Blog



ජීවිතය හරි අහම්බයක්... ඔයා තරමට ම අහම්බයක්... කිසිම දෙයක් ඉල්ලපු සැණින් ලැබුණේ නැහැ... ගොඩක් බලාපොරොත්තු හිත අස්සෙම හැංගිලා තිබුණා... ඒත් ඒ හැම බලාපොරොත්තුවක් ම උඩින් දරාගන්න පුළුවන් හිතකුත් සතුට හොයන ඇස් දෙකකුත් තිබුණා... ම්.. වචනවලින් විස්තර කරන්න බැරි මහ අමාරු ගමනක් ආවා.... මට මාවම වාරු නැති කඩාවැටීම් තිබුණා ආදරය නිසානම් නෙවෙයි දෛවය නිසා... ඒ කවමදාවත් හිතිලා නෑ මෙහෙම ජීවිතයක් තියෙයි කියලා... අදටත් ප්‍රශ්න ගණනාවකට එකම විසඳුම සරසවිය ම වෙන තරමට ඒක ආශිර්වාදයක් වෙලා... සරසවිය තුළත් මහ පරිමාණ බලාපොරොත්තු තිබුණේ නෑ... ඒත් ජීවිතය ම බලාපොරොත්තු වන තරම් සතුටක් අරන් විශේෂවේදී තේරුණා... හරිම අහම්බයක්... පුදුමාකාර අහම්බයක්... ඒ ගමනත් හරිම කටුක වුණා විභාගයක් නිසා නෙවෙයි දෛවය නිසා... මහ සැඩ සුළං මැද, ඉවරයක් නැති මුරුගසන් යට, හුදකලා විරාම තුළ ද නිවුණු ගිනිදැල් යට දැවෙන ගිනිපුපුරු පවා එබිකම් කළා... එක අතකට සෘතුවෙන් සෘතුව එකම විදියකට පවතින්නත් බෑනේ... ඒත් බලාපොරොත්තු වුණාටත් වඩා දෛවය තුළ තෑගි තිබුණා... සහෝදරකම් පිරුණු යාළුවො මුණගැස්සුවා... කිසිවක් ම බලාපොරොත්තු නොවි දිරිය දුන් මිනිස්සු මවලා තිබුණා... මන් වෙනුවෙන් ම වරු ගණන් දිය කරන්න පුළුවන් හදවත් මවලා තිබුණා... ඔව් මට මතකයි... එක පාරක් වැහෙද්දි තව පාරක් හොයා ගන්න මායා වචන, සලකුණු තියලා තිබුණා... කිරි වෑස්සෙන පතොක් මල් මත මල් ඉහිරෙන වසන්තයන් එක් කරලා තිබුණා... සමහර කාලයන් කාගෙන ඉස්සරහට අරන් යන්න තරම් ශක්තිය දීලා තිබුණා.. සමහර මොහොතවල් ස්පර්ශයටත් කලින් ඉගිල්ලෙද්දි දරන් ඉන්න බලාපොරොත්තු තිබුණා... ඉස්සරහටත් දෛවය කටුක වෙයි... දරුණු වෙයි... ඒත් ඒක හරි පුදුමාකාර වෙයි හැමදාම වගේ... වැහෙන දොරවල් ළඟ කවුළු හරිද්දි ඈතින් පිපෙන මිටියාවත් පෙන්නාවි... ඔව් දුර ඈතක පුංචි හරි බලාපොරොත්තුවක් එක් කරලා තියේවි... ඉතින් ආදරණීය දෛවය... වැටෙන තැවෙන හැමවෙලාවකම මන් ළඟ ඉන්න ඕන නැහැ. මට මන් වෙන්න දෙන්න. අඬන්න හේතු දාහක් අමතක කරලා හිනාව ගත්තු දවස් මතක් කරන්න.. බැහැයි කියපු දේවල් අල්ල ගත්ත හැටි කියලා දෙන්න.. නැහැයි කියන දේවල් ළඟා කරපු හැටි කියලා දෙන්න.. කොටින්ම නොදැකපු සරසවිය වෙත එන්න දුන් දිරියම ආයේ ආයෙත් ලබාදෙන්න. ඉදින් ආදරණිය දෛවය මා තෝරාගත්ත හොඳම තේරීම පේරාදෙණියයි.. නුඹත්, සිහිනත්, කවිත් ඒ නිසාම මල් දරා ඇත...

NEWS

හිතට දැනෙන දේ | නුඹත්, සිහිනත්, කවිත් ඒ නිසාම මල් දරා ඇත..

  • Date: 2022-01-19