Blog



රාත්‍රිය උදා වුණා රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නොඑන්නේ රාත්‍රිය උදා වුණා...// ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන්වෙලා යයි නොවි නිදි දැහැන් ඔබ අවුදින් සිවු දිගින් මා දෙනෙතේ දැවටෙමින් සිත තැවුල් මවාලයි පුරා රැය නිතින්... පද රචනය :- කුලරත්න ආරියවංශ ගායනය :- ටී. එම් ජයරත්න සංගීතය :- රෝහණ වීරසිංහ රාත්‍රිය උදාවුණා නින්ද ඇයි නොඑන්නේ? පෙම්වතෙකුගේ සිතේ සිතුවිලි පාලම් තනන්න රාත්‍රිය තරම් තවත් මොහොතක් නැති තරම්‍ ය. මේ තරුණයාගේ සිත අනඟ හී සර වැදී සිදුම් රිදුමකට චංචලත්වයකට පත් ව ඇති හැඩයි. ප්‍රේමයෙන් ආතුර සිතට තව තවත් පෙම් සිතුවිලි, සිහින මාලිගා ගලා එන්නේ නින්ද ඔහුගෙන් ඈත් කරමිනි. ජීවිතය පුරාවට බොහෝ රාත්‍රීන් පසුකර තිබුණ ද අද ඔහු අපූර්ව අත්දැකීමකට මෙම රාත්‍රින්වලදී මුහුණදෙයි. හදේ තෙරපෙන සිතුවිලි ඔහුගේ දෑස් හැර තබයි. රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නොඑන්නේ රාත්‍රිය උදා වුණා...// ඔහුට ම සිය හිත හදුනාගත නොහැකි බවක් පෙනේ. ජීවිතයේ කුමන අවධියක පසු කරන්නෙකු වුව ද ආදරයේදී බොළඳ නොදරුවකු බවට ආධ්‍යාත්මික ව පත් වේ. බාහිර ලොවට සැබෑ ස්වරූපය එලිදරව් කළද නොකළ ද චිත්ත අභ්‍යන්තරය තුළ දහසකුත් සිහින තුළ කිමිදෙමින් දිවි ගෙවයි. ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්...// මෙතෙක් නිදිබර ව පැවති ඔහුගේ හදවත, හැඟීම් පණ ලබා අවදි වන්නේ ඇය දැකීමෙනි, නිදි දැහැනට සම නොවැදීම රැය පහන් වී නව දිනයක් උදා වන්නේ අනාගතය පිළිබඳ තව තවත් සිහින ගොන්නක් එක් වීමෙනි. ගීත කණ්ඩය ඇසෙත්ම සිහි වන්නේ මුවග ප්‍රේමණීය සිනහවක් දවටා සයනට වී සිහින දකින තරුණයෙකි. ඔහුගේ සිතේ පවතින හැඟීමේ සියුම් බව නිර්මාණකරු යොදාගෙන ඇති වචන මගින් තව තවත් ගම්‍ය වේ. ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවෙටෙමින් සිත තැවුල් මවාලයි පුරා රැය නිතින්...// ඇගේ රුව ඔහුට සොදුරු දසුනකි. නෙත යොමන මානයේ ඇගේ රුව මැවී පෙනේ. සිව් දිගින්ම ඈ පැමිණ සිතේ දැවටෙයි. ඔහු හා සිනාසෙයි. ඒ සමගම ඈ අහිමිවේ ද යන බිය සමග මුසුවූ තැවුලක් ද ඔහු සිතට නගා ගනියි. රැය පුරාම ඔහු නිදි නොවැද ම කරනුයේ ඈ පිළිබඳ සිතීම ය. ආදරය විශ්වීය වේ. කුමන රටක කුමන දේශයක ජීවත් වුව ද ආදරය පිළිබඳ හැඟීම කාටත් එක ලෙසින් දැනෙයි. වෙනස් වන්නේ එය පිටතට ඉදිරිපත් කරන ආකාරය යි. විවිධාකාර වූ ලෝගුවලින් වසාගත් මිනිස් ශරීරය තුළ පණගැහෙන්නේ සමාන හදවත් ය. ඔවුන් ආදරය වින්දනය කරන්නේ එකම අයුරකින්‍ ය. ඔවුන් අභ්‍යන්තරික ව එක ලෙසින් ප්‍රේමය අත් විඳී. විශ්වීය හැඟුම ඉතා සරල පද යොදාගෙන දක්වා ඇති ආකරය අපූරු ය. එම පද පෙලට ටී. එම් ජයරත්නයන්ගේ හඬ යොදාගැනිම ද අපූරු ගැලපුමකි. රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණය සමග එක් බිහි වූ ගීතය පෙම් හදවත්වලට පිනි පොද ඉසින ඔසුවක් බඳු ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 60 වන දිගහැරුම

  • Date: 2022-01-24