Blog



" පැතුම්, ඔයා කොහෙද ඉන්නෙ. අද වේලාසනින් ගෙදර එනව නේද? " අදවත් ඔහු මා සමග නිදහසේ කාලය ගත කිරීමට පැමිණේවි යැයි සිතූ මා හැඟීම් වචන කළේ දහසක් බලාපොරොත්තු හිත තබාගෙනය. නමුත් ඒ සියලු හීන කඩා වැටෙන්නට ගියේ සුළු මොහොතක් පමණි. " පිස්සුද නිර්මාණි? ළමයත් එක්ක නිදා ගන්නවා. මම එන්න පරක්කු වෙනවා. හැමතිස්සෙම කෝල් කරකර කරදර කරන්න එපා. මමත් වැඩ ගොඩක් ඉන්නෙ." ඔහු පැවසූවේ එපමණකි. දුරකථනය විසන්ධි විය. දරාගත නොහැකි වේදනාවක් විදිමින් මා පුතු තුරුළු කරගෙන යහන මත වාඩි විය. මම නිර්මාණි පෙරේරා. මුලු රටම දන්න පෙරේරා සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රියලාල් පෙරේරාගෙ එක ම දුව තමයි මම. පොඩි කාලෙ ඉඳන් අම්මයි තාත්තයි ලඟ ආදරේට හැදුන මම විශ්වවිද්‍යාලයට තේරුණේ 2005 අවුරුද්දෙ. ඇත්තටම ඒක මගේ ජීවිතේ වෙනස් ම අත්දැකීමක්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි අම්මගෙනුයි තාත්තගෙනුයි දුරස් වෙලා ඉන්න මට ලැබුනු පළවෙනි අවස්ථාව තමා ඒක. මම තේරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලය පේරාදෙණියට වඩා මට ලඟ උනත් අම්මටයි තාත්තටයිත් විරුද්ධ වෙලා මම කැමතිම විශ්වවිද්‍යාලය විදිහට පේරාදෙණිය තෝර ගත්තෙ පොඩි කාලෙ ඉඳන් පේරාදෙණියට මගෙ හිතේ තිබුණ ආදරේ හින්දමයි.ඉතිං කොළඹ හැදුනු මට පේරාදෙණියෙ ඉන්න එකත් ටිකක් වෙනස් අත්දැකීමක් වුණා. ඔය විදිහට කැම්පස් එකේ වැඩ කරනකොට තමයි මට පැතුම්ව හම්බුණේ. පැතුම් සිරිවර්ධන. අනුරාධපුර පැත්තෙ ඉදං විශ්වවිද්‍යාලයට ඇවිත් හිටපු එයාට මහ ලොකුවට සල්ලි නොතිබුණත් හැමෝම කිව්වෙ පැතුම් කියන්නෙ අහිංසක කොල්ලෙක් කියලා. අපිට ඉහළ වසර කණ්ඩායමේ ඉගෙන ගත්ත එයා මගෙ පස්සෙන් එන්න පටන් ගත්තෙ අපි විශ්වවිද්‍යාලයට ගියපු මුල් කාලෙ ඉදලමයි.මම කොච්චර බෑ කිව්වත් පැතුම් මගෙ පස්සෙන් එන එක නතර කරේ නෑ. කොහොමහරි කාලයත් එක්ක පැතුම්ට මගේ ආදරේ දිනා ගන්න පුලුවන් වුණා. ඒ කාලෙ එයාට මගෙන් තොර ලෝකයක් තිබුණෙ නෑ. එයාට ඕන වුණේ මගේ ලගින් ම ඉන්න. මීට කලින් කවමදාවත් ප්‍රේම සම්බන්ධයක් නොතිබුණ මටත් ඒ ආදරේ මහමෙරක් වගේ දැනුණා. කාලයත් එක්ක මට නොදැනීම මගෙ අතින් පාඩම් වැඩත් මග ඇරිල තිබුණා. මට ඕන වුණේ පැතුම්ගෙ ආදරේ විඳින්න විතරයි. කොහොම හරි ටික කාලයක් යනකොට අපේ සම්බන්ධෙ විශ්වවිද්‍යාලය පුරා ම ජනප්‍රිය වුණා. ඒකට ලොකුම හේතුව පැතුම්.එයා ඉගෙනීමට අමතරව විශ්වවිද්‍යාලය ඇතුළෙ ගොඩක් බාහිර වැඩ වලට සම්බන්ධ වෙලා හිටිය. ඒ නිසා එයා ටිකක් ජනප්‍රිය චරිතයක්. ඒ නිසාම අපේ ආදරෙත් හන්තාන අහස යට ජනප්‍රිය ආදර කතාවක් වුණා. ඒ ජනප්‍රියත්වය කොච්චර දුර ගිහින්ද කිව්වොත් අපේ සම්බන්ධෙ ගැන අපේ ගෙදරටත් ආර‍‍ංචි වෙලා තිබුණා. එක සති අන්තයක මම ගෙදර ගියාම අම්ම ඒක ගැන මගෙන් ඇහුවා. ඒත් මම අම්මට මොකුත් නොකියා හිටියෙ අපේ සම්බන්ධයට මගේ ගෙදරින් විරුද්ධ වෙන බව මම හොඳාකාරවම දැනගෙන හිටපු නිසා. මොකද පැතුම් කියන්නෙ දුප්පත් කෙනෙක්. පෙරේරා පවුලෙ එකම දුව ඒ වගේ කෙනෙක්ට දෙන්න අපේ ගෙදරින් කැමති නොවන බව මම මුල ඉදලම දැනගෙන හිටියා. ඒත් ආදරේට කොහෙන්ද සීමා මායිම්... එන්න එන්නම අපේ ගෙදරින් අපිට එන බලපෑම් වැඩි වෙන්න පටන් ගත්තා. ඒකෙ අන්තිම ප්‍රතිඵල වුණේ මට ආයෙම විශ්වවිද්‍යාලයට යන එක තහනම් කරපු එක. ඒත් මට පැතුම් නොබල ඉන්න බැරි උනා. ඒ හින්දමයි අපි තීරණය කරේ හැමෝට ම හොරෙන් පැනල යන්න. ඇත්තටම කිව්වොත් ඒ දවස් වල මම ආදරෙන් අන්ධ වෙලා හිටියෙ. අපි ගියේ පැතුම්ලගෙ ගෙදරට. ඒක මැටියෙන් හදපු පොඩි ගෙදරක්. අම්මයි තාත්තයි නංගිල තුන් දෙනයි ඒ ගෙදර හිටියා. ගෙදර දැකපු ගමන් මට හිතුණෙ අපි කොහොමද මේ ගෙදර ඉන්නෙ කියලා. ඒත් පැතුම්ට තියෙන ආදරේ නිසා ම මම ඒ පරිසරයට හුරු වෙන්න හිතා ගත්ත. පොඩි කාලෙ ඉදන් කොළඹ හැදුණු මට ඒක ලේසි වුණේනම් නෑ. කාලයක් ටිකෙන් ටික ගෙවිල ගියා. ඒ කාලෙ ඇතුළෙ මට අම්මයි තාත්තයි සිහි උන වාර අනන්තයි. මට ආරංචි උනා මම පැනල ගියා කියල දැන ගත්තහම තාත්ති අසනීප උනා කියල. ඒත් දැං මම මොනව කරන්නද? මට දැං ආයෙම හැරෙන්න බෑ. කාලයක් යද්දි තමා මටත් තේරුණේ පැතුම් කියන්නෙ විශ්වවිද්‍යාලෙ මම දැකපු අහිංසක කොල්ල නෙවෙයි කියලා. හැබැයි මට ඇත්ත තේරෙනකොට මම ගැබිනියක් වෙලා ඉවරයි. අපි දෙන්නම විශ්වවිද්‍යාලෙ ගමන නවත්තල ඇවිත් ටික දවසක් ගිහාම පැතුම්ට අනුරාධපුට ටවුන් එකේ පොඩි කඩේක රස්සාවක් හම්බුණා. රස්සාවට ගියපු මුල් දවස් ටිකේ පැතුම් කලින් ගෙදර ආවත් ටික දවසක් යද්දි එයා වෙනස් වෙන්න පටන් ගත්තා. එයා ගෙදර එන වෙලාව ටිකෙන් ටික පරක්කු උනා. සමහර දවස් වලට මහ රෑ ජාමෙ එයා ගෙදර ආව. ඒ ආවෙත් හොදටම බීගෙන. එහෙම ආපු ගොඩක් දවස්වලට පැතුම්ගෙ ගුටිබැට ඉවසන්නත් මට සිද්ධ වුණා. බඩේ හිටිය දරුව නිසාම මම හැමදේම ඉවසගෙන හිටියා. මේව දිහා බලාගෙන හිටපු පැතුම්ගෙ අම්ම කිව්වෙ අපි දෙන්නට වෙනම ඉන්න තැනක් හොයා ගන්න කියල. ටික දවසකින් මමයි පැතුමුයි රෙන්ට් එකට කාමර කෑල්ලක් අරන් ඒකෙ පදිංචියට ගියා. හැබැයි පැතුම්ගෙ හැසිරීමෙනම් වෙනසක් වුණේ නෑ. පුතා හම්බුනාම තමයි එයා ටිකක් හරි වෙනස් උනේ. දැං පුතාට අවුරුදු දෙකයි. හැබැයි පැතුම් තාමත් ඉස්සර වගේමයි. දැන් මට විතරක් නෙවෙයි පුංචි පුතාටත් සමහර දවස් වලට එයාගෙ ගුටි පූජාවට මූණ දෙන්න වෙනවා. මොනව කරන්නද? මේක මම විහින් ඉල්ල ගත්ත ජීවිතයක්නෙ. මගේ හිත හැමදාම කිව්වෙ අම්මලට දුන්න ගින්දර නිසා මට මෙහෙම උනා කියලමයි. කොහොමහරි දැන් ඒ දේවල් වෙලා ඉවරනෙ. අද මගේ 27 වෙනි උපන්දිනේ. මම හිතුවෙ අදවත් පැතුම් කලිං ගෙදර එයි කියල. ඒත් කොහෙද, එයාට මගෙ උපන්දිනේවත් මතක නෑ. අපි ආදරේ කරපු කාලෙනම් කවදාවත් එයාට මගෙ උපන්දිනේ අමතක උනේ නෑ. මිනිස්සුන්ට මේ තරම් වෙනස් වෙන්න පුලුවන්ද ? මම මෙච්චර වෙලා හිටියෙ මගෙ අතීතයත් එක්ක මනෝ ලෝකෙක තනි වෙලා. මම ආයෙත් පියවි සිහියට ආවෙ දුරකථනය නාද උන හඩින්. " හෙලෝ.මේ මිසිස් සිරිවර්ධනද කතා කරන්නෙ." රිසීවරයෙන් ඇහුනෙ නුපුරුදු පිරිමි හඩක්. " ඔව්, කවුද මේ කතා කරන්නෙ?" මම පොලීසියෙන් කතා කරන්නෙ. පැතුම් සිරිවර්ධන මහත්තය ඇක්සිඩන්ට් වෙලා. හොදටම බීලා තමයි ඉදල තියෙන්නෙ. නෝනා කලබල වෙන්න එපා. පැතුම්ව හොස්පිටල් එකට අරං යනකොට මගදි නැති උනා." ඒ වචනත් සමග මට උන්හිටි තැන් අමතක විය.මා දැන් කුමක් කළ යුතුද? පුතුට තාත්තෙක් කොහෙන්ද? දහසක් ප්‍රශ්න මා සිත තුල රැව්දෙන්නට විය. හ‍ඬන්නට මගේ දෑස් වල කදුළු නොමැත. මට සිහි වූයේ මගේ නිවසයි. හිතුවක්කාරකමට ගත් තීරණය නිසා මට නැවත එහි යන්නටද නොහැක. මගේ ජීවිතය නොසිතූ ලෙස කඩාගෙන වැටී ඇත. මා හට ටික වේලාවක් යන තෙක් පියවි සිහිය ලබා ගැනීමට නොහැකි විය. පුතුගේ හැඬුම් හඩින් මා නැවත පියවි සිහියට පැමිණියත් මගේ හිස ගිනි ගනිමින් පැවතුණි. මා කෙමෙන් කෙමෙන් පුතුට ළං විය. දැන් මා සතු එකම වස්තුව ඔහු පමණි. මට ජීවත් වීමට හේතුවක් තිබේ නම් එයද ඔහු පමණි. අවසානයේ දී මම හිත සමග සටන් කොට අවසාන තීරණය ලබා ගත්තෙමි. ඉන් හොඳ ප්‍රතිඵල ලැබුණත් වැරදි ප්‍රතිඵල ලැබුණත් දැං මට කිරීමට වෙන දෙයක් නැත. ඕනෑම දෙයකට මුහුණ දීමේ ශක්තිය හිතේ තබාගෙන මා පුතු තුරුලට ගත්තෙමි. " පුතේ! අපි කොළඹ යමු." නිමි.

NEWS

විභව කෙටිකතා | අන්ධ පෙමක්

  • Date: 2022-01-13