Blog



ඒ 90 දශකයේ මුල් වසර කිහිපයේ දිනයකි. මම මුලතිව් ඉදිරි ආරක්ෂක වලල්ලේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියෙමි. කුරුල්ලන්ගේ මිහිරි නාදයක් ඇසෙන්නටවත් නැති මානයක වෙඩි හඬ හා මරලතෝනි අපේ දෙසවනට හොඳින් හුරු පුරුදු ය . උතුරේ මෙන් ම දකුණේ ද කිසියම් හෝ අරමුණක නාමෙන් මිනිසුන් තිරිසන් සතුන් මෙන් මරා දැමුණ කාලය කි. ඉතින්,රණවිරු ලාංජනය යටතේ අප ද අරමුණක් නොදන්නා යුද්ධයක කොටස්කරුවන් වී සිටියෙමු. විසිපස් වසරක මගේ ක්‍රියාන්ව්ත කාලය තුළ මට අමතක නොවෙන සිදුවීම් පොළොවේ වැලි කැට ප්‍රමාණයට ඇත. ඒ අතරිනුත් මා මියෙනතාක් මගේ මතකයෙන් මැකී නොයන සිදුවීමක් ඇද් දැයි කවුරුනු හෝ විමසුවහොත් මම අවිවාදෙයන් යුතු ව මෙම කතාව පවසමි. එදා කඳවුරේ රාත්‍රී අහාරය ගනිමින් සිටින විට එක් වර ම හදිසි රැස් කිරීමේ නලාව නාද වුණි. අපි ආහාර ගැනීම පසෙකලා කඩිමුඩියෙ ප්‍රධාන අණ දෙන නිලධාරිතුමන්ගේ කුටියට දිව්වෙමු. " අපේ කෑම්ප් එකට ගම් දෙකක් එහායින් තියෙන ගමට ටෙරාලා ඇටෑක් කරලා..අමරසිංහ ටීම් එක අරගෙන පුලුවන් ඉක්මනට ඒරියා එකට යන්න" ලැබුණ අණත් සමඟින් වහාම මම කණ්ඩායම සමඟ රථ වලට නැඟී එම ප්‍රදේශයට ගියෙමි.නැවත පණ පිටින් පැමිණීමක් ගෙන අපට විශ්වාසයක් තිබුණේ නැත.ඒ කාලෙ හැටි එහෙම ය.මනුෂ්‍ය ජීවිතයකට රුපියලක කාසියක් තරම්වත් වටිනාකමක් තිබුණේ නැත.අප එහි යන විටත් සතුරෝ දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටියෝ ය .කන් අඩි පුපුරන් යන වෙඩි සද් ද මැද් දෙ අහස ගින්දර වලින් එක එක රටා මවමින් සිටියේ ය . අතරින් පතර ඇහෙන මරලතෝනි වලින් පන්නරය ලබමින් එම රටා තව තවත් දීප්තිමත්ව දිලෙන්නට විය. මිනිස් හුස්මවල සද් දයට හැර අනෙත් ඕනෑම ශබ්දයකට එම අවකාශයේ ඉඩ තිබුණි. එම සටන දරුණුවට ම පැවතුණි. දෙපාර්ශවයට ම බරපතල හානි සිදු වුණ අතර අපේ ප්‍රති ප්‍රහාර හමුවේ සතුරන් පසු බසින ලදි.ඉන්පසු තුවාල ලැබූවන් සහ මියගිය සතුරන් සහ සිවිල් වැසියන් නිරීක්ෂණයට අපි ගම්මානය තුළට ගියෙමු.සීසිකඩ විසිරුණු සිරුරු හා තුවාල ලැබූ අයගේ මරලතෝනි මිහිපිට අපායක් නිර්මාණය කර තිබුණි. කවුරුන් හෝ මගෙන් මරණින් මතු අපායක් ඇද් දැයි ඇසුවොත් මම ඔවුන්ට යුධ පිටියකට ගොස් බලන්නට කියමි. තුවාල ලැබූවන් හා මිය ගිය අය නිරීක්ෂණය කරමින් ඉදිරියට යන විට මට සෙබලෙක්ගෙන් කැඳවීමක් ලැබුණි. "සර් සර් පොඩ්ඩ්ක් මෙහෙට එන්න" ඒත් සමඟ ම ඒ දෙසට ගිය මට දක්නට ලැබුණෙ හිතන්නට හිතක් තිබෙන මනුෂ්‍යයෙකුට කිසි දිනෙකට දකින්නට නොලැබේවායි පතන මට්ටමේ දර්ශනය කි. ලේ වලින් නෑවුණු ත්‍රස්තවාදි ඇඳුමකින් යුත් කාන්තාවක් මර ලතෝනි දෙමින් සිටියා ය . ඊටත් වඩා හද අවුලුවන දර්ශනය වූයේ මෙම කාන්තාව ගැබිණියක සිටීමයි . උපන් පරපුර මෙන් ම නූපන් පරපුරක උන් ද හේතුවක් නොදන්නා කාලකණ්නි යුද්ධයක ගොඳුරු වී සිටිය හ. මෙරූ කුසත් ඇතුව ලේ පෙරමින් කැඩුණු දෙමළෙන් එම කාන්තාව කියු දෙය තේරුම් ගැනීමට අපහසු වුවත් මට යාන්තමින් එය තේරුම් ගැනීමට හැකි විය. "අයියෝ කඩුවලේ මගන් මගන්" ඇය කැඩුණ දෙමළෙන් පැවසුවේ ඇගේ දරුවාගෙ ජීවිතය බේරා දෙන ලෙස යි. යුධ සෙබලෙක් ලෙස කෙතරම් තුවාල ලැබූ පුද්ගලයින් ජීවිතය තුළ දැක තිබුණ ද මෙම සිදුවීම මගෙ හද සසල කරන්නට විය. " මුන්ට දැන් තමා දරුවො මතක් වෙලා තියෙන්නෙ..අනිත් උන්ගේ දරුවො මැරෙනකොට හොඳයි..කාලකණ්නි ..මැරෙන්න අරින්න තියෙන්නෙ සර්" ඒ මගෙ කණ්ඩායමේ සෙබලන්ගේ හඬයි. එවැනි දේකට වඩා දෙයක් මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වුනේ නැත.ඒ යුද්ධය හමුවේ සෙබලෙක්ගේ මනස යොමු කර තිබූ තැනයි. මට මගේ නිවසත් ,මාගේ බිරිඳත් , මාගෙ කිරි කැටි පොඩි එකත් මතක් විය. මීට වසරකට පමණ පෙර මම යුධ පෙරමුණේ සිටිය දී මඟේ බිරිඳ ගැබිණියකව මොනතරම් ගින්දරක් උහුලන්නට ඇත් දැයි මට සිතුණි.අපගේ කුලුදුල් දරුවා ලෙස මාගෙ පුතුණුවන් මාගේ දෑතට ගත් දිනය මට මැවී පෙනෙන්නට විය. ත්‍රස්තවා දී කාන්තාව දිගටම විලාප තියයි. "වීරසිංහ ඉක්මනට රිකවරි යුනිට් එකට එන්න කියලා මෙයාවා කෑම්ප් එකෙ හොස්පිටල් එකට අරන් යන්න" මා වටා සිටි මගේ කණ්ඩායමේ සෙබලු මා දෙස වික්ෂිප්තව බලා සිටියෝ ය.සමහර විට තරමක දැඩි නිලධාරියෙක් උන මගෙන් ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වන්නට නැත.වේදනාව මදදේ වුව ද ත්‍රස්තවාදී කාන්තාවගේ දෑත් එකට එක් විය.ඒ ඇය නිහඬව ම ඇගේ කෘතඥතාව මා වෙත පල කළා ය.අදටත් මට ඒ මුහුණ හොඳට මතකය.ඒ මුහුණේ තිබූ බිය,බලාපොරොත්තු සහගත බව,ජීවත්වීමේ ආශාව ඒ සියල්ල මගේ හදවතේ සිතුවමක් ලෙස සටහන් වුණි.ඒ මගේ ක්‍රියාන්විත කාලය තුළ මා ඈ දුටු අවසන් වතාවයි.මගේ ක්‍රියාන්විත කාලය තුළ මට ඇයව නැවත මුණ ගැසුණේ නැත. ඉන් වසර විස්සකට පමණ පසු දහස් ගණනකට ජීවිත අහිමි කරමින් මෙන් ම දහස් ගණනක් ආබාධිත තත්ත්වයට ඇඳ දමමින් ඒ ලේ පිපාසිත කුරුරි යුද්ධය අවසන් වුණි. ත්‍රස්තවාදී නායකයා අපේ හමුදාව විසින් මරා දැමීමෙන් පසු යුධ බිය ජනතාව තුළින් මැකී ගියේ ය. යුද්ධය අවසන් වී වසරකින් මම හමුදා සේවයෙන් විශ්‍රාම ගියෙමි. නමුත් කම්බි කූරු පැස්සු බිඳුණු පාදයක් යුද්ධයේ සමරු ලෙස මට ඉතුරු වී තිබුණි. ඇවිදීමට හා මගේ වැඩ කටයුතු කිරීමට හැකි වුවත් මේ පාදය හැකි සැමවිට ම මට රිදවීමට සමත් විය.වේදනාවෙන් පුපුරු ගහන දවස් ඕන තරම් තිබුණි. ඉතින්, මම ඔබට කියන්න යන්නේ කෙනෙකුට කවදා හෝ දවසක තමන්ගේ අතීතය නැවත මුණ ගැහෙන බව යි.ජීවිතයේ කොතරම් ඉදිරියට අප ගමන් කළ ද අතීතයේ සෙවනැලි සමහර විට අපට දේවල් මතක් කර දෙනවා නිසක ය. එදා හරියට ම 2014 වර්ෂයේ පොසොන් පොහොය දිනය යි..දින ගණනක් පුරාවට පුපුරු ගැසූ පාදයේ වේදනාව මට උහුලා ගත නොහැකි තැනකට පත් විය. ඉතින්, මම වේදනාවෙන් කෑ ගැසුවෙමි. වහා ම ක්‍රියාත්මක වුණු මගේ බිරිඳ සහ පුතා මාව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහල වෙත රැගෙන ගියේ රජයේ රෝහලක් ඒ ආසන්නයේ නොතිබූ නිසා යි. පෞද්ගලික රෝහල වෙත ඇතුලු වුණ වහා ම විමසීම් කවුන්ටරයෙන් වෛද්‍යවරයෙකු ගෙන විමසන විට ලැබුණෙ බලාපොරොත්තු සුන් වන පිළිතුරකි. "අද පෝය නිසා ඩොක්ටර් බෙහෙත් දෙන එක ඉවර කරලා යන්න හදන්නේ.එයා ආයෙ අද දවසට එන එකක් නෑ. අර කාර් එකට නඟින්න යන්නෙ ඩොක්ටර්. පොඩ්ඩක් කියලා බලන්න. සමහර විට බෙහෙත් කරයි." ඉතින් ,මගේ බිරියත් පුතාත් ඔහු වෙත ගොස් තත්ත්වය පැහැදිලි කර මගේ දුක්ගැනවිල්ල ඔහුට ඉදිරිපත් කළහ. ඇසිල්ලකින් ඔහු නැවත රෝහල වෙත ආ අතර මට ඔහුව ඒ වෙලාවෙ ඉෂ්ඨ දේවතාවෙක් මෙන් දිස් වුණ බව කිව යුතු ම ය. "නර්ස්, මේ පේෂන් ව මගේ රූම් එකට ඉක්මනට අරන් එන්න" ඒත් සමඟ මම ඔහුගේ ප්‍රතිකාර කාමරයට ඇතුලු වුණෙමි.වේදනාව මද් දේ වුව ද මට කාමරයට ඇතුළු වුණ විගස පෙණුන දෙයක් විය.ඒ බිත්තියේ එල්ලා තිබූ රාමු කරන ලද පින්තූරය කි. ඒ පින්තූරයේ සිටියේ නලලේ මොට්ටුවක් තිබු රතු පැහැති සාරියක් හැඳි කාන්තාවකි. පාදයේ වේදනාව මගේ නියුරෝන තදින් තෙරපෙන විට මගේ මොලයේ නියුරෝන ද තෙරපෙන්නට පටන් ගත්තේ ඒ කාන්තාවගේ මුහුණේ මට හුරු පුරුද්දක් දැණුන බැවිනි.මම වහා ම වෛද්‍යවරයා ගේ මුහුණත් ඔහුගේ නිල නාම පුවරුවත් දෙස බැලුවෙමි. " Dr. බාලේන්ද්‍රන් සිවකුමාර්" මම එය එක හුස්මට කියෙව්වෙමි. ඒ වන විටත් ඔහු මගේ පාදය පරික්ෂා කර මට වේදනා නාශක එන්නතක් ලබ දී මට පිහිට වී අවසන් ය. මම අර කාන්තාවගේ පින්තූරය දෙස නැවත බැලූ විට ක්ෂණයෙන් මට හීන් දාඩිය දාන්නට විය. "ඩොක්ටර්, අර පොටො එකෙ ඉන්නෙ කවු ද" "අහ් ඒ මගේ අම්මා, ඒ දවස්වල යුද්ධෙන් මම ඉපදෙද්දි ම නැති වෙලා. අම්මා නැති වෙන්න කලින් පින්තූරයක්. මට නැන්දා කෙනෙක් ගාව තිබිලා හම්බුණේ. මම ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ අම්මගෙ පින්තූරේ රාමු කරලා එල්ලුවා, එයා ලස්සනයි නේ ද?" ඔහු සිනාමුසු මුහුණෙන් මා දෙස බලා පැවසුවේ ය. මගේ දෑසට උණු කඳුලු බිඳු උනන්නට වුණත් මම එය ඔහුට නොපෙන්වා සඟවා ගත්තෙමි. ඒ එදා මුලතිව්වල ගැටුමේ දී තුවාල ලබා ප්‍රතිකාර සඳහා මා යොමුකෙරූ ත්‍රස්තවාදි කාන්තාවයි. දරු ප්‍රසූතියේ දි ඇය මිය ගොස් තිබුණි. කාලයාගේ ඇවෑමෙන් මට ඇය නැවත මුණ ගැසුණාය. එදා ඇයව මම වීරෝධ මැද ප්‍රතිකාරවලට යොමු නොකරන්නට අද මට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයෙකු නැත.මොනයම් හෝ හේතුවකට ඇය එදා ත්‍රස්තාවාදි සංවිධානයකට බැඳී ජීවිත ඉල්ලනට විය. ඇගෙන් ජීවය ලැබූ ඇයගේ පුතු අද දහස් ගණනකට ජීවිතය දෙන්නේ ය. " මිස්ටර් ,මේ බෙහෙත් ටික දවසට තුන් පාරක් ගන්න, කකුල හොඳට තවන්න, ෆෝසස් වල හිටියහම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් ගෙන ලොකුවට හිතන්න එපා" ඒ එදා මගේ තීරණයෙන් ජීවිතය ලැබු පොඩි එකා ය. මට මේ සියල්ල සිහිනයක් මෙනි. මම ඔහුට ස්තූති කර රෝහලෙන් පිටවෙන විට ම අසල විහාරස්ථානයක ධර්ම දේශනයක් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වලින් මගෙ දෙසවන පිරෙව්වේ ය. "නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ" කෙනෙකු උපතින් බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවේ. යමෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වන්නේ ක්‍රියාව අනුව පමණි. අප මහා බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

NEWS

විභව කෙටිකතා | සෙනෙහසේ වෙඩිල්ල

  • Date: 2022-01-27