Blog



ලුකා 2019 ජුනිමස 28වන දින තිරගත වූ ගතානුගතික ආදර කතාවලින් ඔබ්බට ගිය තවත් මලයාලම් ආදර කතාවක් ලෙස හැඳින්විය හැක. Arun Bose විසින් රචනා කර අධ්‍යක්ෂණය කර Tovino Thomas සහ Ahaana Krishanaගේ ප්‍රේමණීය රංගන හැකියාවෙන් හැඩගැන්වෙන මෙම චිත්‍රපටය පුරාම, ආදරය, කුතුහලය, දුක, සතුට හොඳහැටි කලවම්වුණු බවක් දක්නට ලැබේ. මෙහිඇති එක් විශේෂත්වයක් නම්, කතාව ආරම්භ වන විටත් මෙහි ප්‍රධාන භුමිකාව රඟ දක්වන ලුකා සහ නිහාරිකා නම් චරිත ද්විත්වය ම අභිරහස් ලෙස මරණයට පත්ව තිබීම යි. ප්‍රේක්ෂකයා ඉදිරියේ ධාවනය වන කතාව ඉදිරියට රැගෙන යන්නේ ලුකාගේ මරණයේ සාක්ෂි ලෙස හමුවන නිහාරිකාගේ දින සටහන් පොත යි. එමෙන්ම ඒ දින සටහන් පොත කියවා අවසන් වන තෙක් ම ඔවුන් දෙදෙනාගේ මරණයේ වැරදිකරුවන් ලෙස හිතේ මැවෙන්නේ නිහාරිකාගේ මාමා හෝ ලුකාගේ හොඳම මිතුරෙකි. එහෙත් අවසාන නිමේෂයේ දී ඒ සියලු උපකල්පන වැරදි බව පෙන්වා දීමට මෙහි තවත් සමාන්තරගත ජීවිත කතාවකට හිමිකම් කියන අක්බාර් සහ ෆාතිමා සමත්වේ . අක්බාර් නම් ලුකාගේ මරණයේ සුලමුල සොයන පොලිස් පරීක්ෂකවරයා වන අතර ෆාතිමා ඔහුගේ බිරිඳ යි. ලුකා තම කුඩා කාලයේ දී ම පියා අහිමි වූ පුතෙකි. කාලය ගතවත්ම ඔහුගේ මව ද මොළයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වේ. මානසික කම්පනයට පත්වන ලුකා සාමාන්‍ය මිනිසෙකු සාපේක්ෂ ව මරණයට බිය තරුණයෙකු බවට පත්වේ . ඔහු රෝගයට ඖෂධය ලෙස සොයා ගන්නේ චිත්‍ර කලාව යි. පින්සලට, දියසායමට, පැන්සලට ඇලුම් කරන ඔහු කාලය ගතවෙත්ම දක්ෂ කලාකරුවෙ ක් බවට පත්වෙයි. සිය උසස් අධ්‍යාපන කටයුත්තකට තම මාමගේ නිවසට පැමිණීමට නිහාරිකාට සිදුවේ . මාමගේ නිවස පිහිටා ඇත්තේ ද ලුකාගේ නිවස පිහිටි ගමෙහි ම ය. නිහාරිකාගේ කුඩාකාලය ද එතරම් සතුටු පිරුණු තැනක් නොවේ . ඇයගේ පියා ද ඇයට කුඩා කාලයේ දී ම අහිමි වන අතර මවගේ සහෝදරයෙක් වන ඉහත කී මාමා අතින් ඇයට හිරිහැර සිදුවේ . නමුත් ඒ කිසිවක් ඇයට අම්මාට කීමට නොහැකි වන නිසා ඇයගේ කුඩා කාලය ද දුක්ඛිත ව ගෙවා දැමීමට සිදුවේ . කාලය ගතවීමත් සමඟ එකිනෙකා මුණගැසෙන ලුකාත් නිහාරිකාත් පළමුව හෝඳම මිතුරන් බවට පත්වේ. අපිළිවෙලෙන් ගෙවුණු ලුකාගේ ජීවිතයට නිහාරිකා පැමිණීමත් සමග එය ආලෝකවත් වුණු බව නිහාරිකාගේ දින පොතේ ඉතා අලංකාර ලෙස ලියවී ඇත. කාලයාගේ ඇවෑමෙන් ආදරයකට පෙරළෙන ඒ යාළුකමේ ආදරණීය සිදුවීම් කැමරාකරු විසින් ප්‍රේක්ෂකයාට ඉතාමත් උත්කෘෂ්ඨ ලෙස ගෙනහැර දක්වයි. දින පොතේ සදහන් පරිදි ඔවුන් දෙදෙනාට සතුටින් සිටීමට හැකිවන්නේ ටික කලකි. ලුකාට හදිසියේ ඇතිවන මරණීය රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු නැවතත් තනිවීමට තීරණය කරයි. මන්ද ඔහුගේ මරණය ඔහුටත් නිහාරිකටත් දරාගත නොහැකි බව ඔහු හොඳින් දන්නා බැවිනි. නමුත් ලූකා මරණයට බය බව නිහාරිකා හොඳින් දන්නා කරුණකි. ඉතින් ඇය ඔහුට නිර්වේදනාත්මක මරණයක් ලබා දීමටත් ලූකාගේ මරණයට පෙර තමාගේ මරණය ඔහුට හොරා ළඟා කර ගැනීමටත් තීරණය කරන්නට ඇත. ඇය ඒ සදහා තම රසායනික දැනුමත්, තම දින පොතත්, ලුකාගේ එක් චර්යාත්මක පුරුද්දක් යොදා ගත්තා ය. ඇය එය සිදුකළ ආකාරය මා මෙ හි සදහන් කරනවාට වඩා ඔබ මෙ ය නරඹා, විමසා බැලීම අගනේය යන්න මාගේ හැඟීම යි. ඇත්තට ම ලුකාගේ මරණයේ වැරදිකරු ලෙස නිහාරිකා නම් කරනවාට වඩා ලුකා වේදනාත්මක මරණයෙන් ගලවා ඔහුට සියුම් හෝ වේදනාවක් නොදී ඔහුගේ මරණය ළඟා කර දී තමාගේ ජීවිතය ද ආදරය වෙනුවෙන් කැප කළ පුද්ගලයා නිහාරිකා ලෙස හැඳින්වීම වඩාත් උචිතය. සම්ප්‍රදායික ආදර කතාවලින් ඔබ්බට ගිය අමුතු ආදරකතාවක් ලෙස "ලුකා" මට හඳුන්වා දිය හැක.

NEWS

විභව Unframed | Episode 49 | ලුකා (2019)

  • Date: 2022-02-04