Blog



සැ.යු :- ( විසික් කර ගිය ප්‍රේමය වටින බව හැඟෙන විට අගය දන්නා උන් ඇහිඳ ගොස් තිබිය හැක)  ජීවනයේ මහ වනපෙත  විසල් රුකෙහි පිපී දිලුණු  අලංකාර මල නෙලන්න  ඔහු මා එහි කැඳවූයේ ය. වට දහසක් මග සරමින්  මා පැමිණිය මුත් විගසින්  විසල් රුකෙහි මා නංවා  ඔහු ම' වෙතින් පලා ගියේ ය  රුක් මුල වන් ලසෝ තැවුල්  කටු ඉඹුලට බියපත් වී  පරතෙර නැති මහ හිමයේ  රුක් මුදුනේ තනිව වෙසෙමි  මට වන් පිරිපත හඳුනා  එවන් දුකෙන් මා මුදනා  දෑත ම' වෙත ළං වන තුරු  රුක් මුදුනේ තනිව වෙසෙමි!                          මොනිකා රුවන්පතිරණ                          ඉකුත් වත  සැ.යු:- විචාරයට හිමිකම් නොලද මුත් හදට දැනෙන හුදෙක් හැඟීම් මාත්‍රයක් බව සලකන්න.                                 ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට කියවන්න ලැබෙන පොත්වල සමහර පිටු තියෙනවා ඇස් දෙක ඉවතට ගන්න නොහිතෙන. මම කියෙව්ව මොනිකා රුවන්පතිරණගේ 'තහනම් දෙසකින්' කියන මුළු පොතම එහෙම මතකයේ රැඳුණු කවි විසිරිලා තිබුණු පොතක්. ඒත් ඒ අතර 'ඉකුත් වත'  කවි පන්තිය තිබුණු 76වැනි පිටුව අමතක කරන්නත් බැරි අමතක වෙන්නෙත් නැති විදියට හිතේ සටහන් වුණා, කුමක් හෝ හේතුවක් නිසා.                              මේ කවි පන්තිය කියවන කොට එකවිටම සිහියට එන්නේ උම්මග්ගේ එන උදුම්බරා කතාව. උදුම්බරා එහෙම නැතිනම් සිරි-කාලකණ්ණි ප්‍රශ්නය කියවන මුල් කාලේ මගේ මනසට ආවේ උදුම්බරා වගේ කෙනෙක් ලැබිලත් තමන් ළඟ රදවා ගන්න බැරි වුණු පිංගුත්තර කොයිතරම් නම් පව්කාර ද කියලා, අදටත් ඒ අදහසේ වෙනසක් නැහැ.                               උක්ත කවි පන්තියේ සදහන් යථාව දෙස බලන විට පසක් වනුයේ තමන් ප්‍රාණසරි ව ප්‍රේම කළ ප්‍රේමවන්තයා හැර ගිය යුවතියකගේ ඉරණම් කතාව යි.         ජීවනයේ මහ වනපෙත     විසල් රුකෙහි පිපී දිලුණු    අලංකාර මල නෙලන්න     ඔහු මා එහි කැදවූයේ ය.                                    ප්‍රේමයේ ගිලී සන්තුෂ්ටියෙහි අග්‍රස්ථානයෙහි ඔහු හා බැඳී සිටි බවට සැක නැත. දෙවන හා තෙවන පද්‍ය පාදයන්හි එන විසල් රුකෙහි පිපුණු අලංකාර මල, විවාහය විය හැකි ය. ප්‍රේමයේ කූටප්‍රාප්ත අවස්ථාව විවාහයට ඔහු ඇය හට කළ ආරාධනය මෙසේ කිවිඳිය ගෙන හැර දැක්වූවා යැයි හැඟේ.  යුවතියක් ලෙස ඈ දක්නා ලද සිහින අතරේ ප්‍රමුඛ තලයේ පවතින ලද්දක් ලෙසින් විවාහය දැක්විය හැක. එවන් යෝජනාවක් තම ප්‍රාණසරි ප්‍රියතමයා විසින් ගෙන එනවිට ඈ තුළ වූ සතුටෙහි උපරිමය කෙසේ නම් වන්නට ඇති ද?           වට දහසක් මග සරමින්          මා පැමිණිය මුත් විගසින්          විසල් රුකෙහි මා නංවා          ඔහු මවෙතින් පලා ගියේ ය.                                  මෙම පද්‍ය තුළින් ඈ ඔහුගේ අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා කරන ලද නොමඳ ප්‍රයත්නය මනාවට විශද කරයි. ඈ මග හසර වේදනා කම්කටොළු විඳිමින් ඔහු වෙත පැමිණුනත් කණා මැණික නොදක්නා සේ ඔහු සිත් පිත් නැති වන සිව්පාවෙකු ලෙස ඇය ව තනි මග දමා ගොස් ය. කෙසේ නම් දරා ගන්නට වූවා ද යන්න දන්නේ ඇය පමණි. ප්‍රේමයේදී අනෙකා මග අතැර පලා යන්නා කිසිවිටෙක අනෙකාට මානුෂීය වන්නේ නැත. එහි පදනම සැකසෙන්නේ කෙසේ දැයි නො දනිමි. නමුත් එය එසේ ය. මෙහිදී ද විවාහය බිඳී ගිය ස්ත්‍රියක් ලෙස ඇයට මුහුණ දීමට සිදුවන කිසිවක් ඔහුට අදාළ වූයේ නැත. ඔහු ඔහුගේ ගමන ගොසින් ය. අවම වශයෙන් ඇගේ මානසික මට්ටම පිළිබඳව හෝ තැකීමක් ඔහුට නොවී ය.               රුක් මුල වන් ලසෝ තැවුල්                කටු ඉඹුලට බියපත් වී                පරතෙර නැති මහ හිමයේ                රුක් මුදුනේ තනිව වෙසෙමි                     තනි වූ යුවතියගේ චිත්ත සන්තානයෙහි නැගෙන වේදනාවේ අග්නි ජාලා කිවිඳිය විසින් සහෘද අප හදෙහි ද සංස්පර්ෂ කළා වැනි ය. විවාහය බිඳී ගිය කාන්තාවක්ගේ ඉරණම පිළිබඳ අමුතුවෙන් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නැත. කා අත වැරැද්ද තිබුණත් අවසානයේ දී වරද ස්ත්‍රියගේ ය. එය නොබිඳිය හැකි සමාජ බන්ධනයක් ලෙස මිනිසුන් සිතීම විවාහය බිඳී ගිය විට නැගෙන අවලාද, චෝදනාවන්ට පදනම විය හැක. මෙහි එන යුවතියට සිදුව ඇත්තේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය ලු කියන සිද්ධාන්තය යි. ප්‍රාණසරි ව ප්‍රේම කළ ඔහුත් එවැනි ඉරණමක් අත් කළා නම් වෙනකෙක් දෙස බැලීමත් නුසුදුසු යැයි ඇය සිතන්නට වෙයි. සියල්ල හැර සිටියත් අල්පමාත්‍ර සුබ බලාපොරොත්තුවක සේයාවක් ද ඇය තුළ පවතින බව අවසන තුළින් පසක් වේ.               සියල්ල එසේ සිදු වී අවසන් වූ විට කීමට ඉතිරි යමක් වෙයි. අප කාගේත් ජීවිත ඇතුලේ පිංගුත්තර වැනි පින් මඳ වූ මිනිසුන් මතකයන් හා වේදනාවන් තබා ගොස් ඇත. නමුත් ඔවුන් ඔබට ලබා දී ඇත්තේ හඬා වැටෙන්නට නොව බුද්ධිමත් ව සිතන්නට අවස්ථාවක් බව සිතන්න. ඔබ සෑම විටම මැණික් ගල්, මාලු වෙළඳසැලේ හෝ එළවළු වෙළඳසැලේ විකිණීමට යාමෙන් වැළකී සිටින්න. උදුම්බරා දැරිය හැක්කේ රජෙකුට ම මිස කාලකණ්ණියෙකුට නොවන්නා සේ මැණිකක් දැරිය හැක්කේ මැණිකක අගය දන්නා අයෙක්ට ම බව තරයේ මතක තබා ගන්න. යාම් ඊම් ජීවිතයේ සදාකාලික සත්‍ය බව සිතන්න.

NEWS

විභව Unframed | Episode 50 | නූතන පිංගුත්තරයන් වෙත ලියමි... 

  • Date: 2022-02-18