Blog



මා අවුරෝරාව මුලින් ම දකිද්දී, ඈ උන්නේ වේදිකාවක යි. උත්තරධ්‍රැවයේ අසිරිමත් ආලෝක තීරු වේදිකාවක දකින්නේ කෙසේදැ'යි මගෙන් නො අසන්න. අවුරෝරා වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුප්ත නමුත්, ආලෝකවත් මායාවක් බඳු, හිම වැනි කෙස් ඇති නෝවේජියන් යුවතියකි. සාම්ප්‍රදායික තරු සතුව ඇති ලකුණු හෝ විලාසිතාවන් ඇය ළඟ තිබුණේ නැත. නිරුවත් දෙපයින් සීතල වේදිකාව මත සිට ඇය ගයමින් උන්නා ය. ඇගේ දෑත් විදුලි එළි මෙන් ගීතයේ වචනයක් පාසාම චලනය වෙමින් තිබුණි. දෑත් ඇත්තේ හැඟීම් ප්‍රකාශනයට වග මා මේ ජීවිතයේ දී මුලින් ම වටහාගත්තේ ඒ මොහොතේ දී යි. ඈ ගයමින් වුණත් ඇගේ ප්‍රථම ගීතයයි. ඒ "Runaway" නොහොත් "පලායෑම" යි. I was listenin' to the ocean, I saw a face in the sand But when I picked it up Then it vanished away, from my hands, down.... මම එවෙලෙ හිටියේ මහ මුහුදේ හඬ අහගෙනයි, මුහුදු වැලිවල මම මුහුණක් දැක්කා ඒත්, මම අතට ගත්විට ම ඒ මුහුණ අතුරුදන් වී ගියා..... තම ආදරණීයයෙක් අහිමිවුණු කෙනෙකුට පලායන්නට හොඳම තැනකි; මුහුදු වෙරළ. මුහුදට හැකි 'යි ඔබව සනසානලන්නත්, මහා හිස්කමක් දනවන්නටත්. ආදරණීයයෙක් අහිමි වුණු ඕනෑ ම තැනැත්තෙක් දවසක එළඹෙනවා එක්තරා අවධියකට, අහිමි වුණු තැනැත්තා සියලු තැන්වල මැවී පෙනෙන අවධියකට. මායාවක් බව දැනදැන ම වුණත් එක් තප්පරයකට හෝ ඒ මායාව ස්පර්ශ කර බලන්නට ඔවුන් පෙළඹෙනවා. ඉතින් ඊළඟ තත්පරයේ දී, එය ඇස්බැන්දුමක් පමණක් ම වග ඔවුන් වටහාගන්නවා. තනිකම තවත් විශාල වෙමින් වැඩෙනවා. I had a dream I was seven Climbing my way in a tree I saw a piece of heaven Waiting impatient for me, down... මම හීනයක් දැක්කා, ඒ මට වයස අවුරුදු හතේ දි, මම උන්නේ ගහකට නගිමින්, නො ඉවසිල්ලෙන් මම එනතෙක් බලා ඉන්න ස්වර්ගයෙන් අර්ධයක් මම දැක්කා.. අවුරෝරා එක්තරා අවස්ථාවක දී පැහැදිළි කරනවා මේ පද පෙළ ගීයට ඇතුළත් කළ හේතුව. "මගේ මුළු ජීවිතය පුරා ම, මම මරණයට බොහොම ඇලුම් කළා. මරණය හැම දෙයක් ම අරුත්සුන් කරනවා වගේම අරුත්බර කරනවා. අපිට අපේ වැරදීම් පසුතැවිලිවීම් මඟහැරුණු දේ සියල්ල අමතක කළ හැකි යි. කොහොමත් ඉතින් අවසානයේ දි අපි මැරෙනවානෙ කියා. ඒත් අපි ආදරය කරපු අය, අපි ලබපු ජයග්‍රහණ ඒ හැම දෙයක්ම තවත් අරුත්බර කරනවා. ඒ සියල්ල කවදා හෝ නැතිව යන නිසා වටිනාකම තවත් වැඩි වෙනවා. මම කුඩා කාලයේදී ගස්වලට බොහොම ප්‍රේමයෙන් බැදී උන්නා. විශාල වනස්පතීන් මම දකින්නේ පුදුමයන් විදියට. එහෙම දවසක මම අත්තක් කඩාගෙන බිමට වැටෙන්නට ම ගියා, ඒ මොහොතේ මට හිතුණා 'මම වැටුණා නම්, වැටිලා මැරුනා නම් මොකක් වේවි ද?' කියලා. එවෙලෙ මම අත්විදපු හැඟීම තමයි මේ" ඇය පැවසුවා. ඉතින් හදිසියේ අපි මැරුණොත් ඇත්තටම කුමක් වේවි ද? ස්වර්ගයේ හිඳින අපේ ආදරණීයන් අපිව සතුටින් පිළිගනීවි ද? අපි ස්වර්ගයට යාවිද? එතැන සැනසීම තියේවි ද? And I was runnin' far away Would I run off the world someday? Nobody knows Nobody knows, and I was dancing in the rain I felt alive and I can't complain But no, take me home Take me home where I belong I can't take it anymore මම බොහෝ ඈතකට දුවමින් උන්නා කවදහරි දවසක මට මේ ලෝකයෙන් පිටතට දුවන්න හැකි වේවි ද? කවුරුත් එය දන්නෙ නෑ.. කවුරුත් ම දන්නෙ නෑ... රූරා හැලෙන වැස්සෙ, මම නටමින් උන්නා තවත් මොහොතක, මම ජීවත් වෙන වග මට හැඟුණා ඉතින්, මට පැමිණිලි කරන්නත් බෑ... ඒත්, නැහැ, මාව මගේ නිවසට එක්ක යන්න, මාව අයිති තැනට තවත් මට මෙය දරාගන්න බෑ.... අපි හැම කෙනෙක් ම ඉන්නේ දුවමින්. කොහේ හෝ තැනකට පලායමින්. අපේ වේදනාවන්ගෙන්, අපේ ජීවිතේ අමිහිරිකමින්, අහිමිවීම්වලින් පලායමින්. ඒත් කොතරම් කල් දිව ගියත්, අපි කිසිවෙක්ට මේ ලෝකයෙන් මිදී එපිටට පලා යන්න පුළුවන් වේවි ද? කවුද ඉතින් එය දන්නේ. අමිහිරිබව කටුක බව පිරුණු ජීවිතයේ, කෙටිකාලීන වුණත් මිහිරි තප්පර තියනවා. වැසි වැටෙන වෙලාවක වැස්සේ නටමින් උන් කෙනෙක්ට , ඒ මොහොත විදි කෙනෙක්ට ජීවිතය ගැන පැමිණිලි කරන්නට පුළුවන් ද? ජීවිතය ගැන මැසිවිලි කියන්නට පුළුවන් ද? සාධාරණ නැති වුණත් එසේ පැමිණිලි කරන්නට වෙනවා. මාව මගේ නිවසට ගෙනියන්න හැකි ද, කියා අයදින්න සිදු වෙනවා. කැඩීබිඳී ගිය තමන් ව පිළිසකර කළ හැකි තමන්ගේ නිවසට, පලායන්නට උවමනාවක් නො මැති ව නැවතී සිටින්නට හැකි නිවසට, සැනසීම ඇති නිවසට. මේ නිවහන අයෙකුට පුද්ගලයෙකු විය හැකි යි, තවත් අයෙකුට භෞතික ස්ථානයක් විය හැකි යි. කෙනෙක් වුවත් තැනක් වුණත් නිවස යනු නිවා ලන තැනක් මිස අනෙකක් නො වේ. I was painting a picture The picture was a painting of you and For a moment I thought you were here But then again, it wasn't true, down And all this time I have been lyin' Oh, lyin' in secret to myself I've been putting sorrow on the farthest place on my shelf La-di-da මම පින්තූරයක් අඳිමින් උන්නා, එය නුඹේ චිත්රයක පින්තූරයක් .. එක මොහොතකට මට හිතුණා නුඹ මෙතන හිඳිනවා කියා, නමුත් ඊළඟ මොහොතේ එය එසේ නො වෙන වග මට තේරුණා.. මේ මුළු කාලය පුරාවට ම මම බොරු කියමින්, මාව ම රවටාගනිමින් වුණත්, මගේ දොම්නස පවා, මම රාක්කයේ ඈත ම තැනින් තැබුවා... දෘෂ්ටි මායාවන් පවා ඔබව මවා පෙන්වීම නතර කළ මොහොතක මට සිදු වෙන්නේ ඔබව අඳින්නයි. ඔබව බොහෝ සෙයින් මඟහැරුණු වග දැනෙන මොහොතක මම ඔබව අඳින්න පටන් ගන්නවා. එතකොට එක් තත්පරයකට මට හිතෙනවා ඔබ මම ළඟින් ඉන්නව ද කියා, නමුත් එහෙම නැති වග මම දැනගන්නවා. සියලු දෙයකින් ම තනිකම වැඩිවෙනවා මිස අඩුවක් වෙන්නෙ නෑ. නුඹ නැතිව ගෙවුණු මේ දීර්ඝ කාලය පුරාවට ම මම මාව ම මුලා කර ගනිමිනුයි ජීවත් වුණේ, මගේ කණස්සල්ල , දොම්නස මම මට අත දිගු කර ගන්නට නො හැකි දුරකින් තැබුවා. නමුත් ඒ කනස්සල්ල තැබූ රාක්කය කාගේවත් නො වෙයි, එයත් මගේ ම යි. කවදා හෝ දවසක රාක්කය මගේ හැඟීම්වලින් ම පිරී යනවා. එදාට කෙළවරවල්වලින් තැබූ දොම්නස පළමුවෙන් ම බිඳී ගොස් මාව දවාලනු ඇති. අවසානය ගැන දැනදැන ම වුණත් අදත් මම මාව ම රවටාගෙන සනසගන්නවා. But I kept runnin' For a soft place to fall And I kept runnin' For a soft place to fall නමුත් මම දිගින් දිගට ම දිව ගියා, කඩා වැටෙන්නට බිදී වැටෙන්නට මෘදු තැනක් හොයාගෙන.... බොහෝ රළු මාර්ගයක, දිගින් දිගට ම දුව ගිය ඕනෑ ම අයෙකුට නවතින්නට ඕනෑ වෙනවා. ඒත් අතරමඟ රළු පොළොවේ හෝ නන්නාඳුනන සීතල තැනක නවතින්නට බැහැ. ඉතින් ඔවුන් ලෝකයේ මෘදු ම ස්ථානයැයි දන්නා තැන හොයාගෙන තව තවත් දිව යනවා. පෙර කී ' නිවස' සේ ම මෙයත් සංකේතාත්මක යි. අයෙකුට එය මවගේ උණුහුම් දෑත් වෙන්නට පුළුවන්, තවත් අයෙකුට පියාගේ ඇකය වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් ආදරවන්තයාගේ හදවත වෙන්නට පුළුවන්. අප විදි සෑම වේදනා අංශුමාත්‍රයක් ම අතුරුදන් කර දැමිය හැකි ලෝකයේ මෘදු ම තැනට අප කවුරුත් අවසානයේ දුව යනවා.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 58 වන දිගහැරුම

  • Date: 2022-01-15