Blog



අපි දන්නවා, නෑ අපි දන්නෙ නෑ අපි දන්නෙ නෑ, නෑ අපි දන්නවා බොහෝ දෙනෙක්ට මේ මාතෘකාව මොකක් ද කියන එක ගැන ලොකු අවබෝධයක් නැතුව ඇති. ඒ නිසා තමයි මං කලින් දන්න දන්නැති කතාවකුත් කිව්වෙ. සමහරවිට පහත පද පේළි ටිකෙන් පොඩි අදහසක් ලැබෙයි. කාලේ ආලේ කළේ චුම්බන මුග්ධකම ගත් විශ්වාස වෙස ඕන වූවත් රකින පතිවත ළඳක් වන්නට සැවොම අගයන සුන්වුණා හැම අහස් මාළිග තනිවු විට දරු ගැබක් දරාන සිතිජ ඉම හිරු ගිලින යාමෙට විච්චූරණෙ ඇඳුම් ඇඳගෙන පාට කළ වත සායමෙන් වැසි කඳුළු අන්දර නොපෙනුණෙ කිම නේක ගැරහුම් චෝදනා මැද දළු ලා වැඩෙන ස්නේහ දාරක නිසා කන් දොරගුළු දමාගෙන අවිග්නොන් යුවතියන් ගියමග ගොසින් සළුපට ලිහා දැමුවේ කඳුළු කැට පොදියකට අරගෙන පවක්දෝ පෙර ජන්මභාවෙක ගෙවන්නෙ ඒ අභිසාරලිය... බොහෝවිට දැන් පැටලිලි සහගත බව ටිකක් අඩු වෙලා ඇති. මොකක් ද මේ "අවිග්නොන් යුවතියන් ගියමග" කියන්නෙ? ඒ තමයි ලෝක ප්‍රකට පැබ්ලෝ පිකාසෝ සිතුවම් ශිල්පියා විසින් කැන්වසය මත සායම් කරපු ලොව ප්‍රථම ඝනිකවාදී සිතුවම. නිව්යෝර්ක් හී නූතන කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම සිතුවමට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ අවිග්නොන් නම් වීදියේ සරන වීදි ස්ත්‍රීන් පස්දෙනෙකු වස්තු විෂය වී ඇත. මෙහි දී ස්ත්‍රීන්ගේ බාහිර කායික සෞන්දර්ය ඉස්මතු කරනවා වෙනුවට අභ්‍යන්තර හැඟීම් ඉස්මතු කරවීමට ජ්‍යාමිතික හැඩතල හා වර්ණමාලාව මනාව යොදාගෙන තියෙනවා. දවසක් මේ චිත්‍රය ගැන මගේ හිතට නැගුණු සිතුවිලි කීපයක් හා සමාජ සංසිද්ධියක් සම්බන්ධ කරලා හදපු කාව්‍යමය අනුපිළිවෙලක් තමයි මං කලින් සඳහන් කළේ. සමාජය තුල එතරම් කතාබහට ලක් නොවන, කතබහ කිරීමට මැළි වන මේ මාතෘකාව ඔස්සේ මට දැනුණු දෙයක් පිළිබඳ පොඩි විස්තරයක් කරන්න තමයි මං මේ ලිපිය ලියන්නෙ. මේක වර්තමාන සමාජය තුළ ඉතා සුලබව දකින්න පුලුවන් දෙයක්. "Single mom" බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක්. මාතෘත්වය හා පීතෘත්වය යන උත්තම පදවි දරන්න පෙරුම් පුරන සමාජ වේදිකාව තුළ ඉතාමත් අවාසනාවන්ත ලෙස අතලොස්සක් කාන්තාවන්ට "single mom" කියන භූමිකාව රඟ දකවන්න වෙනවා. ඉතාම හොඳ අන්දමින් දිරිය ලියන් ලෙස සමාජයට ආදර්ශ සපයමින් මෙම අභියෝගය සාර්ථකව ජයගන්නා කාන්තාවන් වගේම සමාජය මඟින් එල්ල වන පසුබෑම් ඔස්සේ හෝ වෙනයම් හේතු නිසාවෙන් හෝ අවිග්නොන් යුවතියන් ගිය මග තෝරාගන්නා ලියන් ද ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ කරුණක් නෙවෙයි. ඉතින් මේ යුවතියන් බොහෝමයක් රත් පැහැ කළ දෙතොල්, සායම් කළ කොපුල් දරාගෙන හිටියට ඒ නේක සායම් වලින් වසන් වුණු බොහෝමයක් කඳුළු කතා තියෙන්න පුලුවන්. ඒ නිසා ඒ සායම් තලි වලින් පහතට ඇති ප්‍රපාතය කොතරම් බියකරු ද, දුක්බර ද කියන්න මතුපිට නිරීක්ෂණය කරන්නෙකුට බෑ. ඒකයි මං පටන් ගනිද්දි කිව්වෙ අපි දන්නවා කියලා හිතන් ඉන්න දේවල් අපි දන්නෙත් නෑ, හැබැයි අපි දන්නෑ කියලා හිතන් ඉන්න දේවල් සම්පුර්ණයෙන්ම නොදන්න්වා වෙන්නෙත් නෑ. මොනම ප්‍රශ්නයකට වුණත් මතුපිටින් පිළිතුරු හොයනවට වඩා ගැඹුරින් පිළිතුරු හොයන කොට සාර්ථක පිළිතුරු ලැබෙන්නෙ ඒ නිසයි. කවියෙන් කියෙවෙන විදියට තම පිවිතුරු ආලයට දිවි පුද කරන ළඳක්, තම විශ්වාසය මුග්ධකමක් වුණාට පස්සෙ තමාගෙ දරුවා රකින්න අපරිමිත වෙහෙස දැරීමෙන් පසු අවසානයේ සමාජයෙන් එල්ලවන දැඩි තාඩන් පීඩන නිසා තම හෘද සාක්ෂිය පසෙකලා අවිග්නොන් වීදියේ සරන්නියක් බවට පත් වෙන්න වුණු, තම හෘදයෙන් නැගෙන දුක් අඳෝනා, එරෙහිවීම් උකසට තියලා තම දරුවගේ කුස පුරවන්න ඕනේ යන්න එකම හැඟීම කරගත් ස්ත්‍රියක් මේ සිතුවමේ ඉන්නවා ඇති කියන සිතුවිල්ල මගේ හිතට නැගෙන්නෙ මෙහි ස්ත්‍රීන්ගේ මුහුණේ මානසික ප්‍රතිවිරෝධි ලක්ෂණ හා හැගීම් තීව්‍ර කීරීමට මෙහි ජ්‍යාමිතික හැඩතල හසුරුවා ඇති නිසාවෙන්. ඉතින් ඕනෑම මවකට තම දරුවන් මාණික්‍යක්. දරුවන් විෂයයේ තියෙන්නේ ආදරයම පමණයි. ඒ නිසා අවිග්නොන් මාවත තමන්ගේ ඉරණම කරගත් ස්ත්‍රියකුත් පිකාසෝ සිතුවම් ශිල්පියාගේ මේ "අවිග්නොන් යුවතියෝ" කියන චිත්‍රය තුළත් ඇති කියලා මගේ හිතට නැඟුණු සිතුවිල්ලක් තමයි මං ඒ විදියට විස්තර කළේ...

NEWS

විභව Unframed | Episode 53 | අවිග්නොන් යුවතියන් ගිය මග...

  • Date: 2022-03-04