Blog



චාමර ප්‍රනාන්දු අයියාගෙ මිහිරි ගායනයෙන් රසවත් ව විඳි "පෙති ගෝමර" ගීතය මගේ දෑසින් දුටුව වදනින් කවි කරා. කවියේ හැඳින්වීම සමඟ =================== නෙතු වසා මග අවුරමින් පැතිරෙන අඳුරකින් පිරි කළු වලා අසෙනියේ ඇද හැලෙන දිය බිඳු නොවෙද කඳුළැලි සේ සලා දිලෙන රන්හුය සිඳෙන වග පෙර නිමිති නොපෙනෙ ද නොවලහා මුරුගසන් වැහි වැටෙන සේ දිවි දෙපළු කර අකුණින් පෙළා... මේ කවියෙන් කියැවෙන පරිදි කවුරුන් හෝ ගැන හිත තුළ සඟවා ගත් බලාපොරොත්තුවකින් බලා සිටින දෑස් හෙමි හෙමින් බොඳවන අයුරින් රූප බොඳවනවා. ඒ බොඳවන දෑස්වලින් අසෙනි වර්ෂාවකට එනම් දරාගත නොහැකි දුකකට පත්ව හඬා වැළපෙන දෑසින් කඳුලු ගලාගෙන යනවා. ඒ කඳුළු අතරින් ඔහුට දැනෙන්නේ තමා හා දෑත් එක් කරමින් බැඳි රන්හුය සිඳී බිඳී තමා ආදරය කර විවාහ කර ගත් තම සොඳුරු තරුණ බිරිඳ තමාගෙන් දුරස් ව ඇති බව යි. එය මුරුගසන් වර්ෂාවකදී ලෝක විනාශය අත ළඟ බව කියමින් මහා හඬක් ව ගිගිරුම් දෙන අකුණු හඬක් සේ තම හදවතට කෑගසන අයුරු මෙයින් මතුකර දක්වයි. පෑදි දිය මත දිස්න දෙන පාවෙනා නිල් මල් කටරොඩු විසිර සිතිවිලි ගොන්නක සුවැති යහනට නිගාදෙන පතිවත පෙළු තෙමන තොල් මත තියුණු බැල්මන් නොවෙද ඇති විසිරී සළු තුරුණු හිත මත තැබූ ප්‍රේමෙක ගිනි වු හැඟුමින් නොම සලෙලු මම මෙතනදි පෑදි දිය ලෙස කියන්න උත්සාහ කළේ "පෑදි දිය" කියන්නේ බොහොම පැහැදිලි දියක්. බාධා කම්කටොලුවලින් තොර ප්‍රේම සබඳතාවයකින් අනතුරුව විවාහ දිවියට එළැඹි මේ දෙදෙනාගේ අඹුසැමි සබඳතාවය ඉතා පැහැදිලි අයුරින් ආරම්භ වූ බව යි. නිල් කටරොඩු මලකින් උපමා කරේ නැවුම් යුවතියකට. මේ සුන්දර යුවතිය හා පෙමින් බැඳුණු ඒ සබඳතාවය කාලයත් සමග ඒ අඹුසැමි සබඳතාවය පැවැත්වූ යහන මත ම ප්‍රශ්න රාශියකට මග පාදා ඇති බව යි. දැන් ඒ ආදරයෙන් වෙලුණු යහනේ දෙදෙනා අඬ දබර කරගනිමින් කිසිදු ආදරයකින් තොරව රැය ගෙවන බව යි. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම සුන්දර තරුණ බිරිඳ තව කෙනෙක් හා පෙමින් වෙලී ඒ අනියම් ඇසුර ඉතා දුරදිග ගොස් ඇති බව සැමියාට ආරංචි වීම යි. මේ නිසා දෙදෙනා අතර ප්‍රශ්න දුරදිග යාමෙන් බිරිඳ නිවස අතැර යනවා. නෙතු වසා මග අවුරමින් හමන නල තතු ඉහිලුම් සඟව තෙත රැඳි ලෙසට ගත දැනුණූ තණ මත නොරැඳි සේ හෙමින් ගිලිහෙන නුඹේ ආලය පිණි බිඳූ හොවා ළය මත සතපවා සනසමින් නිදිවරන කිරි බිඳු ඉහිරුණූ මවුනි දී දායාද පත්තිනි රැකේවා කිරි සිහින මවු ඇකෙන් ගිලිහුණූ. මේ බව දැනගන්නා ලෝකයා මේ තරුණ සැමියා හා මෙතුවක් නොකී කිරිකැටියා ගැන දුක් වෙන හැඟීම තමා මේ හමන නල තතු ඉහිලුම් සඟව තෙත රැඳි ලෙසට...හමන නල ලෙස මම උපමා කරේ ලෝකයා. මොකද සුළඟත් ලෝකය වටේ ම යනවා. 'තෙත රැදි තතු' යනු ඔවුන් වෙනුවෙන් අනිත් අය හෙළන කඳුළට. මේ කිරි කැටියා නිදිවරමින් කිරි ඉල්ලා හඬනවා. මෙහිදී තාත්තා පිටිකිරි දුන්නත් ළදරුවා එය ප්‍රතික්ෂේප කිරීම තමා ඉහිරුණූ කිරි බිඳු යන්නට සමාන කළේ. ඉතින් මේ අසරණ වන පියා අන්තිමට දෙවියන්ගෙ පිහිට යදිනවා මවු උණුහුම ලැබෙන්න පෙර මවගේ ඇකයෙන් ගිලිහුණූ තම කිරිකැටියා රැක ගන්නා ලෙසට.

NEWS

විභව Unframed | Episode 50 | බැඳුණු අතැඟිලි මත ශේෂ සැමරුම්

  • Date: 2022-02-11