Blog



*අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී* අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී හත්දින්නත් තරු පොකුරේ ඔබ සැඟවේ මට අහිමි ව යන ඔබේ සිනා කැකුළයි සමුගන්නට බෑ හිතේ හැඟුම් සසලයි හිත් රිදවන්නට සෙනෙහස මෝදුවෙලා අපි දෙන්නා අද දෙතැනක නතරවෙලා දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ මට දුන් සවිය ම ඔබට සවිය වේවා තහනම් බැමි නැති ලොවකදි හමු වේවා ●ගායනය: පුන්සිරි සොයිසා ●ගී පද: ඒ. ඩී. ඉන්ද්‍රානි ●සංගීතය: ප්‍රියා සූරියසේන ‘කාව්‍යං රසාත්මකං වාක්‍යං’ රසවත් වූ වැකිය කවිය වන්නේ ය. රමණීය වූ අර්ථ ප්‍රතිපාදනය කරනු ලබන්නේ ද කවිය යි. ඉතා මනරම් වූ අඳුර නසන්නට ගීතය රචනා කර ඇත්තේ ඉතාමත් දක්ෂ කිවිඳියක් වන ඒ. ඩී. ඉන්ද්‍රානි මහත්මිය විසිනි. පදවලට අනුරූප වූ තනුව නිර්මාණය කර ඇත්තේ ප්‍රියා සූරියසේන සංගීතවේදියා ය. මෙම ගීතය රසිකයන් අතර මෙතරම් ජනප්‍රිය වීමට පුන්සිරි සොයිසා ගායකයාගේ හඬ බලපෑ බව නොරහසකි. මෙම ගීතයෙහි වස්තු විෂය වී ඇත්තේ තමාට දුෂ්කර වූ අතීත කාල පරිච්ඡේදයකදී උදව් කළ යුවතියක් කෙරෙහි ජනිත වූ ආලය ඵල දරා ගැනීමට නොහැකි ව ඇයගේ ඉදිරි ජීවිතයට සුබ ප්‍රාර්ථනාවක් එක්කිරීම හා මේ ආත්මයේදී මෙන් නොව තහනම් බැමිවලින් තොර වෙනත් ලෝකයකදී හමුවීමට පෙම්වතෙකු කරන්නා වූ පැතුමකි. පෙම්වතාගේ අතීතයේදී බොහෝ දුක් පීඩාවන් ඔහු විඳින්නට ඇත. "අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී හද්දින්නත් තරු පොකුරේ ඔබ සැඟවේ" ඇතැම් විට එම අඳුර ඇති වන්නට ඇත්තේ ප්‍රේම විප්‍රයෝගයක් නිසා විය හැකි ය. එම හදවතේ දුක, පීඩාව ‘අඳුරකින්’ කිවිඳිය දක්වා ඇත. ඇතැම් විට එම අඳුර ආර්ථික දුෂ්කරතාවක් නිසා ඇති වූ දුක් කරදර විය හැකි ය. එම දුක් කරදර නැති කිරීමට තරුණියක ලෙස තම ජීවිතයට පහනක් ලෙසින් ආලෝකයක් එක් කළ යුවතිය තමාට මහමෙරකි. සිතේ පැවති දුක් සහගත බව අඳුර නැසූ පහනක් ලෙසට ම ඔහුගේ දුක ද ඇය නිසා තුරන් විය. නමුදු අද ඇය ‘හත්දින්නත් තරු පොකුරේ’ සැඟව ඇත. කිවිඳිය ව්‍යංගවත් ව දක්වන්නේ එදා තම දිවිය ආලෝකවත් කළ යුවතිය අද හත්දින්නත් තරු පොකුරක ඇති තරුවක් වෙන් කර ලබා ගත නොහැක්කා සේ ම ඇය ද ළං කර ගැනීමට නොහැකි තත්ත්වය යි. "මට අහිමිව යන ඔබේ සිනා කැකුළයි සමුගන්නට බෑ හිතේ හැඟුම් සසලයි" තමාගේ මුවට සිනාවක් එක් කළ ඒ සිනාව ඔහුගෙන් දුරස් වීම ඔහුට වේදනාවකි. සමුගන්නට වුව ද සමුගැනීමට නොහැකි බව ඔහු පවසන්නේ හදවතේ හැඟුමන් පවා සසල වී ඇති බැවිනි. ආදරය කර එකම ප්‍රාර්ථනාවකින් ඔවුනට විවාහ වීමට නො හැකි ය. ‘හිත් රිදවන්නට සෙනෙහස මෝදුවෙලා’ ඔහු පමණක් නොව ඇය ද ආදරයේ ඉඟි ලබා දෙන්නට ඇත. වෙන් වී යද්දී ඔහුට පමණක් නොව එම විරහ වේදනාව ඇයට ද දැනෙන්නට ඇත. එදා මෙන් ම අද ද ආදරයෙන් කතා බස් කර එම ආදර සොඳුරු ලොවෙහි විසීමට ඔහු කැමති ය. එදා මෙන් අදත් ඔහුට ඇයව මඟතොටේදී පවා මුණගැසෙනවා ඇති. නමුත් කතාකර එදා මෙන් කෙළිදළෙන් විසිය නොහැක. ‘අප දෙදෙනා අද දෙතැනක නතර වෙලා’ කොතරම් එක් වීමට ආශාව තිබුණ ද දෙදෙනාගේ අතීතය මතක් කරනවා හැර අද එකට හැඟුමන් බෙදා ගත නො හැකි ය. දෙදෙනා අද තැන් දෙකක නතර වී ඇත. ඇතැම් විට දෙදෙනා වියෝවෙන් පසු වෙනත් විවාහ ජීවිතවලට එළැඹී සිටිනවා විය හැක. "දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ හඬා වැටෙන්නට අප නොදරුවන් නොවේ" අතීත මතකාවර්ජන ඔහුගේ සිතේ පමණක් නොව ඇයට ද මතක් වෙනවා ඇත. එම මතක දෙස හැරී බැලූ විට සිහිනයක් මෙන් ඔහුට දැනේ. ඔහු යථාර්ථවාදී ව ජීවිතය දෙස බලයි. එනම්, ප්‍රේම විප්‍රයෝගය ඔහුට, ඇයට පමණක් උරුම දෙයක් නොවන බව ඔහු දනී. ළදරුවන් මෙන් ප්‍රේමය අහිමි වූවාට ඔහු හඬන්නේ නැත. එය තවත් එක් ධර්මතාවක් පමණක් බව ප්‍රකාශ කරන්නේ ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති නියම පෙම්වතෙකුගේ ස්වභාවය පසක් කරමිනි. "මට දුන් සවියම ඔබට සවිය වේවා තහනම් බැමි නැති ලොවකදි හමු වේවා" ඔහුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළේ ඇය යි. තමාගේ දුෂ්කර කාලයේදී සෙවණැල්ල සේ ළඟින් සිටියේ ඇය යි. එම සවිය ම ඇයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වාසනා වේවා කියා ඔහු ප්‍රාර්ථනා කරන්නේ පිරිසිදු සිතිනි. එමෙන් ම ඔහුට මේ ආත්මයේදී එක් වීම කෙසේවත් කළ නොහැකි ය. ඒ තහනම් බැමි ඇති බැවිනි. ඔහු සමාජ සාරධර්මවලට පිටුපා ඇය ලබා ගැනීමට උත්සාහ කරන්නේ නැත. ඔහු අවසානයේදී නිර්මල වූ ප්‍රාර්ථනාවක් කරයි. ඒ තමාගේ ජීවිතය පෙර කලෙක ආලෝකවත් කර නිවැරදි මාර්ගයට මග පෙන්වා උදව් උපකාර කළ එම යුවතිය වෙනත් ආත්මයකදී හෝ තමාගේ වේවායි කියා ය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී ඇති මෙම ගීතය ඉතා අගනා නිර්මාණයක් ලෙස මෙසේ අගය කළ හැක.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 61 වන දිගහැරුම

  • Date: 2022-01-30