Blog



මාරම්බරී... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී… ආ..... ආ..... ආ..... හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි ප නි රි ස ස ග ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී ගායනය - එඩ්වඩ් ජයකොඩි සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - කුමාරදාස සපුතන්ත්රි විසල් විශ්වයේ සියලු සත්ත්වයන් හඳුනාගත් එක ම භාෂාවක් වේ ද, එනම් සංගීතය යි. උත්තර භාරතීය සහ කර්ණාටක සංගීතයේ ආභාෂය තුළින් පෝෂණය වූ හෙළ සුභාවිත ගීය අපගේ සිත් නිවා දමන්නේ නිරායාසයෙනි. මේ අයුරින් උත්තර භාරතීය ඝසල් සංගීතයේ ආභාසය ලබමින් උපදින ‘මාරම්බරී’ නම් ගීතය ගෘංගාර රසය තීව්ර කරන මනරම් ගීයකි. 'තිලක් කාමෝද්' නම් හින්දුස්තානී රාගය ආශ්රය කරගනිමින් රෝහණ වීරසිංහයන්ගේ ගී තනු නිර්මාණයට අදාළව කුමාරදාස සපුතන්ත්රිගේ අරුත්බර පද රචනයෙන් තැනූ මේ ගීතය එඩිවඩ් ජයකොඩි සූරීන්ගේ විශිෂ්ට හඬ පෞර්ෂයයෙන් ඒකාලෝක විය. එසේ ම ගීතයේ අන්තරා කොටසෙහි අවදි වන ආලාප් කොටස හා සර්ගම් ගායනය තුළ එක් වන රසය ඉතා විශිෂ්ට ය. එසේ ම ගීතයේ සංගීත ඛණ්ඩ අතර දීප්තිමත් වන ආකර්ෂණීය තබ්ලා වාදනය සහ මිහිරි බටනලා හඬ ශ්රාවක සිත එක්තරා දැහැනක රඳවයි. මේ අයුරින් අලංකෘත වූ මාරම්බරී නම් අග්රගණ්ය ගීතය අර්ථ රසයෙන් ද අනූන ගීයකි. ‘මාරම්බරී...’ පුරුෂයෙකු විසින් කාන්තාවකට කරන ප්රේමණීය ඇමතුම් අප්රමාණ ය. බොහෝ විට මේ අනේකවිධ ආමන්ත්රණ මඟන් ඇයගේ ගතිගුණ, රූපශ්රීය හෝ කාන්තා ලාලිත්ය යනාදිය ගැබ්ව පවතී. කාන්තාවකගේ රූ සොබාව ගැන කතා කරන විට දිව්ය අප්සරාවන්ට උපමා කිරීම කාව්ය ලෝකයේ බහුලව සිදුවන්නකි. දෙවඟනන් අතර වඩාත් රූමත් ම දෙවඟනගේ නමින් තම ප්රියම්බිකාව ආමන්ත්රණය කිරීම තරම් ඇගේ හිත සතුටු කරවන තවත් ප්රේමණීය ඇමතුමක් නොමැති තරම් ය. ඇය නම් ‘රම්භා දේවිය’ යි. මේ රම්භා දේවිය ‘රම්බරී’ ලෙස ද හඳුන්වයි. තමන්ගේ ප්රේමවන්තියව රම්භා දේවියට සම කරමින් ඇගේ රූපශ්රීය ඇගයීම මේ මියුරු ශෘංගාරාත්මක ගීතය තුළ දක්නට ලැබේ. මෙහි මාරම්බරී (මා + රම්බරී) යන පදයේ සත්ය ආකාරය මා රම්බරී වුවත් ගායනයේ රිද්මය පවත්වා ගනු පිණිස එය මාරම්බරී ලෙස තනි පදයක් ලෙස ගයයි. ගීතයෙන් නිරූපණය වන ශෘංගාර රසය උපරිම විඳ ගැනීමට නම්, ගීතය තුළ තැනින් තැන යෙදෙන ‘මාරම්බරී’ යන පදයේ අරුත නිවැරදිව දැන තිබීම වැදගත් වේ. මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී කෝල බව, සබකෝලය යන ලක්ෂණ හිමි ඔබගේ සිනහාව පෙම්වතා උමතු කරවන බව මෙයින් දැක්වේ. එවැනි සුන්දර සිනාවක සහ රූපයක හිමිකාරිය වූ මාරම්බරිය සැබෑ පින්වතියකි. එනම් ආකර්ෂණීය රූ සොබාවක් ලැබීමට පෙර භවයේ පින් කර තිබිය යුතු වේ. හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා... මෙලෙස මනස්කාන්ත රුවකින් හෙබි තම පෙම්වතිය කෙරෙහි ඇති වන හැඟීම් දැනවීම සඳහා රචකයා අපූරු අවස්ථාවක් ගෙන හැර දක්වා තිබේ. "හිතේ භෘංග සේනා කිපී රොන් මතින්" බඹර සේනාවක් නොසන්සුන්ව රොන් සොයා යෑම මින් පිළිබිඹු වේ. මෙහි දී ප්රේමයේ උන්මාදයෙන් නො සන්සුන්ව නැඟී එන සිතුවිලි කිපුණු බඹරුන් රංචුවකට සම කර තිබේ. එමඟින් අදහස් වන්නේ ප්රේමයේ උන්මාදය තමාගේ සිතුවිලි මඟින් නො සන්සුන්ව නැඟෙන බවයි. අප දන්නා අයුරින් බඹර රෑන් මල් පැණි සොයා යයි. නමුත් මේ සිතුවිලි නම් භෘංග සේනාව කෝපයෙන් මෙන් නො ඉවසිල්ලෙන් නුඹේ මුව නැමති මලෙහි රොන් ගැනීම පිණිස පියඹා එයි. නුඹේ මුවෙහි පිරි රොනින් මේ බඹරුන්ගේ රොන් පිපාසාව නිවාලන්න යැයි පෙම්වතා මාරම්බරිය වන් තම පෙම්වතියගෙන් අයදිනු ලබයි. ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ... නිමක් නැතිව මගේ සිත තුළින් නැගෙන මගේ හිතට වද දෙන නුඹේ රුව ලබා ගැනීමට පවතින චිත්ත පීඩාව නුඹේ ඇස්වලින් ගලන රන් කැළුම්වලින් නිවාලනු මැනවි. චන්ද්රයා සේ රැස් විහිඳුවා හදවතේ නැඟෙන ගින්න සඳ සිසිලසින් නහවන ලෙස කරන අයැදීමක් මේ පද කිහිපය තුළ දක්වා තිබේ. මාරම්බරී ගීතය පුරාවට ම රචකයා යොදා ඇති භාෂාව පැරණි සංදේශ සහ ප්රශස්ති කාව්යවල භාෂාවට තරමක් සමාන වේ. පදවලින් මෙන් ම පදවලට ජීවයක් ලබා දෙන උත්තර භාරතීය රාගධාරී සංගීතයේ මුසුවත් සමඟින් මේ ගීතයෙන් ඉස්මතු කරන මාරම්බරියගේ සුන්දරත්වය මැනවින් තීව්ර කර දක්වයි. ගැඹුරු අර්ථ රසයකට මෙන් ම ශබ්ද රසයකට ද හිමිකම් කියන මාරම්බරී ගීතය එදා මෙදා තුර අපේ හද තුළ ලැඟුම් ගත් මියුරු ගීතයකි.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 63 වන දිගහැරුම

  • Date: 2022-02-07