Blog



කමලාසනී ගායනය: පී.වී. නන්දසිරි සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න ගී පද: ධර්මසිරි ගමගේ ඕම් නමඃ ශිවාය ඕම් නමඃ ශිවාය ඕම් දේවි පාර්වතී නමාය! ආදරයට දේවත්වයක් ආරෝපණය කරපු ගීත රාශියක් මැද දේවත්වයේ ආදරය ගැන කියපු පද රචනයක්... ආදරයට ලයාන්විත බව ම ආරෝපණය කරපු ගීත රාශියක් මැද විරාගී රාගයක ප්‍රියාන්විත බව මුහු කරපු තනු රචනයක්... කමලාසිනී... ධර්මසිරි ගමගේ නම් අපූර්ව ගී පද රචකයාගේ පද රචනය, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න නම් සොඳුරු තනු නිර්මාපකයාගේ තනුවෙන් සංගීතවත් වී සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාගේ කටහඬින් සුගායනය කෙරෙන "හිතක පිපුණු මල්" චිත්‍රපටය සඳහා නිර්මාණය වුණු සොඳුරු ගීත අතර එක් මනරම් ගීතයක් ලෙස "කමලාසනී" හැඳින්විය හැක. " කමලාසනී වන්දනී කරුණා විලාසී ජය දේවී...! ගයනී කලා මධුරී ප්‍රියභාෂණී වීණා ධාරී...! භාග්‍යනී ප්‍රභා ධරණී රඝු රංගනී ශෝභා දේවී...! පුෂ්පාංජලී කූජනී ජනනී ජනානී...! කමලාසනී කමලාසනී... රාගී... ජයවේ...! කමලාසනී..." ඉතා ලුහුඬින් තනි වචන භාවිත කරමින්, යමකුගේ ගති ලක්ෂණ, චරිත ලක්ෂණ ගෙන හැර දැක්වීමෙහිලා පද රචකයා සතු වූ ප්‍රතිභාව ඉහත කෙටි පද ඛණ්ඩ දැකීමේදී පැහැදිලි වේ. කරුණා විලාසී, ජය දේවී, වන්දනී, ගයනී, කලා මධුරී, ප්‍රියභාෂණී යනාදී වචනවලින් දිව්‍යාගනාවකගේ ලාලිත්‍යයත්, ප්‍රභා ධරණී, රඝු රංගනී යනාදී වචන වලින් උත්තම කාන්තාවකගේ ප්‍රභාවත්, ශක්තියත්, ජනනී ජානනී යන උතුම් වචනවලින් මුළු ලෝකයේම උත්තම මාතෘත්වයත් පිළිබිඹු කරයි. මෙය කවුරුන් විසින් තම සෙනෙහස ඒ උතුම් කාන්තාව වෙනුවෙන් ගායනා කරන්⁣නේද යන්න ප්‍රශ්නාර්ථයක් නො වන්නට ගීතයේ මැද තැනින් තැන ඇහෙන "ශිව තාණ්ඩවය" වගකියනු ලබයි. ශිව දෙවියන්ගේ ප්‍රභා වර්ණනාව ගීතයට අමුතුම රසයක් ගෙන එන්නට සමත්ව ඇති අයුරු අපූරු ය. "ජඨාඨවී ජලහ් ජලහ් - ප්‍රභාහ පා විතක් තලේ ජලේව ලම්භිලම්භිතා - තුජංග තුංග මාලිනාහ්" හංසධ්වනි රාගයෙන් නිර්මිත මේ සරල ශාස්ත්‍රීය ගීතය සඳහා ඛ්‍යාල් ගායන ශෛලියේ ඇතැම් ශිල්ප ක්‍රම සීරුවෙන් යොදාගෙන තිබෙන බව දක්නට හැකි යි. තනු නිර්මාණයේදී මෙන් ම උත්තර භාරතීය සංගීත භාණ්ඩ වාදනයේදී ද වාදන ස්වර ඛණ්ඩ හා නාද කාණ්ඩයන් ගායනයේදී ද ගීතයට අමුතුම රසයක් එකතු කරන්නේ ගීතයේ මධූර්ත්වය සුර ලොවට තවත් ළං කරමිනි. "ග--/ගපගපගප /රිගරි-/ගපග-/ පනිප-/ සගරි-/ සගරි-/" හංසධ්වනි රාගයේ සුබාවිත ස්වර සංගතිත් "ධ තිරිකිට තක තක තිරිකිට තක // තිරිකිට ත ධිං ධි නක //" වන් වචන සමඟ එක්ව දිවෙන තබ්ලා තාල පදත් ඊට ම නිදසුන් ලෙස සිටියි. වරෙක දේව ලක්ෂ්මි ලෙසින් මිහිකත නලවාලූ, සදාතනික ශිව දෙවියන්ගේ පෙම්වතිය, පාර්වතිය වූ, සංගීතයට අධිපතිනිය ලෙසින් සුදු නෙළුම පිට හිඳ මියුරු තත් අතින් වයන උතුම් "සරස්වතී" දෙවඟන වෙත ම යොමු වූ ගෞරවයෙන් භක්තියෙන් යුතුව එසේනම් අහන්න; විඳින්න; වන්දනා කරන්න; ආදරයේ දේව ගීතය... දේවත්වයේ ආදර ගීතය... කමලාසනී

NEWS

හඬ මත පැටළුණු අකුරු | 64 වන දිගහැරුම

  • Date: 2022-02-10