Blog



ගීතය ආත්මය සුවපත් කරයි. හැල්මේ ගලායන ජීවිතයේ ගිමන නිවාලයි. භාවපූර්ණ වූ හඬකින් සුගැයෙන ගීතය යුග යුග කාලාන්තරයක් පුරාවට වාතලය තුළ රැව් නැගෙයි. එවන් වූ අපූර්වතම භාවපූර්ණ හඬ පෞරුෂයක දිවිසැරිය නිමාවීම පසුගිය පෙබරවාරි 6 වැනි දින සිදු විය. ඇය නමින් ලතා මංගේශ්කර් නම් වූවා ය. ඉන්දියානු ජාතිකයෙකු ලෙසින් උපත ලද ඇය සමස්ත ලෝකවාසීන්ම තම අද්විතීය හඬ පෞරුෂයෙන් නැළවූ කලාකාරිනියක ලෙස හැඳින්වීම වඩාත් උචිත ය. ස්ත්‍රීන් දැඩි සමාජ යදම්වලින් බැඳ තබන පෙරදිග ලෝකය තුළ උපන් කාන්තාවක වුව ද, ඇය තමා අබිමුවට පැමිණි බාධක මැඬලමින් සමස්ත ලෝකයක් ජයගත් කාන්තාවක් වූවා ය. භාරතයේ ඉන්දෝර් පෙදෙසේ (මධ්‍ය ප්‍රදේශ්) සරස්වත් නම් බ්‍රාහ්මණ කුලයට අයත් මහාරාෂ්ට්‍රී පවුලක, සංගීත පසුබිමකින් හෙබි පවුලක ඇය උපත ලැබුවා ය. ඒ වර්ෂ 1929 සැප්තැම්බර් 28 වන දින ය. පණ්ඩිත් දීනනාත් මංගේශ්කර් සහ ශේවන්ති මහත්මියගේ වැඩිමහල් දියණිය ලෙසින් උපත ලද ඇයට මීනා, ආශා, ඌෂා සහ හෘදයනාත් ලෙසින් බාල සොයුරු සොයුරියෝ වූහ. උපන් නාමය හේමා මංගේෂ්කාර් වූ නමුත්, පසුව තම පියා නිෂ්පාදනය කළ මරාඨී වේදිකා නාට්‍යයක චරිතයක් ඇසුරින් ඇයට ලතා යන නාමය තැබිණි. වර්ෂ 1942දී, එනම් ඇයට වයස අවුරුදු දහතුනක් වන විට පිය සෙනෙහස අහිමි වීමේ දුක දරා ගැන්මට සිදුවිණි. ඇය කිසිදා පාසල් අධ්‍යාපනය ලැබුවේ නැත. එහෙත් විධිමත් අධ්‍යාපනය ලද අයකුගේවත් නොදැකිය හැකි තරමේ කුසලතාවයක් සහ නිහතමානී අව්‍යාජත්වයක් ඇය කෙරෙන් දිස්විය. ජීවිතය බාධක කම්කටොළු නම් ගල්කුළු මැදින් ගලන ගඟක් මෙන් වන්නේ ය. ගලායන අතරතුර ගමන කොතෙක් දුෂ්කර වුව ද අවසානයේ හැරී බැලූ විට සුන්දර මතක රාශියක් ඉතිරි වී තිබේ. පියාගේ අභාවයෙන් නොයෙක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවූ සිය පවුල එම දුෂ්කරතාවන්ගෙන් මුදාගැනීමේ අරමුණ ඇතිව වැඩිමහලු දැරියකව සිටි ලතා, මුදල් සෙවීමේ අරමුණින් හින්දි සහ මරාඨි සිනමාපටවලට රංගනයෙන් දායකවීමට ඉටාගත්තා ය. පෙහ්ලී මංගල ගෝර්, මාස් බාල්, ජීවන් යාත්‍රා, ඡත්‍රපතී ශිවාජී වැනි සිනමාපටවලට ඇය නිළියක ලෙසින් දායක වූවා ය. සිනමාපටවලට ගීත ගායනයෙන් දායක වීමට ගිය බොහෝ අවස්ථාවලදී ඇය ඉන් ප්‍රතික්ෂේප විය. කෙසේ වුවද තැලෙන වාර ප්‍රමාණය මත යකඩ මුවහත් වන්නාක් මෙන් එම ප්‍රතික්ෂේපවීම් ඇය තම ශක්තිය කරගත්තා ය. පසුව උස්තාද් අමන් අලි ඛාන්ගේ සංගීතය උගත්‍ යොවුන් ලතා 1943දී 'ගජභාවූ' සිනමාපටයට සිය පළමු හින්දි ගීතය ගායනා කළා ය. මේ අවධිය තුළදී ප්‍රකට ඉන්දීය සංගීත අධ්‍යක්ෂවරයකු වූ ගුලාම් හයිදර්ගේ ඇසුර ඇයට ලැබුණු අතර එය ඇයගේ සංගීත දිවිය වඩාත් ශාස්ත්‍රීය හා හරවත් කිරීමට හේතු විය. හයිදර් මහතාගේ මගපෙන්වීම යටතේ වර්ෂ 1948 දී 'මජ්බූර්' සිනමාපටය සඳහා ඇය 'දිල් මෙරා තෝඩා' නම් ගීතය ගායනා කළ අතර එය භාරතීය සිනමා ක්ෂේත්‍රය තුළ ඇයගේ අනන්‍යතාවය ලකුණු කිරීමට උපකාර කළ ගීතය විය. පසුව 1949දී ජනප්‍රිය රංගන ශිල්පිනි මධුබාලාට හඬ දෙමින් 'මහල්' චිත්‍රපටය වෙනුවෙන් ඇය 'ආයේගා ආනේවාලා' ගීතය ගායනා කළ අතර එය එවක භාරතය පුරා ජනප්‍රිය වූයේ ඇය කළා වූ කැප කිරීම්වලට වටිනාකමක් ලබා දෙමිනි. එස්.ඩී. බර්මන්, රාහුල් දේව් බර්මන්, සලීල් චෞද්‍රී, ශංකර් ජයිකිශන්, නෞෂාද් , මදන් මෝහන්, පණ්ඩිත් අමර්නාත් හුසන්ලාල්, ලක්ෂ්මිකාන්ත්-ප්‍යාරේලාල් ආදි වූ ක්ෂේත්‍රයේ පරිණතයින්ගේ ඇසුර ඇයගේ සංගීත දිවිය ප්‍රභාවත් කිරීමට හේතු විය. දශක හතක් පුරාවට ගී ලොව කිරුළු පැළඳි ඇය භාෂා 36 කින් ගීත තිස් දහසක් පමණ ගායනා කළ අද්විතීය ගණයේ කලාකාරිනියක විය. ඒ හේතුව නිසාවෙන්ම ඇය ගිනස් වාර්තා පොතට ද ඇතුළත් විය. වර්ෂ 1955දී තිරගත වූ පී.සෝමසේකරන් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සැඩ සුළං' චිත්‍රපටියෙහි 'ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි' යන සිංහල ගීතය ගායනා කරමින් ඇය මෙරට රසික හදවත් ඇද බැඳගන්නට සමත් විය. කැපවීමත් නොපසුබට උත්සාහයත් පෙරදැරිව සංගීත ගමන් මඟ ආරම්භ කළ ඇය ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් 1969 දී පිදුම් ලැබුවා ය. එමෙන්ම භාරත රත්න සම්මානයෙන් ද (2001දී), පද්ම විභූෂණ සම්මානයෙන් ද, ෆිල්ම්ෆෙයාර් සම්මාන 7 වතාවක් ද ජාතික සිනමා සම්මාන සිව් වතාවක් ද, බෙංගාලි ජනමාධ්‍ය සංගම් සම්මාන 14 වතාවක් ද, මහාරාෂ්ට්‍ර සිනමා සම්මාන පස්වතාවක් ද ආදී වශයෙන් සම්මාන 81න් පිදුම් ලබා ඇති අතර 98 වතාවක් සම්මාන සඳහා නිර්දේශ වී ඇත. එලෙසම ඉන්දියාවේ ශිවාජි විශ්වවිද්‍යාලය, කෝල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිදරාබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේශ්කර් ගායනවේදිනියට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම මෙන්ම, බලපෑම් සහගතම ගායිකාව ලෙස සැලකෙන ඇය රසික හදවත් තුළ අමරණීය වූ චරිතයකි. දශක හතක් පුරා දිවෙන දිගු වෘත්තීය ජීවිතය තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට කළ සේවය නිසාවෙන් ඇයට Nightingale of India සහ Queen of Melody වැනි ගෞරව නාමයන් පවා හිමි විය. ලතා මංගේශ්කර් මහත්මියගේ අභාවය පිළිබඳ ශෝකයට පත් ඉන්දියානු සංගීතඥ ඒ.ආර්. රහ්මාන් මහතා පවසනුයේ "නැති වී තිබෙන්නේ ලතා මංගේශ්කර් කියන ගායිකාව විතරක් නෙවෙයි ඉන්දියානු ආත්මය, ඉන්දියානු උර්දු කවිය ඉන්දියාවට මේක ආත්මීය අහිමිවීමක්!" බව ය. ආත්මීය අහිමිවීමක් අප තුළ ඇති කරන හිඩැස පිරවීම අසීරුවන්නකි. දශක හතක් පුරාවට ලියැවුණු මංගේශ්කර් පුරාවෘත්තය නිමාකරමින් දිවි සැරියෙන් සමුගත්ත ද ඇය තැබූ සළකුණ සදාකල්හි මේ වා තලය මත රැඳෙනු නිසැක ය. දශක හතක භාරත ස්වර සප්තකයේ සුගායනිය, ලතා ජී! විශ්වයේ ගායන විස්මිතිය ඔබට සුබ ගමන්!

NEWS

🏳️ කොවුල් ගී සර නිහඬ විය... (1929-2022)

  • Date: 2022-02-08