Blog



ගායනය :චන්දන ලියනාරච්චි පද : ධම්මික බණ්ඩාර  සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා " සඳ කුමාරි මගෙ මනාල  තරුවරළ උනා දමාවි  රෑ කවුළු දොරින් එබේවි  මට එන්න කියා කියාවි"    මට හැඟෙන විදියට මේ ගීතය තුන්කොන් ප්‍රේමයක් ගැන කියවෙන හරි අපූරු ගීතයක්. මෙහි සැමියෙකුගේ හා බිරිඳකගේ විවාහය අතරට පැමිණ සිටින පෙම්වතියකගේ ආදරය අගයමින් සමාජය අසම්මතයක් ලෙස විදහා දක්වන බැඳීමක ඇති මිහිරි රසමුසු තැන් කියාපාන්නකි. මේ පුරුෂයා පෙම්වතිය ඉතා ම අගයයි. ඔහුට ඇය සඳඟනාවකි. සඳ කුමාරියකි. ඔහුට පමණක් මනාලියකි. සාමාන්‍යයෙන් තමා වඩාත් ම ආදරේ කරන පිරිමියා තමා වෙතට එන මොහොතකට ඒ බොළඳ ගැහැනිය හොඳින් පිරිසිදු වී සුවඳින් සැරසෙයි. කාන්තාව තම කොණ්ඩය කඩා දමන්නෙ ස්නානයෙන් පසුවය. එලෙස පිරිසිදු වී ඇය තම පෙම්වතාට රාත්‍රියේ එනම් අන්ධකාරයේ හෝ කාටත් හොරා තමා වෙතට එන ලෙසට කරන්නා වූ ආරාධනයක් මෙහි දැක්වේ.  " මං කවුළුව හැර තබාවි  ඇය සේද පලස එලාවී  පිනිබිංදු බිමට වැටේවි  මුතුමැණික් වගේ පෙනේවි"    නමුත් මේ පුරුෂයාට ඔහුගේ හද මන්දිරයට මේ පෙම්වන්තියව වද්දගත හැක්කෙ කවුළු දොරකින් පමණි. මක්නිසාද ඔහු විවාහක බැවිනි. නමුත් මේ ස්ත්‍රිය එලෙස නොවේ. මේ පුරුෂයාව තම ආත්මයම කරගෙන ජීවත් වෙයි. ඔහු කවුළුවකින් ඇය හොර රහසේ තමා වෙතට ගත්තද ඇය ඔහුට සේදපලස එලයි.  එනම් තම හද මන්දිරයේ අයිතිය හා රාජ්‍යත්වය ඔහු නමට පවරයි. මෙහි  ඇති පිනිබිංදු යන්න ඉතා උචිත සංකේතයකි. රාත්‍රී අන්ධකාරයත් සමඟ හටගෙන සූර්‍යාලෝකයේ පතිත වීමත් සමඟ මියෙන මේ පිනිබිංදු මොවුන්ගේ ප්‍රේමය වැන්න. එනම් බිරිඳක් ඉදිරියේ මියැදෙන පැවැත්මක් නැති මේ බැඳීම ද එබඳු අස්ථිර දෙයකි. නමුත් ඔවුන්ට එම අස්ථිර පුංචි හැඟීම පවා මුතුමැණික් තරම් වටිනේය. අගනේය. මොහුගේ ආදරය සෙනෙහසට කොයිතරම් ලොබ වීද, ලොල් වීද යත් පැවැත්මක් නැති හැඟීමක් මහාමෙරක් සේ තුරුළුකර ගැනීමට තරම් මේ ගෑනුහිත අසරණ වී ඇත. "කළු වළාකුළක් ඇදේවි  සඳ මුහුණ මුවා කරාවි  මට හොඳට ම දුක හිතේවි  රෑ එළිවෙනකං අඬාවි"  වළාකුළ දූතයෙක් බඳුය. අතීතයේද එබඳු දූත කාර්‍යන්ට වළාකුළ භාවිත වී තිබේ. නමුත් මේ ඇදෙන්නෙ කළුවළාවකි.එනම් මහා අනෝරා වැස්සක පෙරනිමිත්තකි. මෙය මොවුන්ගේ රහසිගත සංවාසයෙහි ඉඟියක් බිරිඳ වෙත සංක්‍රමණය වන අවස්ථාවක් ලෙස ගත හැකිය. එවැනි අවස්ථාවක පුරුෂයා අසරණ වන්නේ ය. නමුත් පෙම්වතියට එලෙස ඔහු අසරණ කිරීමට අවශ්‍ය නැත. ඇය ඇයට අයිතිනැති බව දන්නා නිසා ම හෝ පුරුෂයාට ඇති ස්නේහය හෝ පරිත්‍යාගශීලීත්වය හෝ නිසා එබඳු දවසක මුවා වී සිටී. කළු වලාවකට සඳ ගිලගැනීමට හැකිය නමුත් මොහොතකට පමණි. සඳෙහි අගය සඳ ඇතිදාට දැනෙයි. නැතිදාට වඩා තීව්‍ර ලෙස දැනෙයි. අවසන් පද පේළි දෙක කිසියම් රැඩිකල් ස්වභාවයක් ගනී. බොහෝ කව් ගීතයන්හි ස්ත්‍රිය හඬා වැළපුණද, පුරුෂයා එලෙස නොකරයි. නමුත් මෙම රචකයා පිරිමි ඇස්වලත් කඳුළු ඇතිබව පසක් කරමින් එහෙම ඈ නොමැති දාක දැනෙන දුක ඇස් අගට තුරුළුවන බව අකුරු කරයි. මෙය ප්‍රේමය ශෘංගාරය ඇති ගීතයක් වුවත් මෙහි ඇත්තේ සරල රේඛීය ප්‍රේමයක් නොව තුන්කොන් පෙමක අතරමං වී දෝලනය වන පෙම්කතාවකි. අතැඟිලි බැඳී හදවත් නොබැඳුණු කුටුම්බයක් හා අතැඟිලි නොබැඳී හදවතින් ම බැඳී සිටින පෙම් යුවළකගේ කතාවක් මෙහි ඇති බව වැටහේ. ඒ ද්විත්ව බන්ධනයට ම පොදු සාධකය වී ඇත්තෙ පුරුෂයා ය. එනිසා එය තුන්කොන් පෙමක් වී තිබේ. නමුත් නොවැටහෙන කරුණ නම් මෙබඳු ගීතයක් මංගල ජවනිකාවක පසුබිම් සංගීත වාදනය ලෙස යෙදීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක් ද කියා ය. සමහරවිට මෙම ගීතයෙහි අර්ථකථනය වෙනත් ආකාරයකින් උකහාගත් අයවලුන් සිටින නිසා විය හැකි ය. නමුත් තවමත් මම එවැනි අර්ථයක් මෙයින් ගළපා ගැනීමට තරම් අපොහොසත් වීමී. "සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි මං කවුළුව හැර තබාවි ඇය සේළ පලස එළාවි පිනි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගෙ මනාලි කළු වලාකුළක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හොඳටම දුක හිතේවි රෑ එළි වෙනකන් හඬාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි"

NEWS

හඬ මත පැටළුණු අකුරු | 62 වන දිගහැරුම

  • Date: 2022-02-05