Blog



දුම්රියෙහි වේගය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. රාත්‍රී දඩයම් සොයායාමෙන් පසු ආපසු සිය වාසභවනයට පැමිණෙන දැවැන්ත උරගයෙකු සේ, එය දුම්රිය ස්ථානයේ පියස්ස යටින් නැවතුම් වේදිකාව කරා පිවිසියේ ය. ඒ සමගම දුම්රිය මැදිරි තුළ මද අන්ධකාරයක් පැතිර ගියෙන්, මගීහු තම තමන්ගේ බඩු බාහිරාදිය අතට ගැනීමට යුහුසුළු වූහ. මගීහු එකිනෙකා පරයමින් තෙරපෙන දුම්රියෙන් බැස වේදිකාවට ගොඩවන්නට වූහ. විටෙක එකිනෙකා ගැටෙන මගීන් අතර ක්ෂණික වචන හුවමාරු ද ඇති නොවුණා නොවේ. මේ කිසිදු කලබගෑනියකට සම්බන්ධ නොවී, මීට ස්වල්ප මොහොතකට පෙර නින්දෙන් මිදී ක්‍රියාකාරී වීමට දඟලන මිනිස් පොදිය දෙස නෑසූ කන්ව උපේක්ෂාවෙන් බලා සිටියෙකු ද එහි විණි. ඔහු වාඩිවී සිටි මැදිරිය තිබුණේ තුන්වන පන්තියේ මැදට වන්නට ය. දුම් දමන කඩල කූඩයක් වමතින් රැගෙන පෙට්ටි ගාණේ පැමිණි කඩල වෙළෙන්දාට පවා, අඩුම ගණනේ ඔහුගෙන් ව්‍යාපාරික වැදගත්කමක් හෝ නොපෙනුණේ ය. මේ දුම්රියේ ගමනාන්තය බැවින් ඔහු බැසීමට කලබල කළේ නැත. දුම්රිය මැදිරියේ දොරකඩට පැමිණි හේ, වේදිකාවට පයතැබීමට පෙර, වේදිකාවේ දෙපස හොඳින් නිරීක්ෂණය කළේ ය. තමා කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ බව ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්දෝ හෙතෙම යකඩ පෙට්ටියෙන් වේදිකාවට ගොඩ වූයේ ය. වේදිකාව සිසාරා බැල්මක් හෙලූ හේ කොනකට වන්නට තිබූ හිස් බංකුවක් වෙත අවධානය යොමු කළේ ය. කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් කඩිමුඩියේ සරන ජනයා අතර තෙරපෙමින් අපහසුවෙන් වුව ද ඔහු වේදිකාවේ වූ බංකුව කරා පැමිණ එයට වාරු වූයේ ය. සත් වසකින් පමණ දැලි පිහියක පහස නොලැබූ රැවුලත් කපුටු කූඩයක් බදු වූ කොණ්ඩා මෝස්තරයත් නොවැදගත් අපිළිවෙල පෙනුමක් ඔහුට එක් කළ ද ඔහු භද්‍ර යෞවන වියේ පසුවෙන බව බැලූ බැල්මට පෙනිණි. සිය කලිසම් සාක්කුවට සුරත යොමු කළ හෙතෙම පසුම්බියක් ඉන් ඉවතට ගත්තේ ය. එය දෑතේ රුවාගත් හේ ඉන් කාසියකුත් ජායාරූපයකුත් ඉවතට ගත්තේ ය. මද වේලාවක් එම ජායාරූපය දෙස කඳුළු කැට මෝදු වන දෑසින් බලා සිටි ඔහු නැවත එය පසුම්බිය තුළට බහාලූයේ සුසුමක් ද වාතලයට මුදා හරිමිනි. ආගන්තුකයන් පිළිබඳ කුතුහලය ජීවන අරගලය විසින් යටපත් කරන හෙයින් දෝ ඔහු පිළිබඳ සැලකිලිමත් වූ අයෙක් වේදිකාව මත නොවිණි. ඉක්බිතිව ඉබි ගමනින් වේදිකාවෙන් පිටතට ආ හෙතෙම අසල තිබූ දුරකථන කුටියක් තුලට පා නැගුවේ ය. තාක්ෂණයේ දියුණුව හිනිපෙත්තටම ළඟා වූ කුඩා දරුවන් අත පවා දුරකථන ගැවසීම සුලබ දසුනක් වූ මෙකල යෞවන වියේ පසු වෙන ඔහු අත ජංගම දුරකතනයක් නොමැති වීම පුදුම දනවන්නකි. දුරකතන කුටියෙන් ඉවතට පැමිණි හේ මහත් නොඉවසිල්ලෙන් මාර්ගය දෙස නෙත් යොමමින් ඒ අසලම රැඳී සිටියේ ය. එකෙණෙහිම ඔහු ඉදිරිපිට සුඛෝපභෝගි මෝටර් රථයක් නතර විය. ඔහු රථයට ගොඩ වීමත් සමග එය දූවිලි අවුස්සමින් මිටෙන් මුදා හල කුරුල්ලෙකු මෙන් ඉගිල ගියේ ය. එසේ ඉගිල ගිය රථය තරමක් ගම්බද ප්‍රදේශයකට ඇතුල්ව සාරවත්ව දිලෙන වෙල් යායක් ඉදිරියේ නවත්වන ලදී. ඉක්බිතිව ඉන් ඉවතට පැමිණි හෙතෙම නියර මතින් වෙල්‍ යාය පුරා සැරිසැරුවේ ය. පරිසරයේ පවතින සුන්දරත්වය දැහැනකට සමවැදුනාක් මෙන් මහත් සොම්නසකින් විදගත් ඔහුගේ මුව වැහිවලාවකින් වැසී ගිය අහසක් මෙන් අදුරු වී දොම්නසකින් පිරී ගියේ අසුරු සැණිනි. එසේ සිටි හේ පියවි සිහියට පැමිණියේ රථයේ රියදුරු විසින් නලාව කිහිප වරක් නාද කිරීමෙන් පසුව ය. රියදුරුගේ නලා හඬ මධ්‍යයේ නොරිස්සුම් සහගත බවක් පෙන්වූ හෙතෙම ඉබි ගමනින් රථය කරා පැමිණියේ ය. මාර්ගයේ ගමන් ගත් ගැමියන් කිහිප දෙනෙකුට ද මඳ සිනහවකින් සංග්‍රහ කළ ඔහු නැවත රථය තුළ වාඩි ගත්තේ ය. නිස්කලංක වූ ගම්මානය දෙස මහත් ඕනෑකමින් බලා සිටි හේ තරමක බැරෑරුම් පෙනුමක් සිය මුවගට නගා ගත්තේ ය. හෙතෙම නාගරිකයන්ගේ කලබලකාරී දිවි පෙවෙතත් ගැමියන්ගේ සරල දිවි පෙවෙතත් සැසඳීමට ලක් කළා විය හැකි ය. දීකිරට ඇදෙන බළලුන් මෙන් මුදල් පසුපස හඹා යන නාගරිකයන්ගේ පවතින කුහක බව හමුවේ ගැමියන් තුළ වූ සරල බව හා අව්‍යාජත්වය විස්මය දනවන සුලු ය. දිගු ගමනක තෙහෙට්ටුව නිසාදෝ හෙතෙම සුවබර නින්දකට පිවිසියේ ය. නමුදු ඔහුගේ නින්ද කුකුල් නින්දක් බවට පත් වූයේ අබලන් වූ මාර්ගයක ගමන් කිරීමෙන් ඇති වූ ගැස්සීම් පැද්දීම් නිසා ය. අලි ඇතුන් ඔබ්බවිය හැකි තරමේ විශාල වලවල් එහි විය. වෘක්ෂලතාවන්ගෙන් ගහණ එම පෙදෙසින් තරමක ජන ශුන්‍ය බවක් දිස් විය. එසේ වුව ද භවබෝග සඳහා ඉතා උචිත සරුසාර රන් බිමක් බව මොනවට කැපී පෙනිණි. එකෙණෙහිම රථය පාලමක් මතට පිවිසියේ ය. හතර වටින් දිස්වූයේ ඉමක් කොනක් නොමැති දැඩි හිරු රශ්මියෙන් රැස්කන නිල් ජල දහරාවෙන් යුත් වාපියකි. කිසිදු කතාබහකින් තොරව ගමන් ගත් හේ ගරා වැටුණු වල් බිහිවී ගිය නිවසක් ඉදිරිපිට රථය නවත්වන ලෙස රියදුරුට සන් කළේ ය. ඔහුගේ විධානය අනුව රියදුරු ඒ ඉදිරිපිට රථය ක්‍රියාවිරහිත කළේ ය. කලකට ඉහතදී ගින්නකට හසුවී ඇති ආකාරයේ ලකුණු දිස්වන මනුෂ්‍ය වාසයක් බොහෝ කලකින් අත් නොවිඳි එම නිවාසය දෙස මදක් බලා සිටි ඔහු සිය සුවිසල් බෑගය තුළින් යමක් ඉවතට ගත්තේ ය. එය ද රැගෙන රථයෙන් බිමට බට හේ එම නිවාසය කරා පිය සටහන් තැබුවේ ය. මකුළු දැල් කඩමින් නිවස තුළට පිවිසි හෙතෙම මහත් දොම්නසකින් නිවස සිසාරා බැල්මක් හෙලුවේ ය. ඉක්බිතිව නිවාසයෙන් පිටතට පැමිණි හේ වන මෘගයෙකුට වුව ද සැගවී සිටීමට හැකි තරම් ඝනව වැඩුණු ඉලුක් ගාල තුළින් නිවාසය පිටුපසට ගමන් කළේ ය.එසේ ගමන් කළ ඔහු දුර්වර්ණ වූත් වල් බිහි වූත් සොහොන් කොතක් ඉදිරියේ දණින් වැටුණේ ය. එය අද්දර වූ වල් පැළෑටි සිය දෑතින් ඉවත් කරන්නට වූ හෙතෙම වරින්වර සියුම් ඉකියක් ද මුවින් පිට කළේ ය. එය අවසන් කළ හේ ඉටිපන්දමක් එය මත දල්වා අත දරුවෙකු මෙන් කදුලු සලන්නට වූයේ ය. සොහොන් කොතේ වූ සටහන් අනුව එය කාන්තාවකගේ බවත් යොවුන් වියේදීම අවාසනාවන්ත ලෙස මරණයට අත පොවා ඇති බවත් පෙනිණි. බොහෝ වේලාවක් සිය වේදනාව කඳුළුවලට හැරවූ හෙතෙම ආපසු රථය කරා ගමන් කළේ ය. රථයේ වාඩි ගත් පසු ද නිවාසය දෙස බැල්මක් හෙලූ හේ සිය දෑස් පියා ගත්තේ ය. ගමනාන්තය ලෙස අලංකෘත තෙමහල් මැදුරක් ඉදිරියේ රථය නවත්වන ලදී. එසේ නම් මේ ඔහු ය. මුදල් සම්භාරයකට එකම හිමිකරුවා වුව ද සිය හදවත ගම්බද කිරිකාර තරුණියකට දීමට තරම් නිර්ලෝභී වූ, සිය දෙමාපියන්ගේ තාඩන පීඩන තර්ජන ගර්ජන හමුවේ ඇයට දිවි දෙවෙනි කොට ආලය පිදූ ඔහු ම ය. හදිසියේ හටගත් ගින්නකින් ඇගේ දිවි අහිමි වුව ද ඇය කෙරෙහි වූ සෙනෙහස ගිනිබත් නොකොට නොවෙනස්ව තබාගත් ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් බදු වූ හේ සිටින කල උත්තරීතර ප්‍රේමය තවමත් ජීවමාන බව කීමට තවත් සාක්ෂ්‍ය කුමට ද?

NEWS

විභව කෙටිකතා | නොමියැදුණු පෙම

  • Date: 2022-02-17