Blog



කාව්‍යමය අර්ථ නිරූපණයන් ම ජනනය කරනු අපේක්ෂිත ව සොඳුරු වචන එකිනෙක අමුණා භාවයන් පවා මනෝ ලෝකයෙහි අතරමං කරනු පිණිස නිර්මාණශීලිත්වය උපයුක්ත කරගන්නා සින්තටික් නිර්මාණකරුවන් වැසි වසින යුගයක සාර්වත්‍රික සමාජ යතාර්ථයෙහි නිහීන ගොදුරක් බවට පත්වීමට ස්වකැමැත්තෙන් ම ඉදිරිපත් වූ "අම්මා" නම් චරිතයෙහි නොපෙනෙන මානයක් කරා විචාරාක්ෂිය යොමු කළ රචකයෙක් යැයි හඳුන්වා දිය හැකි ටිම්රාන් කීර්ති අතින් කළඑළි දුටු   " මගෙ අම්මා හැර සේරම බුදුවේවා'' නම් කවි සංකල්පනාව ආශ්‍රයෙන් බිහි වූ  " පොඩ්ඩියේ " නම් ගීතය සහෘද ජනයා අතර කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියට පත් වූ බව නොරහසකි.        ගීතයේ අත්දැකීම නැතිනම් නිමිත්ත වශයෙන් පාදක වී ඇත්තේ කිනම් ආකාරයක සිදුවීමක්දැ'යි අවධාරණය කරගැනීමෙන් ගීතයේ අර්ථය වඩාත් භාවාතිශය වීමට උත්කර්ෂයට නැගීමට දායක වනු ඇතැයි සිතමි.අලුත් අවුරුදු නැකතට මවගේ පා වඳිනු වෙනුවට ඇයගේ චරිතය දෝෂදර්ශනයට ලක් කරමින් මවට වැඳීම ප්‍රතික්ෂේප කළ නැගණියක් හමුවේ මවගේ නිර්දෝශීත්වය වෙනුවෙන් නඟන හඬක් ලෙස යථෝක්ත පද මාලාව රචනා වී ඇත.සාදර බණ්ඩාරයන්ගේ අද්විතීය හඬ පෞරුෂයත්,ටිම්රාන් කීර්තිගේ පද මාලාවත් සුසංයෝග වීමෙන් සහෘදයාගේ හදවත්වල ගැඹුරුත ම තැන් සංස්පර්ශ කිරීම අරඹන්නේ මෙලෙසිනි.     "පොඩ්ඩියෙ අම්මා අම්මාමයි තාම       වැරදුණෙ අපි නිසයි ඈ වැරදිද කෝම       බක්මහේ කොවුල් බිජු පුපුරන දාක   නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"        සමාජය කුමන නමකින් හැඳින්වූවද  'අම්මා' නම් අම්මා ම ය.ඇය තමන්ගේ සුඛ විහරණය කැප කරන්නේ දරුවන්ගේ සුඛ විහරණය උදෙසා ය.ඇය 'අම්මා' නම් වන්නී එනිසා ය.එය වටහාගත නොහැකි නැගණියට කවියා කරුණු පහදා දීමට උත්සහ දරන සෙයකි.අම්මාට ජීවිතය වැරදී ඇති බව සැබෑවකි.එය කවියා ද පිළිගනී.නමුත් එහි වරද තමාට පවරා ගැනීමට උත්සහ දරනුයේ මව කෙරෙහි දයාර්ද්‍ර වෙමිනි.එසේම "බක්මහේ කොවුල් බිජු පුපුරන දාක" යන කොටස කවියා ඉස්මතු කරන විලාශයෙන් ද්වීමය අර්ථයන් ධ්වනිත වන බව පෙනේ.මෙහි දිවෙන කථිකාවෙහි කථා නායිකාව වන මව දරුවන් ජීවත් කරනු පිණිස සමාජයේ ගර්හිත රැකියාවක් තෝරාගැනීම නිසා දියණිය මවගේ පා වැඳීම පිළිකෙව් කරන්නේ අලුත් අවුරුදු දිනයක දී ය.සාමාන්‍යයෙන් කොවුලාගේ ආගමනය සිදුවන්නේ ද අලුත් අවුරුදු කාලයට, නැතිනම් බක්මහට ය. එනිසා මෙලෙස "කොවුල් බිජු පුපුරණ දා "යනුවෙන් කවියා අලුත් අවුරුදු දා පිළිබඳව සිදු කරන හැඟවුම සාර්ථක ය.නමුත් වඩාත් ගැඹුරෙන් සිතා විමසා බැලුවහොත් මෙයට යටින් දිවෙන අරුතක් ඥානනය කරගත හැකි ය. කොවුලා බිජු ලන්නේ කපුටු කැදැල්ලෙහි' යැයි ග්‍රාම්‍ය මතයකි.ඒවායින් කොවුල් පැටවුන් බිහි වූ කළ කපුටු කැදැල්ලෙහි අනන්‍යතා අරගලයක් මතුවන්නේ යම් සේ ද, මේ කැදැල්ලට අත් වී ඇත්තේ ද  ඊට සමාන තත්ත්වයකි.වෙනත් පුරුෂයෙකුගෙන් මෙහි කියවෙන මවට දරුවෙකු ජනිත වීමක් මෙලෙස බක්මහේ කොවුල් බිජු පිපිරීම නම් සංකේතයෙන් ඉස්මතු කරන්නට කවියා ප්‍රයාස දැරුවා විය හැකිය.         දරුවන් සමඟ අනවරත ජීවන අරගලයකට මැදිව සිටින මව් භූමිකාව සහෘදයාට වඩාත් ප්‍රබලව ම දැනෙන ලෙස විරචිත පහත පද ගොනුව ආත්මීය සහකම්පනයක් දනවන්නක් නොවේද?   "  තනේ කඩා විසිකර පත්තිනි වී නම්      අනේ හාමතේ අපි මැරිලා එහෙනම්       වනේ පාරන්නේ වන ඵල විස වී නම්    නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන්" කොවුලන් කන්නගී පෙම් පුවතටත් පත්තිනි දේවියටත් පූජනීයත්වයක් අමරණීයත්වයක් ආරෝපණය කරන සමාජය ම එයට වඩා උත්තුංග කතා පුවත් මඟහරින්නට දෙවරක් නොසිතන බව කිවයුතු ය.තම ස්වාමියා වෙනුවෙන් සත්‍යක්‍රියා කොට වම් පියයුර කඩා විසිකර කන්නගිය පඬිපුර ගිනිබත් කළ බව ප්‍රසිද්ධ පුවතකි.නමුත් කවියා විස්තර කරනුයේ ඊට ප්‍රතිවිරුද්ධ ත්ත්වයකි.මෙහි කියවෙන කත කිසිසේත් පත්තිනියක් නොවේ."තනේ කඩා විසිකර පත්තිනි වී නම්-අනේ හාමතේ අපි මැරිලා එහෙනම් " යන කොටසින් එය මනාව ගම්‍ය වේ.බොහෝ දෙනෙකුට එය සවන වැකෙන විට ම සිතෙනුයේ මව ඔවුන්ව මව්කිරෙන් පෝෂණය කිරීම ස්මරණය කරවන බවකි.නමුත් එයින් කියවෙනුයේ මව පතිදම් පුරමින් පත්තිනියක වූයේ නම් ඔවුන්ට දිවි සරිකර ගැනීමට අවකාශයක් නොවන බවයි.බොහෝ දෙනෙකු වැරදිකාරයන් යැයි හංවඩු ගසනු විනා කිසිසේත් එවැනි වරදක බැඳෙන්නට හේතු සාධක නොසොයනා සමයක එවැනි තත්ත්වයක් මිස අන්කිසිවක් බලාපොරොත්තු විය නොහැක.එසේම සමාජයෙන් ලැබෙන අවලාද අපවාද කිසිවෙකින් මෙහි කියවෙන මවට චිත්ත පීඩා නොගෙනෙන නමුත් තම දරුවන් පවසන වදන් ඇයට රුදු සැත් ලෙසින් වේදනා ගෙනෙන බව "වනේ පාරන්නේ වන පල විස වී නම්" යනුවෙන් පද මාලාවට ඒකරාශි වී ඇත.තම බිරිඳ සිටියදී තවත් කතක් වෙත ගිය ස්වාමියා වෙනුවෙන් පතිදම් පුරා සත්‍යක්‍රියා කොට  පඬිපුරය ම ගිනි තබන්නට පත්තිනියට හැකි වී නම් ස්වාමියෙකු ද නොමැතිව දරුවන් රකිනට වෙනත් පුරුෂයන් කරා යන්නට සිදු වූ මෙහි කියවෙන මවට පත්තිනියක් වීමට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබේ.එබැවින් ඇය නමින් ද පඬිපුරයක් ගිනිතැබිය හැකි නොවේද? "නඟේ දැන් යමන් පඬිපුර ගිනිතියපන් " යන පද මාලාව වඩාත් සිත් පැහැරගන්නේ එනිසා ය. "සතා කියා ඉඳහිටකදී ඇසුණාට කතා හදන උන් සේරම බෝසත්ද  යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට" ගීතයේ මීළඟ කොටසින් සමාජයට සියුම් වූ උපහාසයක් එල්ල වන සෙයකි.සාහිත්‍යකරුවාගේ මෙහෙය වන්නේ සමාජයේ වැරදිවලට දඬුවම් කිරීම නොවන බව මනාකොට හඳුනාගත් ගී පද රචකයා සමාජයේ ගූඪ යථාර්ථයෙහි නිරාවරණය නොවන ප්‍රදේශයකට ආලෝක ධාරාවක් යොමු කොට නිහඬ වෙයි.ඒ "සතා කියා ඉඳහිටකදී ඇසුනාට-කතා කියන උන් සේරම බෝසත්ද " යන පදය සහෘදයන් හමුවේ තබමිනි.එය තම තම නැණ පමණින් අවබෝධ කරගැනීම රසිකයන්ට භාර ය.බොහෝවිට තමන් නිවැරදිකරුවන් වීමට සමාජයට ඇඟිල්ල දිගු කිරීම මානව පරිණාමයෙන් ම හිමි වූවක්දැ'යි සිතෙන තරමට ම එය වත්මනෙහි බොහෝදෙනෙකුගේ සහජ ලක්ෂණයක් බවට පත් වී ඇතැයි කනගාටුවෙන් වුව ද කිව යුතු ය. ඒ සමාජයීය දෘෂ්ටිය කෙතරම් පටු වුවත් තම මවගේ වරදක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන් දත් කථකයා මව්වත් ගුණය අභිමුඛයෙහි  වන්දනා කරන්නට බල කරවයි.ගර්හිත ජන කොටසක් ලෙස බැහැර  කරන එබඳු කාන්තාවන්ට සාධාරණයක් ඉටු විය යුතු බවට මුළුමහත් සමාජයට ම කෙරෙන බලපෑමක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය. "දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකුහාමුදුරුවෝ අණ කර බණ පද එව්වා මුචලින්දගෙ ඇහෙ කඳුළක් නැටුවා අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා" ගීතයේ වඩාත් ප්‍රබල අවස්ථාවක් මින් නිරූපිත ය.ආධ්‍යාත්මය පවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බලන අවස්ථා සමාජයේ විරල නොවන්නේ 'පහත් තැනින් සෑම විටම ජලය ගලා යන නිසා ය'.එවැනි කටුක සත්‍යයක් මෙලෙස ඉදිරිපත් කර ඇති ස්වරූපයෙන් ම කවියාගේ ව්‍යුත්පත්තිමය හැකියාව පෙනෙන අතර "දංකඳ-රංකඳ "එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙසින් උපයුක්ත කරගනිමින් අපූර්ව අර්ථයක් ජනනය කිරීමෙන් ටිම්රාන් කීර්තිගේ බස හැසිරවීමේ බුහුටි බව හඳුනාගත හැකිය.දුප්පතකම, අසරණකම හමුවේ පිහිටවීමක් වෙනුවට ඇයට හිමි වී ඇත්තේ මෙබඳු ඉරණමකි.බණ පද ද අණ කිරීමක් වූ කල කිනම් සරණක් ද? තවද  මුචලින්දගෙ ඇසේ නටන නයි කදුළ මිනිසුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි තැනක කාන්තාවක් හුදු උපයෝගී භාණ්ඩයක් බවට පත්වනු වැළක්විය නොහැකිය.එසේම මෙලෙසින් හිත නිවන තැන ද හිත දවන්නට වූ සඳ කරකියාගන්නට දෙයක් නොමැතිව කියන්නට ද කෙනෙක් නොමැතිව අම්මාට සිදුවූයේ ඇගේ කතාව බුදුගෙයි ලියන්නට ය.ඒ කාන්තාවක් වූ නිසාම ජන්මයෙන් උරුම වූ අසරණකමට අන් සරණක් නොමැති නිසා ය.ගීයෙහි අවසන් පද්‍ය ඛණ්ඩය සමස්ත ගීතයෙහි ම සම්පිණ්ඩනයක් බඳු ය. "රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා  මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා"  තැලෙන යකඩයට තව තවත් පහරදෙනු විනා අන් නිස්සක් සිතාගත නුහුණු පිරිසක් මධ්‍යයේ කාන්තාවන් ද දුලබ නොවූ බව පවසන්නේ කාන්තාවකගේ හව්හරණයට කාන්තාවන් ද නැති වීමේ ඛේදවාචකය ඉස්මතු කරමිනි.ඒ මතු ද නොව නිරන්තරයෙන් එල්ල වූ සමාජ අපවාදයන් සේම මවට වඳින්නට පිළිකෙව් කරන නැඟණිය වූ කලී ද කතකි.ඇයට ද අවැසි මව පීඩාවට පත් කිරීමට ය.කවියා එය කිව් ආකාරය මෙසේය.එහි වරද තේරුම් කරන ආකාරයත් අපූරු ය.මෙවැනි රැකියාවක් තෝරගන්නට සිදු වූයේ ද, එහි නිරතවන්නේ ද, කිසිදු කැමැත්තකින් ආශාවකින් නොවන බව නැඟණියට පැහැදිලි කරන්නේ "මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා" යනුවෙනි. සාමාන්‍යයෙන් මල්පෙති විදා සිටිනුයේ බඹර පහසක් විඳිනු අපේක්ෂාවෙනි.නමුත් මෙහි සිද්ධිය ඊට ප්‍රතිවිරුද්ධ ය.ඉටිමල් පොකුර හුදෙක් කිසිඳු හැඟීමකින් තොරව සිටියි. බඹරා මත් වී ඇති අතර ඔහුට ඉටිමල් පොකුර හඳුනාගත නොහැකිය.එහි වරද  කාගේදැයි විමසා බැලිය යුතු ය.මෙය ගීතයෙහි වඩාත් ප්‍රශස්ත ම පද ඝටනාව බව කිව යුතු ය.අවසානයේ ද මව වරදින් නිදොස් කරනා අතර ම සොයුරිය කෙරෙහිද අනුකම්පාවෙන් උපේක්ෂාවෙන් බලන කවියා තවමත් ලෝකය පිළිබඳව අවබෝධයක් නැති නිසා ම ඇයට ද සමාව දෙන්නේ ඇඟිල්ල දිගු කරනා අන් අය වෙතද පවතින අඬු ලුහුඬුකම් පෙන්වා දෙමිනි.එහිදී "පත්තිනි සළුවල" තිබෙන්නේ 'තුත්තිරි 'නොව "ඇත් තුත්තිරි"ය.මෙහි මව දෝෂදර්ශනයට ලක් කරන කතුන් පෙනී සිටින්නේ පත්තිනි සළු දරාගත් භාග්‍යවත් කතුන් මෙනි.නමුත් එය එසේ නොවන බව වටහා දීමට කවියා දරන්නේ සාවදාන උත්සහයකි. මෙනයින් බලන කළ සමාජයේ පීඩාකාරී ස්ථරයක දිවිගෙවමින් කුටුම්භය තුළ ද අනේකවිධ දුඃඛ දෝමනස්සයන්ට ගොදුරු වන කාන්තා කොට්ඨාසයක ජීවන ඛේදවාචකය අතිශය දයාර්ද්‍ර පද මාලාවක් තුළට අන්තර්ග්‍රහණය කරමින් නිමැවුණු අපූර්ව ගී පද රචනාවක් ලෙස "පොඩ්ඩියේ"ගීතය අගය කළ හැකි ය.එමතු ද නොව සාදර බණ්ඩාරයන්ගේ අනන්‍යසම හඬ පෞරුෂය ගීතය තවත් ඉහළ තලයකට ගෙනගොස් ඇතැයි කීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන්නේ ය.මේ අපූරු සුසංයෝගය නිසාම පොඩ්ඩියේ ගීතය තවත් කාලාන්තරයක් තිස්සේ සහෘදයන් තුළ ඒකනින්නාද වනු ස්ථිරසාර ය.  පොඩ්ඩියේ පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වේ නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නෙ වන ඵල විස වී නම් නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා සතා කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට

NEWS

හඬ මත පැටළුණු අකුරු | 66 වන දිගහැරුම

  • Date: 2022-02-19