පුංචි දිය බිංදුව එයාට මහ මෙරක් වන්නට පුළුවන. ඒ නිසා ගෑනු සෑම විටම කුඩයක්වත් අතැතිව මේ ජීවන ගමන යා යුතු අතර පිරිමි තමන්ට අදාළ කලාපයේ අදාළ මෝසම් හුළඟත් එක්ක කඩං වැටීමට තරම් වගකීම් සහගත විය යුතු ය.නැතිනම් කියවනවිට, ඇහෙනවිට සහ අරුත් ගන්වනවිට මේ තරම් රහ වුණාට හසරක් නැතිව අරමුණක් නැතිව තමන් තුළ තමන් අනාථ අසරණ වී අතරමං වීම ඉවසා දරාගැනීම හිතන තරම් ලේසි නැත. හිමිවීමක් නැති හමුවීම් කවි කතාන්දරවලට පමණක් ම සීමා වේ නම් බොහෝ දෙනාට සිනහ වීමට වරම් ලැබෙනු ඇත. අනෙකාගේ හැඟීම් විවේචනය කිරීමට ප්‍රථම සහ තමාට විවේචනයන් එල්ල වනවිට සිහි ගැන්විය යුත්තක් නොවේ. ඒ " කතා හදන උන් සේරම බෝසත් ද ? " යන්නය. කෙසේ වෙතත් විෂමපාද ත්‍රිකෝණයක මුළු තුනක බලා හිඳිමින් විඳවන ප්‍රේමයක් අකුරු කරන්නට මනුරංග සමත් වූවා සේ ම කාංචනා තමන්ගේ හඬ තුළින් මේ ගීතයට හැඟීම්වලින් පණ පොවන්නට සමත් විය. ඒ පණ මියැදෙන්න නොදී හරි අපූරුවට අල්ලං ඉන්නට දිනේෂ්ගේ ඒ හැඟුම්බර කටහඬ සමත් වී ඇති බව කීම යුක්ති යුක්තය. ** දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුළක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් හැඬ මේ අහස ආදරේ දුක වින්දාද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි හොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

NEWS

හඬ මත පැටළුණු අකුරු | 57 වන දිගහැරුම

  • Date: 2022-01-10