Blog



ගායනය : කාංචනා අනුරාධි සංගීතය: සංජුල හිමාල, ධනිත් ශ්‍රී ගී පද : ධනිත් ශ්‍රී කටහඬවල් මිනිසුන් සුවපත් කරනාකාරවලින් ජීවිත කියවන්නට හැකිදැයි'සෙවීමේ අරමුණින් මම මෙම ගීතය තෝරාගත්තෙමි.නූතන කාලයේ අගනා සම්මිශ්‍රණයක් රස මධුවිතක් කොට ඒකාකාර බවින් මිරිකී ගිය ශ්‍රී ලාංකික ගීත රසවින්දකයාට නවමු ආකාරයේ මත් වීමක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි ගායන, පද නිර්මාණ හා තනු නිර්මාණකරුවන් දෙපළක් ලෙස මම මොවුන් හඳුන්වා දෙනු කැමැත්තෙමි.මෙතෙක් මා හට වර්ණනා කරන්නට අවස්ථාව නො යෙදුණා වූ ,ඉතා ම මෑත කාලීන හඬ ස්වයංවරයේ ගීතමය දායාදය කාංචනා අනුරාධි නම් වූ ,ඒ හැඟීම් ප්‍රකාශනයේ සුදක්ශිනියගේ හඬට නේකවිධ කලා කුසලතාවයෙන් අනූන වූ, ධනිත් ශ්‍රී නම් උඩරට තාරුණ්‍යයයේ රසඥතාවයේ සළකුණත් සංජුල හිමාලගේ වටිනා සංගීතමය ආරාධනාවත් එක් වූ අපූරු එකමුතුවක්. කතාව ඉතා බැරෑරුම් ය. "ඉක්මන් කොටයි" කියන අටියෙන් ම "අපායට ගියත් කලින් යන්න ඕනෑ" යැයි' කියා කුඩා කාලයේ පටන් මුලාවට පත් වූ සමාජයක් තුළ විවාහය හෝ සම්බන්ධතා තුළ මිනිසුන්ගේ විඳීම් හා විදවීම් සමුදායක නිරාවරණයක් මම මෙහි දකිමි. "සුන් විච්ච හද ගැස්ම පාරා නැගේ හද ගිනි ජාලා අහිමි නුඹ සිහි කලා මා අනිසියී දැන් පෙම් ආශා" හදගැස්ම සියල්ලට අවනත වේ. අවැසි විට වේගයෙන් දුවන්නටත්, විටෙක හැකිළී හඬන්නටත් ,මිනිසුන් ගසන පදයට නටන්නටත් එය බැඳී සිටී. බොඳ වුණා වූ සිහින තුළ නැඟෙන්නේ තව දුරටත් ප්‍රේමයේ සුවඳ නො වේ. "ජීවිතයේ තීරණ ගැනීමට කිසි දිනක් ප්‍රමාද වූ දිනක් නො වේ" යැයි බැරෑරුම් කතාවක අකුරු අහුලනා අතදරුවෙක් වූ මම තරයේ කියා සිටිමි. මක්නිසාදයත් වැරදි තීරණ දහසකුත් එකක් අභිබවා නිවැරදි තීරණ ඔබව දිනෙක සනසාලනු ඇත. වැරදි තීරණ නිසා අද හෙටක නො වුවත් ඔබට මතුයම් කලෙක තනි වූ හවසක, "තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නො කරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නො බලම බිම බලාගෙන යන්න තිබුණා" යැයි සිතෙන්නට පිළිවන.එය විටෙක ඔබට එවන් හවසක් නැති කරන්නට ද සමත් වන්නට පිළිවන.එනිසා බැඳීම සමඟ ගණුදෙනුව ඉතා සෙමින් කළ යුතු යැයි' මේ පදවල ඇති ඉකිය ඔබට මට ආයාචනා කොට අනතුරු අඟවා සිටී. "කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුණා අනේ මං හදිසිද මන්දා" කන්නගී නියෝජනය කරන්නේ ජීවිතයේ මංතලාවේ ප්‍රේමය යැද්දා වූ ගැහැනුන් ය. එය අසෝකමාලාගේ පටන් යශෝධරා , ප්‍රමිලා,ජුලියට් යනාදී බොහෝ සමාජමය තලයන් මඟින් කතා මතක් කොට දේ. බැඳීම,අතහැරීම පිවිතුරු විය හෝ නො විය හැක. මැය බොහෝ විඳවා ඇත. සැබැවින්ම ඇය ඉවසා ඇත.ඒ කෙසේදයත් ඉවසීම නම් ඇය ය.ආත්මය පිස හමන සුළඟ කොඳුරන්නේ එකම පසුතැවීමකි. ඒ පසුතැවීම , "ජීවිතයේ තැන් තිබුණා අපිට ම අපිව ම නැති වුණු" යන කතාවට එහා ගිය ශාපලත් නැති වීමකි.එදා කන්නගී ගම්බිම් නසාගත් පළිය අද නසන්නේ ජීවිත ය. කාලය බොහෝ දේ විසඳන අතර ම මිනිසුන්ගේ තීරණ ද එවිට පහසු වනවා ඇත.එබැවින් කාලය ගැනීම විටෙක වඩා හොඳ බව කියන්නට සංගීතයේ යොදා ගැනීම් මම මෙහි දකිමි. එය අපූරුවට හඬෙහි පටන්, සංගීතයේ පටන් අපූරුවට මේ ගීතය මුමුණනවා ඇත. "හිස් වෙච්ච මනු ලෝක දුටු දා දැනේ නැතිවීම සපුරා තනිවී සිතමී මා පෙරලා කොහෙදෝ මහදේ අනුකම්පා" මිනිසුන්ගේ මතක අනෙකා තුළ මවන රටාවන් වෙනස් කිරීම ඉතා අසීරු වන්නේ බොහෝවිට ඒ හා නැඟෙනා හැඟීම් හා වේදනාවන් ඉස්මතුවන නිසාවෙනි.මේ සියල්ල යමෙකු ජීවත් වනවා යැයි' කියන්නට එකතු වන්නා වූ දේ ය. අපි මතකයන් මෙසේ රැස් කර ගනිමින් සිටිමු. ඒ අතරේ සිදුවන්නා වූ මෙවන් දෑ කෙරේ වැරදි තීරණ තද සීරීම් ඇති කරන්නට සමත් වීම වේදනාවකි.වැරදි තීරණ මිනිසුන් රාත්‍රියේ හඬවනු ඇත.නිදිකලා වූ දරුවන් ඇහැරවා හීනෙන් තාත්තලා ඉල්ලනු ඇත. හැරගියා වූ අම්මලාගේ එරුණු කිරි ඇද වියල් තෙමනු ඇත. ජීවිත එසේ ය. නමුත් එකක් හෝ දෙකක් දේ මිනිසා පරාජය නො කරන්නට තරම් මිනිසුන් ශක්තිමත් විය යුතු ය. එම වේදනා ප්‍රමිලා මෙන් නියඟලා අලයකින් වේදනාව පහ කරන්නට පිහිට පතන්නට මිනිසුන් අසරණ කරන්නට ඉඩ නො දිය යුතු ය. කොටින් ම කිවහොත් කිසිවෙකුටත් අවසන් කරන්නා වූ ඒ " අනේ මං හදිසි ද මන්දා" යැයි' කීමට ජීවිතයේ අවස්ථාවක් හිමි නො විය යුතු ය. ** "සුන් විච්ච හද ගැස්ම පාරා නැගේ හද ගිනි ජාලා අහිමි නුඹ සිහි කළා මා අනිසියී දැන් පෙම් ආශා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුණා අනේ මං හදිසි ද මන්දා හිස් වෙච්ච මනු ලෝක දුටු දා දැනේ නැතිවීම සපුරා තනිවී සිතමී මා පෙරළා කොහෙදෝ මහදේ අනුකම්පා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුණා අනේ මං හදිසි ද මන්දා"

NEWS

හඬ මත පැටළුණු අකුරු | 59 වන දිගහැරුම

  • Date: 2022-01-17