Blog



අපි ඉදිරි ජීවිතේදි අපේ ජීවිතේට එකතු කරගන්න ඕනි මොන වගේ කෙනෙක් ද කියලා ඇහුවොත්, ඔයාලා හැම කෙනෙක්ම විවිධාකාර අදහස් ඉදිරිපත් කරයි. දැනටමත් ඔබ බලාපොරොත්තු වන ගතිගුණවලින් යුතු කෙනෙක් ඔබගේ ජීවිතේට එකතු කරගෙනත් ඇති, ඒත් ඇත්තටම ඔබ බලාපොරොත්තු වෙන ගුණාංගවලින් පරිපූර්ණ කෙනෙක් ඇත්තටම ඔයාට හොයාගන්න පුළුවන් ද...? අපි හැමෝම හැමදේකින්ම පරිපූර්ණ ද...?  ප්‍රශ්නයක් නේද...? ඇත්තටම අපි මුල් කාලීන ව අසීමාන්තික වටිනාකම් දීලා ජීවිතේට එකතු කරගත්ත කෙනා තවමත් ඔයාට ඒ වගේම ආදරේ ද...? ඔයත් ඒ කෙනාට බැඳීම ඇති කරගත්ත මුල් දවසේ වගේම අංශුමාත්‍රයක්වත් නොවෙනස් ව ආදරේ ද...? සමහර විට එහෙම වෙන්න පුළුවන්, ඇත්තටම එහෙම නම් ඔබ ගොඩාක් වාසනාවන්තයි. සමහර විට එහෙම නොවෙන්න පුළුවන්. මොකද හැම කෙනෙක්ටම කාලයක් යද්දි තමයි තමන් ඒ ඇති කරගත්ත බැඳීමේ අඩුපාඩු පේන්නෙ. ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. සමහර විට ඒ කෙනාට ඔබෙන් ඈත් වෙන්න වුවමනා වෙද්දිත්, බැඳීමට අවුරුදු කාලයක් ගතවුණත් ඒ කෙනාට ඒක අදාළ නැති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ආදරේට ආදරේ කරන්න. අඩුපාඩුකම් ඕනිම කෙනෙක් ළඟ තියෙනවා. ඒවා හදාගෙන ඉස්සරහට යන්න බලන්න. නමුත් නොගැළපෙන තැන ගළපගන්න උත්සාහ කළත් ගැළපෙන්නෙ නැත්නම් අවෛරයෙන් දුරස් වන්න. තමන් ව මගහරින, නොසලකාහරින විකෘති මානසිකත්වයන් ඉටු කරගැනීමට ළං වෙන අවස්ථාවාදීන් ළඟ රැඳී සිටීමට කිසිවිටෙක උත්සාහ නොකරන්න. ඉදිරි ජීවිතයේ තමා තුළ මානසික ලෙඩෙක් නිර්මාණය වීමට ඉඩ නොදී එවැනි අවස්ථාවන්වල ශක්තිමත් ව ඒ තුළින් ඉවත්වන්න. ජීවිතේට බැඳීමක් අවශ්‍ය හිතුමනාපෙට ම වෙනස් වී අත්හැරයාමට නොව, ජීවිත කාලය පුරාවට ම ය. ඉතින් ඒ බැඳීම නිවැරදිව තෝරාගැනීම ඔබ සතු යි. කිසිම බැඳීමක් මත බලෙන් රැඳී සිටිමින් වටිනාකම් නොදෙන්න.  ඔබේ අරමුණ වෙත ඔබ යන්න. බැඳීම් ඇතිවීම් නැතිවීම්වලදී පවා ඔබ ශක්තිමත් වන්න. ඔබට පුළුවන් නිවැරදි දේ නිවැරදි ව හඳුනා ගනිමින් ජීවිතේ ඉදිරියට යන්න. කිසිවිටෙක කිසිම දෙයකට ඔබව බිඳ වැට්ටවීමට අවස්ථාවක් නොදෙන්න. ඔබේ ජීවිතේට මඟපෙන්වන්නා වෙනකෙකු නොව ඔබ ම යි.  එබැවින් කිසිම අවස්ථාවක හැඟීම්වලට වහල් වෙමින් අතරමැදියෙකුට ඔබගේ ජීවිතේ පාලනය අතට ගැනීමට අවස්ථාවක් නොදෙන්න.

NEWS

හිතට දැනෙන දේ | බැඳීමක සංහිඳියාව

  • Date: 2022-01-11