Blog



එක් රාධා එක් මීරා ගායනය: ලතා මංගේශ්කර් සංගීතය: රවීන්ද්‍ර ජෑන් ගී පද: රවීන්ද්‍ර ජෑන් චිත්‍රපටය: රාම් තේරී ගංගා මේලී (1985) පසුගිය පෙබරවාරි 06වෙනිදා භාරත දේශයට පමණක් නෙමෙයි හින්දි සිනමාවට ඇලුම් කරන, ලොවේ සියලු දේශයන්ට දුක්බර දිනයක් වුණා. ඒ සප්ත ස්වරයේ අධිරාජිනිය ලෙසින් විරුදාවලිය දැරූ, භාරත රත්න නාමයෙන් ගෞරව බුහුමන් ලැබූ ජ්‍යෙෂ්ඨ ගායිකා ලතා මංගේශ්කර් මහත්මිය සිය ජීවන ගීතය ගයා අවසන් කළ නිසාවෙන්. දශක හතක් පුරාවට භාෂා 36 කින් ගී ගයා ලොවක් නැළවූ ඇගේ වියෝව ඇගේ රසිකයින්ට දරාගත නොහැකි කණස්සල්ලක් වුණා. ඉතින් හිතේ නැගුණු කණස්සල්ල සමගින්ම අද මම ඔබට ලියන්නේ ඇය ගැයූ මිහිරි ගීතයක තතු පිළිබඳවයි. ගීතය අඩංගු වෙන්නෙ 'රාම් තේරී ගංගා මේ ලී' නම් වූ චිත්‍රපටියෙ. එහි සිංහල අරුත වෙන්නෙ 'රාම් නුඹේ ගංගා කිලිටි වූවා' යන්නයි. චිත්‍රපටිය තිරගත වුණේ 1985 අවුරුද්දෙ ජූලි මාසෙ 25 වෙනිදා. මේ චිත්‍රපටියෙ රඟපෑවා රාජීව් කපූර්, මන්දාකිනී, දිව්‍යා රාණා, සඊද් ජාෆ්රී, කුල්භූෂණ් ඛර්බංදා කියන නළු - නිළි පිරිස. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ බොලිවුඩ් නළු රාජ් කපූර් විසින්. ඒ වගේම චිත්‍රපටිය නිෂ්පාදනය කළේ රාජ් කපූර්ගේ පුත්‍රයෙක් වුණු රණ්ධීර් කපූර්. (වත්මනයේ බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙක් වන කරිශ්මා කපූර් සහ කරීනා කපූර්ගේ පියා) මේ චිත්‍රපටියට මන්දාකිනී රංගන ශිල්පිනිය තෝරාගැනීමට පෙර එවකට ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානු වැසියන් අතර අතිශය ජනප්‍රියව සිටි සබීතා පෙරේරා මහත්මිය තෝරාගැනීමට සූදානම් වූ බවත් එවකට සමහර මාධ්‍ය වලින් තොරතුරු පැතිරුණා. මම අද අරුත් පැහැදිළි කරන ගීතයේ නම වෙන්නෙ 'එක් රාධා එක් මීරා...' කියන ගීතය. මේ ගීතය මේ චිත්‍රපටියට එකතු වීම පිටිපස්සෙ අපූරු කතාවක් තියෙනවා. චිත්‍රපටිය නිර්මාණය කරන්න සූදානම්ව ඉන්න කාලයෙ චිත්‍රපටිය අධ්‍යක්ෂක සහ නිෂ්පාදක දෙපල වුණු රාජ් කපූර්, රණ්ධීර් කපූර් දෙදෙනා (පියා සහ පුතා) එක්තරා විවාහ මංගල උත්සවයකට සහභාගී වෙනවා. මේ විවාහ මංගල උත්සවයෙ වේදිකාවක් මත රවින්ද්‍ර ජෑන් නැමති සංගීතඥයා අපූරු ගීතයක් ගයමින් ඉඳලා තියෙනවා. ඒ ගීතය තමයි 'එක් රාධා එක් මීරා...' මේ ගීතය අහපු ගමන් රාජ් කපූර් ගීතයට වශී වෙනවා. ඔහු රවින්ද්‍ර ජෑන් අසලට ගිහින් මෙහෙම අහනවා. "මේ සිංදුව මොන චිත්‍රපටියෙද?" එතකොට රවින්ද්‍ර ජෑන් මෙහෙම කියනවා. "මේ සිංදුව චිත්‍රපටියක සිංදුවක් නෙමෙයි. මගේ සිංදුවක්. සිංදුව ලිව්වෙත් මම. තනුව දැම්මෙත් මම" රවින්ද්‍ර ජෑන් ගේ පිළිතුරට ඇහුම්කන් දීපු ගමන්, රාජ් කපූර් රවින්ද්‍ර ජෑන්ට ආපහු මෙහෙම කියනවා. "මගේ ඊළඟ චිත්‍රපටියට මේ ගීතය මම ගන්නවා. ඔයා ඒ චිත්‍රපටියට තව සිංදු හදන්න ලෑස්ති වෙන්න. දැන් මම වෙනුවෙන් ආපහු මේ සිංදුව එක වතාවක් මේ වේදිකාවෙ ගයනවද යාළුවා?" රවින්ද්‍ර ජෑන් රාජ් කපූර්ගෙ ඉල්ලීම ඒ අවස්ථාවෙ ඉටු කරනවා. ඒ වගේම ඔහුගෙ 'එක් රාධා එක් මීරා...' ගීතය රාජ් කපූර්ගෙ 'රාම් තේරී ගංගා මේ ලී' චිත්‍රපටියට ලබා දෙනවා. 'එක් රාධා එක් මීරා...' ගීතයෙ අදහසට අනුව ගීතය ඇතුළෙ චරිත දෙකක් නිරූපණය වෙනවා. ඒ චරිත දෙක වෙන්නෙ රාධා සහ මීරා. රාධා සහ මීරා කියන්නෙ ක්‍රිෂ්ණ දෙවිඳුන් වෙනුවෙන් පෙම් බැඳි අපූරු කාන්තාවන් දෙදෙනෙක්. හැබැයි දෙදෙනාගේ පෙමෙහි ප්‍රබල වෙනස්කම් දෙකක් තියෙනවා. ඒ, රාධා ක්‍රිෂ්ණාට පෙම් කරන්නේ ක්‍රිෂ්ණාව හිමි කර ගැනීමටයි. නමුත් මීරා ක්‍රිෂ්ණාට පෙම් කරන්නේ වීතරාගී ලෙසින්. ආධ්‍යාත්මය තුළින් ක්‍රිෂ්ණට සමීප වීම ඇගේ අරමුණ වුණා. රාධා ක්‍රිෂ්ණාගේ පෙම්බරිය බව හින්දී සාහිත්‍ය තුළ ප්‍රකට කරුණක්. නමුත් හින්දි සාහිත්‍ය තුළ කතා කෙරෙන භක්තිකාලීන සාහිත්‍ය යුගයේ දී මීරා බාඊ හෙවත් මීරා ගැන කතා කරන්නේ රාධාට වඩා අතිශය ගෞරවාන්විතවයි. ඒ ඇය වීතරාගිකව, කිවිඳියක් ලෙසින්, බැති ගී ගයමින් ක්‍රිෂ්ණාව ආධ්‍යාත්මයෙන් පැතූ නිසයි. ක්‍රිෂ්ණාව මීරාට සමීප වූ ආකාරය පිළිබඳව ද හින්දී සාහිත්‍යයේ කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරයත් මම මෙතනදි සඳහන් කරන්න හිතුවා. මීරාගේ මිත්තණිය ක්‍රිෂ්ණ දෙවිඳුන් අදහපු තැනැත්තියක්. දවසක් මීරාගේ නිවස ඉදිරියෙන් මංගල පෙරහරක් ගමන් කරලා තියෙනවා. මේ මංගල පෙරහර දකින පුංචි මීරා තමන්ගෙ මිත්තණියගෙන් අහනවා "මගේ සැමියා කවුද?" කියලා. ඇගේ පැනයට මීරාගේ මිත්තණිය ලබා දෙන පිළිතුර අපූරු එකක් වෙනවා. "උඹේ සැමියා ක්‍රිෂ්ණා" ඒ මිත්තණිය දෙන පිළිතුර. එතැන් පටන් තමයි මීරා, ක්‍රිෂ්ණාව ආධ්‍යාත්මිකව හිමි කර ගන්නට අදිටන් කර ගන්නේ. 16 වෙනි සියවසේ මධ්‍යකාලීන රාජ්පූතානාහි කුඩ්කී ගම්මානයේ වාසය කරපු මීරාව, මථුරාවේ වෘන්දා වනයේ වාසය කරපු රාධාව හා ඔවුන්ගේ පෙම්බරා වූ ක්‍රිෂ්ණාව ගළපමින් රචනා වුණු මේ අපූරු ගීතය සහ එහි සිංහල අරුත දැන් ඔබ හොඳින් රසවිඳ බලන්න. ~ ගීතය ~ එක් රාධා, එක් මීරා දෝනෝ' නේ ශ්‍යාම් කෝ චාහා. අංතර් ක්‍යා දෝනෝ' කී චාහ මේ බෝලෝ අංතර් ක්‍යා දෝනෝ' කී චාහ මේ බෝලෝ එක් ප්‍රේම් දීවානී, එක් දරස දීවානී එක් ප්‍රේම් දීවානී, එක් දරස දීවානී එක් රාධා, එක් මීරා දෝනෝ' නේ ශ්‍යාම් කෝ චාහා. අංතර් ක්‍යා දෝනෝ' කී චාහ මේ බෝලෝ එක් ප්‍රේම් දීවානී, එක් දරස දීවානී රාධා නේ මධුබන් මේ ඪූංඪා මීරා නේ මන් මේ පායා රාධා ජිසේ ඛෝ බේ ඨී වෝ ගෝවින්ද් මීරා හාථ් බික් ආයා එක් මුරලී, එක් පායල් එක් පග්ලී, එක් ඝායල් අංතර් ක්‍යා දෝනෝ කී ප්‍රීත් මේ බෝලෝ අංතර් ක්‍යා දෝනෝ කී ප්‍රීත් මේ බෝලෝ එක් සූරත් ලුභානී, එක් මූරත් ලුභානී එක් සූරත් ලුභානී, එක් මූරත් ලුභානී එක් ප්‍රේම් දීවානී, එක් දරස් දීවානී මීරා කේ ප්‍රභු ගිරිධර් නාගර් රාධා කේ මන්මෝහන් ස ග ම ප ධ ප ධ ම ප රෙ ම ග ධ රෙ ස නි ධ රෙ රෙ ග ම ග ප ම ප ධ ප ස නී සා රෙ ආ... මීරා කේ ප්‍රභු ගිරිධර් නාගර් රාධා කේ මන්මෝහන් රාධා නිත් ශ්‍රිංගාර් කරේ, ඕ'ර් මීරා බන් ගයී ජෝගන් එක් රානී එක් දාසී, දෝනෝ හරි ප්‍රේම් කී ප්යාසී අංතර් ක්‍යා දෝනෝ කී ත්‍රිප්ති මේ බෝලෝ අංතර් ක්‍යා දෝනෝ කී ත්‍රිප්ති මේ බෝලෝ එක් ජීත් නා මානී, එක් හාර් නා මානී එක් ජීත් නා මානී, එක් හාර් නා මානී එක් රාධා, එක් මීරා දෝනෝ නේ ශ්‍යාම් කෝ චාහා. අංතර් ක්‍යා දෝනෝ කී චාහ මේ බෝලෝ අංතර් ක්‍යා දෝනෝ කී චාහ මේ බෝලෝ එක් ප්‍රේම් දීවානී, එක් දරස දීවානී එක් ප්‍රේම් දීවානී, එක් දරස දීවානී එක් ප්‍රේම් දීවානී...එක් දරස දීවානී ~ සිංහල අරුත ~ එක් තැනැත්තියක් රාධා. අනෙක් තැනැත්තිය මීරා. දෙදෙනාම ක්‍රිෂ්ණාට ඇලුම් කළා. දෙදෙනාගේ ඇල්මෙහි වෙනස පවසන්න. දෙදෙනාගේ ඇල්මෙහි වෙනස පවසන්න. එක් තැනැත්තියක් ප්‍රේමයෙන් උමතුයි. අනෙක් තැනැත්තිය දර්ශනයට උමතුයි. රාධා මධු වනයේ සෙව්වා. මීරා සිය සිත තුළ සෙව්වා. රාධා ක්‍රිෂ්ණාව අහිමි කර ගත් විට, මීරා ඔහුව හිමි කර ගත්තා එක් තැනැත්තියක් අත බටනලාවකි. එක් තැනැත්තියකගේ පාදයේ පා සලඹකි. එක් තැනැත්තියක් උමතුය. එක් තැනැත්තියක් රිදුම් ලබා ඇත. දෙදෙනාගේ පෙමෙහි වෙනස පවසන්න. දෙදෙනාගේ පෙමෙහි වෙනස පවසන්න. එක් තැනැත්තියක් සුන්දර මුහුණට ඇලුම් කරයි. එක් තැනැත්තියක් ප්‍රතිරූපයට ඇලුම් කරයි. එක් තැනැත්තියක් සුන්දර මුහුණට ඇලුම් කරයි. එක් තැනැත්තියක් ප්‍රතිරූපයට ඇලුම් කරයි. එක් තැනැත්තියක් ප්‍රේමයෙන් උමතුයි. අනෙක් තැනැත්තිය දර්ශනයට උමතුයි. මීරාගේ දෙවිඳුන් ක්‍රිෂ්ණා වේ. රාධාගේ පෙම්බරා ක්‍රිෂ්ණා වේ. ස ග ම ප ධ ප ධ ම ප රෙ ම ග ධ රෙ ස නි ධ රෙ රෙ ග ම ග ප ම ප ධ ප ස නී ස රෙ ආ... මීරාගේ දෙවිඳුන් ක්‍රිෂ්ණා වේ. රාධාගේ පෙම්බරා ක්‍රිෂ්ණා වේ. රාධා දිනපතා වත්සුණු තවරයි. මීරා තවුස්දම් පුරන්නියක් වූවා. එක් තැනැත්තියක් රැජිනකි. අනෙක් තැනැත්තිය දාසියකි. දෙදෙනාම ක්‍රිෂ්ණාගේ පෙමට පිපාසිතය. දෙදෙනාගේ තෘප්ත වීමේ වෙනස පවසන්න. දෙදෙනාගේ තෘප්ත වීමේ වෙනස පවසන්න. එක් තැනැත්තියක් දිනුම පිළිගත්තේ නැත. එක් තැනැත්තියක් පරාජය පිළිගත්තේ නැත. එක් තැනැත්තියක් දිනුම පිළිගත්තේ නැත. එක් තැනැත්තියක් පරාජය පිළිගත්තේ නැත. එක් තැනැත්තියක් රාධා. අනෙක් තැනැත්තිය මීරා. දෙදෙනාම ක්‍රිෂ්ණාට ඇලුම් කළා. දෙදෙනාගේ ඇල්මෙහි වෙනස පවසන්න. දෙදෙනාගේ ඇල්මෙහි වෙනස පවසන්න. එක් තැනැත්තියක් ප්‍රේමයෙන් උමතුයි. අනෙක් තැනැත්තිය දර්ශනයට උමතුයි. එක් තැනැත්තියක් ප්‍රේමයෙන් උමතුයි. අනෙක් තැනැත්තිය දර්ශනයට උමතුයි. එක් තැනැත්තියක් ප්‍රේමයෙන් උමතුයි. අනෙක් තැනැත්තිය දර්ශනයට උමතුයි. මේ ගීතය ලතා මංගේශ්කර් මහත්මියට ගැයීමට තරමක් අසීරු වුණ බව මම එක්තරා තැනකදි කියවා තියෙනවා. ඒකට ප්‍රබල හේතුවක් වෙලා තියෙන්නෙ බැතිමතියකගේ සහ පෙම්වතියකගේ ස්වරූපය මේ ගීතය තුළින් රසිකයාට ඉදිරිපත් කිරීමට සිදුවීම නිසා. නමුත් රවින්ද්‍ර ජෑන්ගේ සහයෝගය මත ඇය ඒ අභියෝගය ඉතා අපූරු ලෙසින් ජය ගෙන තියෙනවා. හින්දී සාහිත්‍ය සමඟ මුසු වී නිර්මාණය වුණු උසස් චිත්‍රපටි ගීතයක් ලෙස 'එක් රාධා එක් මීරා...' ගීතය බොහෝ දෙනා අතර අදටත් ප්‍රසිද්ධියක් උසුලනවා. ඔබත් විවේකයක් ඇති වෙලාවක මේ අපූරු ගීතය යූටියුබ් නාලිකාව ඔස්සේ රසවිඳ බලන්න. නැවත වෙනත් දවසක හමුවෙමු, රසවත් හින්දී ගීතයක් එක්ක. අවසාන වශයෙන් මම භාරතයෙ ගීත කෝකිලාවට මගේ දහමට අනුව නිවන් සුව පතනවා!

NEWS

හඬ මත පැටළුණු අකුරු | special

  • Date: 2022-02-12