Blog



ගිං ගඟේ විලාපය නම් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් ම මහත් පාඨක හරසරට පාත්‍ර වූ ඔහු නමින් නන්දන වීරසිංහ නම් වේ. දශක හතරක් ඉක්ම වූ නිර්මාණකරන දිවිය තුළ විවිධ සමාජීය, ආර්ථික මෙන් ම බෙහෙවින් ම සියුම් ආධ්‍යාත්මික ‌තේමා ඔස්සේ  තම පන්හිඳ මෙහෙයවමින් පාඨකයාගේ භාවයන් මෙන් ම බුද්ධිය එකවර ස්පර්ශ කිරීම ඔහුගේ කවි මගෙහි විශේෂත්වයකි. 2018 වසරේදී රාජ්‍ය සම්මානයට සහ ගොඩගේ සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ නිර්මාණ එකතුවක් වන “ක්ෂණ නියාම” කාව්‍ය සංග්‍රහයට ඇතුළත් “රථය පැමිණෙන්ට පළමුව” කාව්‍යය මෙම සංවාදයට පාදක විය. "රථය පැමිණෙන්ට පළමුව" "කුඩා වුව මඳක් මා රැඳෙන මේ කුටි‌ගෙය වටා වන ලොවට හළ කවුළු දිගු පුළුලු ය පුරා රැය ගඟන තරු උලෙළ ඒහි විස්මය බලා ඉමි අරුණු එළියේ සිඳෙන අසිරිය දිවා සේයා දිගෑදී ගෙවී ඈතකට සැඳෑ හමුවේ මුසු ව යේ කළු ම රැයකට ඇසේ බටනළාවක සර ළඟ ම ඉවුරක ගෙවීයේ නිසලතාවේ ඉමේ පත්ලට නිවී ගිය පවන හිටි පියෙන් මෙන් නතර වුණ වැවේ දිය තරඟ මත වෙයි මිදීමෙක උවන සරා දෙතෙරෙහි නිමා කොට දිනෙක තුටු මෙහෙය මඟී ඔරුකඳේ කුස සඳේ දියරේ නිවෙන නිම් නො වන තුටකි මේ කුටිය තුළ දින ගණන සන් කරන මෙන් දොරට ශරත් කල ඇත ළඟ ම මම් දකිමි විහඟුන් ද, වලාකුළු වියපත් ව යම් කෙනෙකු දමා ගිය කවි පොතක පිටුවකින උදාගිරි මුදුන දිදුලයි රැයක් ගෙවාහැර අගාරය හරිමි තව දවසකට ගෙවී යන එදා මෙහි ආ ගමන, යන්ට නියමිත ගමන සැබෑවකි දෙකක් නොව එකකි රිය ආ සැණින" "රථය පැමිණෙන්ට පළමුව" කියන මේ කවිය 2018 වසරේ පළ කරපු “ක්ෂණ නියාම” කියන මගේ කවි පොතේ අවසන් කවිය. මේ කවිය පොතේ අවසන් කවිය විදියට තෝරගත්තෙත් විශේෂ හේතුවක් ඇතිව. මොකද මේ කවියෙන් මම අපේක්ෂා කළේ මරණය ගැන යම් ඇඟවීමක් කරන්න. කවිය ගැන විස්තර කරන්න කලින් මේ වගේ කවියක් මගේ අතින් ලියැවෙන්න මඟ පාදපු පසුබිම විස්තර කළොත් 'බෂෝ' කියන ජපන් ජාතික කවියාගේ අවසාන කවියේ ආභාෂය මෙහෙම කවියක් ලියවෙන්න හේතුව විදියට දක්වන්න පුළුවන්.   “ගමනකදි ගිලානව අයාලේ යයි මගේ සිහිනය.... මැළවුණු කෙත්වතු මැදින්”   මේ කවි විශේෂය හඳුන්වන්නේ "Death Poems" නමින් . සිංහලෙන් මරණය සිහිපත් කරන කවි- 'මරණ පරායන' කවි නමින් හඳුන්වන්න පුළුවන්. මරණය බොහොම නිර්භයව, සතුටින් සමරන ජාතියක් තමයි ජපන්නු කියන්නෙ. ඒ කවියො අතර තමන්ගේ මරනය දවසෙම කවි ලියාපු කවියො ඉන්නවා. මරණයට පැය දෙක තුනකට කලින් කවි ලියාපු කවියො ඉන්නවා. මරණය ගැන කිසිම බියක් ඔවුන් තුළ තිබිලා නෑ. ඒ වගේම මරණය කියන වචනය ඒ කවිවල කොතනකවත් ලියැවිලාත් නැහැ. මරණය අඟවලා තියෙන්නේ සංඛේත රූප ආශ්‍රයෙන්. තවත් කවියක් ආශ්‍රයෙන් ඒ ගැන පැහැදිලි කළොත්; “යළි හැරී නිම්නය නරඹත සේයාවකදු නොපෙනේ ගෙපැළක කොවුල් නද වැකේ සවනත” මේ කියන්නේ මේ කවියාගේ මරණය උදා වූ මොහොත ගැන. ආයෙමත් හැරිලා නිම්නය දිහා බලනවා. ගෙපැලක්වත් නැහැ පෙනෙන්න. කොවුල් නාදයක් විතරයි ඇහෙන්නෙ. කොවුල් නාදය අපේ සංස්කෘතිය ඇතුළෙ නව අවුරුදු උදාව ගැන සංඥාවක් විදියට භාවිත කළත් ජපානයේ කොවුලාගේ ඇඬීම සැලකෙන්නෙ මරනයේ සංඥාවක් විදියට. ඒ සංස්කෘතික වෙනසත් අප අවබෝධ කරගැනීම වැදගත්. මම දකින විදියට අපි විදෙස් නිර්මාණකරුවොන්ගෙත් නිර්මාණ අධ්‍යයනය කරනකොට තමයි අපිට හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙන්නෙ. අපේම රටේ අපේ පැරණි කවිවලට සීමා වීමෙන් නෙවෙයි. නිර්මාණකරුවෙකුට ලෝකයට විවෘත වුණු ඇහැක් තිබීම වැදගත්. එතකොට තමයි කලා කෘතියක් විශිෂ්ට වෙන්නෙ. සිනමාව වුණත්, නවකතාව වුණත්, අන්තර්ජාතික නිර්මාණ ඇසුරු කිරීම මඟින් තමයි පුළුල් වෙන්නෙ. මමත් නිර්මාණකරනයෙදි ඒ ඇසුර අඛණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. “කුඩා වුව මඳක් මා රැඳෙන මේ කුටිගෙය වටා වන ලොවට හළ කවුළු දිගු පුළුලු ය” මෙතැනදි මම ජීවිතය උපමා කරලා තියෙන්නේ පුංචි කුටියකට. නමුත් ඒ කුටියෙන් බාහිර ලෝකයට විවෘත වුණු කවුළු, ජීවිතය ගැන දැක්ම, හුඟක් පුළුල්. “දිවා සේයා දිගෑදී ගෙවී ඈතකට සැඳෑ හමුවේ මුසු ව යේ කළුම රැයකට” දිවා කාලයේ සෙවනැලි පවා සැඳෑ සමයත් එක්ක කෙමෙන් වෙනස් වෙන හැටි අපි දන්නවා. “සරා දෙතෙරෙහි නිමා කොට දිනෙක තුටු මෙහෙය මඟී ඔරුකඳේ කුස සඳේ දියරේ නිවෙන” මම මේ භාවිත කරලා තියෙන චිත්තරූප ඔස්සේත් මරණය ගැන යම් ඇඟවීමක් කරනවා. දවසේ චාරිකාව නිමා කරපු ඔරු කඳ පවා නිසලව තියෙන හැටි තමයි මේ කියවෙන්නෙ. “නිම් නොවන තුටකි මේ කුටිය තුළ දින ගණන සන් කරන මෙන් දොරට ශරත් කල ඇත ළඟ ම” මේ කුටිය තුළ ගත කරන කෙටි කාලය සතුටක්...ජීවිතය එහෙම විය යුතුයි කියලයි මම දකින්නෙ. ශරත් කාලයෙනුත් ළඟ එන මරණය ගැන යම් ඉඟියක් සපයනවා. “එදා මෙහි ආ ගමන, යන්ට නියමිත ගමන සැබෑවකි දෙකක් නොව එකකි රිය ආ සැණින” එදා මෙහි  ආ ගමන කියන්නෙ උපත...යන්ට නියමිත ගමන මරණය. අවසන් වශයෙන් කියන්නෙ මේ කථකයා බොහොම උපේක්ෂාවෙන් මරණය එන තෙක් බලාගෙන ඉන්න බව.   මෙතැනදි මරණය කියන එක පැහැදිළි කරන්න නෙවෙයි මම උත්සහ කළේ. මේ චිත්තරූප සමුදායක් මඟින් මරණය කියන දේ දනවන්න...ඒ වගේම මරණය කියන්නෙ බොහොම ස්වාභාවික සංසිද්ධියක්, ඒ බව අපි අවබෝධ කරගත යුතුයි කියලා දනවන්න තමයි මගෙ උත්සහය වුණේ.  ඔබතුමා මේ කවිය ලියන්න පාදක වෙච්ච මුල් නිර්මාණ ගැන සඳහන් කළා. ඊට අමතරව මේ වගේ කවියක් ලියැවෙන්න බලපාපු ඔබතුමාට සමීප වුණු පෞද්ගලික ජීවිතයේ අත්දැකීමක් තියෙනව ද? අපි කවුරු වුණත් ජීවිතය හුඟක් දුරට සතුටින් ගත කරනවා වගේ ම මරණය, නැතිනම් අවසානය ගැන මෙනෙහි කරනවනෙ- එහෙම කරන්න අවශ්‍යයිනෙ අපි. හැමදාමත් තව තවත් දේවල් අත්පත් කරගනිමින් ම ඉන්න බැහැනෙ. කවදාක හරි මරනයට මුහුණ දෙන්න සිද්ධ වෙනවනෙ. පොත්පත්වල, සෙන් දහම වැනි ඉගැන්වීම්වල මේ පිළිබඳව විස්තරාත්මකව ලියැවිලා තියෙනවා. ඉතින් මට දැනෙන විදියට පෞද්ගලික ජීවිතයේ අත්දැකීමකට වඩා මේ මරණය කියන පොදු ධර්මතාවය මෙනෙහි කිරීමක් වගේ දෙයක් තමයි මේ කවියෙන් කියවෙන්නෙ. ඒ මෙනෙහි කිරීම මරණයට බයවෙල‌ා කරන මෙනෙහි කිරීමක් නෙවෙයි, මරණය බොහොම සෞන්දර්යාත්මක, එහෙමත් නැත්නම් සැනසිලිදායක අවස්ථාවක් හැටියට මෙනෙහි කිරීමක්. මේ කවිය ඔබතුමාගෙ මෑතකාලීන නිර්මාණයක්. "ගිං ගඟේ විලාපය" වැනි ඔබතුමාගේ මුල් කාලීන නිර්මාණවල වස්තු විශයන්, තේමාවන්, කවි ලියැවිලා තියන ශෛලීන් එක්ක සංසන්දනය කරද්දී මේ කවියේ වෙනස්කම් රැසක් නිරීක්ෂණය වෙනවා. ඒ ගැන යමක් කියන්න කැමති ද? මම දැන් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් කාව්‍ය නිර්මාණයේ පමණක් ම නිරත වෙලා තියෙනවා. "ගිං ගඟේ විලාපය" තමයි මගේ මුල් ම කවි පොත. ඒක මට යම්කිසි ගමනක් එන්න මුවදොරක් වගේ වුණු කවි පොතක්. නමුත් එතනින් ආරම්භ කරපු ගමන කාලානුරූපීව වෙනස් වෙනවනෙ. අපේ කවිවල මුහුණුවර වෙනස් වෙනවා. අපේ කවිබස වෙනස් වෙනවා. කවිය පිළිබඳ හැදෑරීම,  ආකල්ප, මේ සියල්ල වෙනසකට භාජනය වෙනවා. අපි තවතවත් කාව්‍ය පරිශීලනය කරනවා. උසස් කවියොන්ගේ නිර්මාණ සමඟ ගැවසෙනවා. ඉතින් ඔය විදියට අපේ කවිමග, කවිබස, ප්‍රකාශන ලීලාව වෙනස් වෙනවා. පහුගිය අවුරුදු තිස්අට ඇතුළත මගේ කාව්‍යකරණය හුඟක් වෙනස් වෙලා. "ගිං ගඟේ විලාපයේ" හිටපු කවියා දැන් නැහැ. ඊට පසුව ලියැවුණු කෘතිවල හිටපු කවියාත් දැන් නැහැ. දැන් වර්තමානයට මුහුණ දෙන නිර්මාණකරුවෙක් ඉන්නෙ. ඉදිරි කාලයෙදි වැඩ කරන්න ලැබුණොත් මීටත් වඩා වෙනස් නිර්මාණ බිහිවෙන්න පුළුවන්. ජීවිතයේ හැම දෙයක් තුළ ම තියෙන්නේ ඒ වෙනසනෙ, නේද?   බාහිර විචාරය හුස්ම ගන්න අකුරු මතින් දිව ගොස්, ජීවිතයේ යථාර්ථය මොනවට සහෘද හදට සමීප කරවන නන්දන වීරසිංහයන්ගේ "රථය පැමිණෙන්නට පෙර" මා දුටු දෘෂ්ටිකෝණයෙන් විවරණය කරන්නට අවසරයි.   "කුඩා වුව මඳක් මා රැඳෙන මේ කුටිගෙය වටා වන ලොවට හළ කවුළු දිගු පුළුලු ය....."   මේ පැදි පෙළ ආරම්භ වන්නේ සහෘද පාඨකයාගේ චිත්තසන්තානයේ ජීවිතය ගැන නොපෙනුණ ගැඹුරු කතාවක් සිත්තම් කරමිනි. පළමු සතර පද පේළිය ඒ පිණිස තෙලිතුඬ සේ ක්‍රියා කරයි. මෙහි එන කතා නායකයා ඉතා සරල බලාපොරොත්තු සහිත චාම් දිවි පෙවෙතක් ගත කරන අයකු බව පළමු කවි පේළි දෙකෙන් කියැවේ. ඔහු රැඳෙන්නේ කුඩා කුටියක ය. එය කුටියකි. මහා සුවිසල් මන්දිරයක් නොවේ. එහි විවර කළ දිගු ජනෙල් කවුළු විවෘත වන්නේ වටා ඇති වන පියසට යි. වනපියස නිසල, ගුප්ත බවත්, විටෙක ජනශුන්‍ය බවත්, එකෙණෙහිම ඔහු ප්‍රිය කරන හුදකලා දිවිපෙවෙතත් අර්ථ නිරූපණය කරයි.    "පුරා රැය ගගන තරු උලෙළ එහි විස්මය  බලා ඉමි අරුණු එළියේ සිඳෙන අසිරිය....."   අහස් ගැබ සිසාරා දිස්නය  දෙමින් පායා ඇති දහස් ගණන් තරු දෙස බලා සිටින බව ඔහු තෙවන පැදිපෙළෙන් පවසන අතර, සිව්වන පැදිපෙළ ආරම්භයේ දී ම එකී දිස්නය ඇති තාරකාවන් උදෑසන හිරු නැඟෙන කල නිවී යන අයුරු  දකින බව පවසන්නේ ජීවිතය නම් වූ අපූරු චාරිකාවේ සදාතන සත්‍ය බඳු වූ 'අනියත බව' නොඑසේ නම්, ඒ 'අස්ථිර බව', අවබෝධයෙන් දත් පරිණත හැඟීම් පෙරදැරි කරගෙන බව සහෘදයා වෙත දිග හරිමිනි.   "දිවා සේයා දිගාදී ගෙවී ඇතකට  සැඳෑ හමුවේ මුසු වයේ කළු ම රැයකට...."   දෙවන සතර පැදිපෙළ අර්ථ විවරණය ආරම්භ වන්නේ පෙර කවියට නෑකම් කියන කරුණක් හා, යා වෙමිනි. හිරු රජවෙන දිවා කාලය කෙමෙන් ගෙවී, සැඳෑ කාලය උදාවී, එයද දුරුවී, ඝණදුර විසින් ආලෝකය වෙලාගෙන රාත්‍රිය උදාවන අයුරු මෙහිදී පළමු කවි පේළී දෙකෙන් කියවේ. උක්ත පෙර කවියේ සඳහන් වන අනියත බව ඔහුගේ ජීවිතයට එක් අතකින් බද්ධ වූ හැඟීමක් බව මෙයින් තහවුරු කිරීමට උත්සහ ගනී.    "ඇසේ බටනළාවක සර ළඟස ඉවුරක  ගෙවී යේ නිසලතාවේ ඉමේ පත්ලට...."   එලෙසින්ම, බටනළාවකින් නැඟෙන නාදය සමග ඔහුගේ සිත එක්තැන් වී නිසල වන අයුරු තෙවන පැදි පෙළේ විග්‍රහ කරන අතර, අත්දැකීම් බහුල තම ජීවන ගමන දෙස ඔහු උපේක්ෂාවෙන් බලා සිටින බව මෙහිදී කියැවේ. මෙකී පැදි පෙළ කියවන විට මටද, මගේ සිත නිමේෂයකට උපේක්ෂාව තුළ ගිලී ගියාක් මෙන් හැඟුණි.   "නිවී ගිය පවන හිටි පියෙන් මෙන් නතර වුණ වැවේ දිය තරඟ මත වෙයි මිදීමෙක වුවන...."   සුළඟ නිබඳව චංචල ය. එය එක් තැනක සිට තවත් තැනකට ගලා යයි. එකී සුළඟ හිටි පියවනම එකතැනක නතර වන්නේ ටිකෙන් ටික හමන වේගය අඩුවී ගොසිනි. වැව් ජලයද එසේ ම යි. නිරන්තරයෙන් සුළං හා පැටලෙමින් කල්ගත කරයි. එනම් නිරන්තරයෙන් චංචලව හිඳී. මෙහි මුල් දෙපේළියෙහි ඔහු පවසන්නේ සුළඟ හිටිවනම නවතින බවත්, එවෙලෙහිම වැව්දිය ද නිසල වන බවත් ය. "සරා දෙතෙරෙහි නිමා කොට දිනෙක තුටු මෙහෙය මඟි ඔරුකඳේ කුස සඳේ දියරේ නිවෙන...."   තෙවන හා සතර පැදි පෙළෙන් ගමන් නිමාකොට ගිමන් හරින ඔරු කඳක් ගැන කියැවේ. මෙය ගිමන් හරින්නේ ද, දවසේ නියමිත මෙහෙය අවසාන කිරීමෙන් අනතුරුව ය. එකී ඔරු කඳ මතට සඳ රැස් ද වැටී ඇත. තම ජීවනකතාවේ තමාට ඉටු කරන්න ලැබුණ වගකීම්, යුතුකම් අකුරට ඉටුකොට පසුතැවිලිවලින් තොරව, සතුටින් හුස්ම ගන්නා කතානායකයා වන ඔහු තම ජීවිතය ගත කළ ආකාරය පිළිබඳ අදහස් මෙහිදී ලබාදීමට උත්සාහ කරන බව පෙනේ.   "නිම් නොවන තුටකි මේ කුටිය තුළ දින ගණන සන් කරන මෙන් දොරට ශරත් කළ ඇත ළඟ ම...."   ඔහු දැන් සිටින්නේ වියපත් වියේ ය. බොහෝවිට වියපත්වන හදවත්වල නැඟෙන්නේ දුක් මුසු වේදනාවන්. විටෙක සන්තාපයක් හෝ පසුතැවීමක්. ඊට බලපාන්නේ ඇති හැකි කාලේ තමන් කළ කී දෑ සිහිවීමයි. මෙහිදී මෙකී ඔහු නම් ඉතා සතුටෙන් කුටිය තුළට වී හිඳින්නේ ය. එළඹෙන සරත් ඍතුව ගැන ඔහුට කිසිදු බියක් නැත. වියළි තුරුපත් පොළෝතලය සිප ගන්නා සරත් ඍතුව, අනියත බව නම් ලෝක සනාතන සත්‍ය මොනවට කියාපාන සාහිත්‍යමය උදාහරණයකි.    "මම් දැකිම් විහඟුන් ද වළාකුළු වියපත්ව යම් කෙනෙකු දමා ගිය කවි පොතක පිටුවකින...."   තෙවන හා සතර වන පැදිපෙළ පාඨක හදවත් මොහොතකට සංවේදී කරන්නේ ඔහුගේ යථාර්ථවාදී මනස ගැන තේජාන්විත හැඟීමක් හද වෙලා ගනු පිණිස ඉඩ හරිමිනි. එහිදී ඔහු වරෙක වළාකුළු ද, විහගුන් ද, දකින බව පවසයි. වළාකුළු ද, විහඟුන් ද, එක තැන නතර වී නො පවතින චංචල වස්තූන් බව අපි දනිමු. එසේ නම් ඔහු මේ කියාපාන්නට අදහස් කරන්නේ කුමක් ද? ඔහු හඳුනගත් ඒ සදාතන සත්‍යය, සොබා දහමටම එලෙසින් ම අවනත බව ස්ථිර වශයෙන් තහවුරු කිරීමට ජීවමාන සාධක සැපයීමකි. යම් කෙනෙකු දමා ගිය කවි පොතක පිටුවකින් ඔහු මෙය දකින බව පවසන්නේ,  එය තුන් කාලයටම අයත් පොදු සත්‍යයක් බව තම සිතට වටහා දෙමිනි. එමෙන්ම කවිපොත යන්න ඔහුගේ පරිණතභාවය සම්බන්ධව පොත්පත්වලට ඇති නෑකම ආමන්ත්‍රණය කරන බව වරෙක මට සිතේ. "උදාගිරි මුදුන දිදුලයි රැයක් ගෙවාහැර අගාරය හරිමි තව දවසකට....."   අවසාන පැදිපෙළ මෙසේ වෙයි. රැයක් ගෙවී උදෑසන එළඹෙන කල ද, නැවත රාත්‍රිය එළඹෙන කල ද, උදාගිර මාරුවෙන් මාරුවට හිරු රැසින් බැබළීමත්, නැවත අඳුරු වීමත් සිදුවෙයි. මෙය චක්‍රයකි. එකෙණෙහිම, නොදැනීම අපගේ ජීවිත දිනපොත ද, දිනෙන් දින, කෙමෙන්කෙමෙන් ගෙවී යයි. යන්ට නියමිත ගමනට අවැසි එකී දිනය නොදැනීම ළංවෙයි. මෙම පැදිපෙළ අවසාන වන්නේ ඉතාමත් යථාර්ථවත් ස්වරූපයකිනි.  " එදා මෙහි ආ ගමන යන්ට නියමිත ගමන සැබෑවකි දෙකක් නොව එකකි රිය ආ සැණින...."   ආ විලසින්ම යා යුතු බවත්, පැමිණි රථයම නැවත නිසිකලට අත වනනු ඇති බවත් කියමින් ඔහු කවිය අවසාන කරයි.  එය සැබෑවකි. නූල් පොටක තරම් දෙයක් මිටි ගුලි නො කරගෙන තනිව මෙහි ආ සත්ත්වයාට, එලෙසින් ම නිරුවත් දෑතින් මෙකී රථයෙන් ම මෙහෙන් යාමට සිදුවෙයි. නො වැරදී ම දවසක මෙසේ නික්ම යාමට වන බව දැනගෙනත් සිනාමුසු මුහුණින් කුටිය තුළ දිවිගෙවන මෙකී සුන්දර මිනිසා හෙවත් කතානායකයා අපට පෙන්වා දෙන්නේ යථාර්ථවාදී දිවිපෙවෙතක ඇති සැඟවුණු සවිමත් සැහැල්ලු බවෙහි අපූර්වත්වය යි.   ජීවිතය වූ කලී අපූර්ව රඟමඩලකි. ගොඩවන විට දී ම, එලෙසින් ම, ආපසු නික්මෙන්නට පොරොන්දුපත්‍ර ගිවිසගෙන ඇති යථාර්ථවාදී සතතාභ්‍යාසයකි. තත්ත්වාකාරයෙන් ම ඒ පරමාදර්ශී ය. සර්ව සාධාරණ ය. මන්ද, ආ විලසින් ම යා යුතු ව ඇත. නමුදු, යම් අසාධාරණත්වයක් ද එහි කැටිව නැතුවා ම නොවේ. ඒ මන්දයත්, එන බව කල් තියා දැනගෙන උන්න ද, යන්නට නියමිත කලක් තියා එහි හාංකවිසියක්වත් නොදැන ජීවන වේදිකාව මත ආයාසයෙන් නමුත් නිරායාසයෙන් රංගනයේ  යෙදීමට අප කාටත් සිදුවීම යි. නමුත්, ඒකාන්තයෙන් ම රථය පැමිණෙන බව දන්නා නිසා, රථයට අඩිය තැබීමට පෙර අවසාන වතාවට හැරී බලන කල කිසිදු ආකාරයක පසුතැවීමක් ,දුකක් සන්තාපයක් නොමැති වන ලෙස, උක්ත සුන්දර මිනිසා සේ ම අපටත් අපගේ ජීවිතය හැඩගස්වා ගන්නට හැකිනම්, සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ යුතුකම්වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් මෙන් ජීවිතය තුළ දිනපතා ජීවත්වීමට හැකි නම්, එදින අප කාටත්  සිනාසී අත වැනීමට පුළුවන්කම ලැබේවි. සුන්දර ගමනාන්තයකටද  උරුමකම් කියන්නට හැකිවේවි.

NEWS

මං ආස ම මගේ කවිය | 18 වන දිගහැරුම | නන්දන වීරසිංහ සමඟින්

  • Date: 2022-02-28