Blog



හෝපළු වන පෙත කම්පිත කරවන  මන්මද නර්තන රංගන කළ මැන...  ලැම විල පියකරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී මන්මද නර්තන රංගන කළ මැන...  අංජන ගල්වන පංකජ නයණී වෙණ චංචල කළ සත්සර දියණී මන්මද නර්තන රංගන කළ මැන...       ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ඉතා විශිෂ්‍ට ස්වර සංගතියකින් හා හඬ සංයුතියකින් නිර්මාණය වූ මෙම ගීතය ඉතා කෙටි,සරල පද පේළි කිහිපයකින් සමන්විත වන අතර පෙරදිග ඉන්දීය රාගධාරී ස්වර සංකලනයෙන් ඉතා අලංකෘතව ගැයෙයි.  ව්‍යාකූල චිත්ත සංතානයක් සමනය කර ඒ සන්තානයේ මනරම් චිත්ත රූප රටා මවමින් ගීත කාව්‍ය රසික හදවත තුළ ජීවමාන කිරීමට ඒ ස්වර ගායන හා හඬ තාලය උසස් ලෙසින් ම සමත් ය. සමස්තයක් ලෙස ගත් කළ, මෙම ගීතය රඟමඩලක වූ වශීකෘත ප්‍රේක්ෂකයෙකු විසින් තම වීණාව වාදනය කරමින් නර්තනයේ යෙදෙන නෘත්‍යරාජිණියට පවසන ගීතයක් ලෙස හැඟීයයි. රංග මණ්ඩපයේ නේකවිධ ආභරණයෙන් හා දිදුලන වස්ත්‍රයෙන් සැරසී නර්තනයේ යෙදෙන නෘත්‍යරාජිණියකට වාදනය සපයන වාදකයෙකුගේ සිතුවිලි ධාරාවක් මෙලෙස පද බැඳී ගීතයකට නගා ඇති බව සිතැඟි වේ. මෙහිදී ගීතය පුරා  විරාජමාන වන නෘත්‍යරාජිණිය අන් කිසිවෙකුත් නොවේ, සකල කළා විධ රංගාධිපතිනිය සරසවි දේවියයි.             හෝපළු වන උයන ම කම්පනය කරවමින් නර්තන රංගනය කරන ලෙස කවියා නෘත්‍යරාජිණියට පවසයි. එම නර්තනය තුළින් දුටුවන් වශී කරවන සිත් පිනවමින්,උපරිම වින්දනය ලබා දෙන ලෙස පැවසීම කවියාගේ අරමුණයි. මෙහිදී හෝපළු වන පෙත ලෙස අදහස් කර ඇත්තේ කවියාගේ හදවත නැතහොත් කවියා ඇතුළු හුදෙක් ප්‍රේක්ෂක හදවත් බව සිත් වේ. එනම් හදවත සසල වන ලෙස නර්තනය කරන සරසවි දේවිය ඔහුගේ හිත බැඳී ඇති බව ගම්‍ය වේ.  නෘත්‍යරාජිණිට ඇගේ රැඟුමින් තව තවත් හදවත සසල කරවීමට ඔහු හදවත භක්තියෙන් යුතුව ආරාධනා කරයි. එසේත් නොමැති නම් හෝපළු වනය මැද වන මේ රඟමඩලේ ඇගේ රංගනයෙන් ගස්වැල් මෙන්ම සතුන් මුසපත් කරමින් කම්පනය වන ලෙස නර්තන කරන ලෙස ඇයට කවියා පවසයි. මනස මත් කරවන වශීකෘත නර්තන ඉදිරිපත් කිරීමෙහිලා ඇය සමත් බව කවියා හොඳින් දන්නා බැවින් එලෙස පවසයි.          ඉන්පසු ඇයගේ රූප ශෝභාව වර්ණනාත්මකව දැක්වීම මගින් කවියා ස්ත්‍රියකගේ රූප රසය තුළින් නෘත්‍යරාජිණියකගේ නෘත්‍ය රසය ඔප්නැංවීම සිදුකර ඇත. ස්වභාවධර්මයේ අපූර්ව සුන්දර නිර්මාණයක් වන ස්ත්‍රිය සතු රූපකාය ඉතාම වින්දනීය ලෙසින් මෙන්ම ඇතමෙකුට ශෘංගාරාත්මක හැඟුමක් දැනවීමට සමත් වන ලෙස කවියා පද බැඳුම සිදුකර ඇත. ඇගේ ලැම දුටුවන් පියකරු හංස යුවලක් මෙන් සුන්දර බව පැවසීමෙහිලා ඔහු දක්වා ඇත්තේ ඇගේ රංග වස්ත්‍රාභරණයන් තුළ සඟවමින් ලය මත පියකරු හංස යුවලක් මෙන් පියයුරු යුවල රක්ෂා කරන බවයි. ඇගේ සිහින් ඉඟත්, පිරුණු උකුළත් ඔහු කෙරෙහි ශෘංගාරයක් ඇති කිරීමට සමත් නොවූ බව නොකිව මනාය. තුරුණු වියේ පසුවන මේ සුන්දර නෘත්‍යරාජිණියගේ පියකරු රූප වර්ණනාවෙන් එය මනාව පැහැදිලිය. ඇගේ රූප ශෝභාවට වශීකෘත වූ ඔහුට ඇගේ රංගනය මීවිතක් බඳුය. ඒ වින්දනයෙන් මත් වී, වාදකයා තව තවත් පවසන්නේ මන්මත් කරවන රංගනයෙන් රංඟමඩල ශෝභමාන කරවන ලෙසටය.         දේහ වින්‍යාසයෙන් පසුව කවියා සරස්වතී දේවියගේ මුහුණ පිළිබඳ හැඟුම පෙන්වයි. අඳුන් ගැල් වූ නෙත් යුගල නෙළුම් පොහොට්ටු යුගලක් මෙන් දිස් වන බව කවියා පවසයි. මෙහි සඳහන්ව නොවුනද සරසවි දේවියගේ නළලත,  දෙබැම මෙන්ම දෙතොල ද චිත්තාකර්ශණීය ශෘංගාරය දනවන්නට සමත් බව කවුරුත් දනී. ඇයගේ දෑස් කැළුමින් දෙබැම හා දෙතොල් ඉඟියෙන් කවියා මුසපත්ව රැඟුමට වශීකෘත කර වූ බවට සැක නැත. එය ගීතයේ අවසන් පද මාලාවෙන් මනාව පිළිබිඹු වේ. වීණාව චංචල වූයේ නිතැතින්ම ය. වීණා වාදනයෙහිලා පරම විද්‍යාධිපතිනිය සරසවි දෙවඟනයි. ඇගේ රංගනයත් සමග මනසින් නිතැතින්ම නැගෙන ස්වරවලින් ඇය විසින් වීණාවේ තත් කම්පනය කරවයි. මේ සහජ වාදනයෙන් හා ඈ සතු රඟසොබා දක්වමින් රඟමඩල වශී කර ගැනීම ඇය සතු මහා බලයයි. ඇය වාදකයෙකු සතු වාද්‍ය භාණ්ඩය නිතැතින්ම වාදනය කරවීමට තරම් මුසපත් කරවන රංගන දැක්වීමෙහිලා මනාකොට සමත් රංගනියක් බව කවියා දක්වයි.        ගීතයේ පද මාලාවට අමතරව ඒ අතර වන ස්වර සංගතිය හා නාද මාලාවන් පෙරදිග ඉන්දීය නෘත්‍ය මණ්ඩපයක් රසික හදවත තුල ජනිත කිරීමට සමත්ය. පෙරදිග රාගධාරී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය වන තබ්ලා නාදයෙන් රඟමඩලේ සජීවීත්වය තව තවත් වර්ධනය කරවයි. මෙහිදී ප්‍රධානව ම  හිංදුස්තානී රාගධාරී සංගීතයේ එන භාගේශ්‍රී රාගයෙන් නිර්මාණය කර ඇති අතර ගීත ගෝවින්දයද ඇසුරු කරගෙන ඇත. කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ විශිෂ්ට පබැඳුමක් වන මෙම ගීතයට වික්‍ටර් රත්නායකයන්ගේ ස්වර හා හඬ සංකලනයෙන් මනස තුළ මවන චිත්ත රූප, සැබෑ රඟමඩලක් නෙත නොගැටුණු කෙනෙකු පවා මොහොතක් රඟමඩල තුළ හිඳුවා ඒ මනස්කාන්ත වින්දනය ලබා දීමට තරම් සමත් වීම කවියාගෙ මෙන්ම සංගීතවේදියාගේ තම කෘත්‍යයෙහි අධිසමත් බව මැනවින් විද්‍යාමාන කරයි. 

NEWS

හඬ මත පැටළුණු අකුරු | 68 වන දිගහැරුම

  • Date: 2022-02-26