Blog



පක්ෂ පාට බේද නොසලකා, ව්‍යංගාර්ථවල හංගමින් හා මහත් වචන හරඹයකින්, වත්මන් සමාජ ආර්ථික හා දේශපාලනමය තත්ත්වය විස්තර වී ඇති මෙම ගීතය පද රචනය කර ඇත්තේ කුමාර හෙට්ටිආරච්චි මහතා විසිනි. උත්ප්‍රාස රසය සහ හාස්‍ය රසය මිශ්‍ර කරමින් සංගීතවත් කර ගායනා කරන්නේ ඉන්දිකා උපමාලි මහත්මිය යි. ඇසිය යුතු ගීතයකි. අසමු.   ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගේන්නට පොළට යමි   ආච්චිට හාල් ගරන කියමන කාලෙක සිට පැවත එන කියමනක්. කළ යුතු දේ දහසක් තිබියදී නොකළ යුතු දේවල් පිළිබඳව සලකා කටයුතු කරන බව මෙයින් අදහස් කරනවා. හාල් ගැරීමට නම් නෑඹිලියක් අවශ්‍ය ය. ආච්චිට හාල් ගරන සමාජයක් තුළ ජීවත්වීමේදී අපිට සිදු වන්නේ ද නෑඹිලියක අවශ්‍යතාවය සපුරා ගැනීමට ය.   කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදි කරවිල කමි   දිරි දීමනා, ඉඳුම් හිටුම් එකී නොකී දේවල් ලබා දෙන බව කී වචනයම හුදු මායාවක් බව පසුවට තේරුණු පසු සිදුවන්නේ කොහොඹ ගහ යටදීම කරවිල කෑමට පමණකි.   ජිනීවා කුඹුරකින් පිදුරු කා  යැංකි කුසලානයෙන් වතුර බොමි   දේශපාලන කුමන්ත්‍රණ, රාජ්‍ය කුමන්ත්‍රණ හමුවේ දේශමාමකත්වය, දේශාභිමානය පසෙකලා අරාජික රට වැසියන් සේ සිටීම සිදුවී ඇති බව මෙයින් පැවසේ. යැංකිවරු යනු උතුරු අමෙරිකානු සම්භවයක් සහිත ජන කොට්ඨාසයකි.    හොවැංහෝ ගඟට පැන එගොඩ වී පරෙයියන් සමඟ මම බජිරි කමි   හොවැංහෝ නදිය අයත් වන්නේ චීනයට බව බොහෝ අයකු දන්නා කරුණක්. හොවැංහෝ නදියෙන් එතෙර වුවත් ලැබෙන්නේ හාල් නොව බජිරි ය. ව්‍යංගාර්ථයෙන් ලබාදෙන කරුණු නම් සංවේදීය.     නාගයන් සමඟ අමනාප වී මාපිළුන් සමඟ මම හාද වෙමි   ඉඟුරු දී මිරිස් ගත්තා වැනි කියමනකි. සරලය. නමුත් ගැඹුරුය. කවදත් රැවටේ. මෙය චක්‍රයකි; එපමණකි.   උගුඩුවන් සමඟ ඇටිකෙහෙල් කා නවදොරෙන් සිනාසී ගෙදර යමි.   ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ අප බලා සිටින්නේ අපේම ජනතා නියෝජිතයින් දෙස ය. බලා සිටීම හා සිනහවීම හැර කලයුතු කිසිවක් නැති බව පැවසේ.   වඳුරන්ගෙ බණ දිවා රෑ අසා පසිඳුරන් කඩදාසියක ඔතමි සියල්ලම වෙන්දේසි වන නිසා හිරිඔතප් බන්දේසියක තබමි.   පූජාසනය හා රාජාසනය අතර දෝලනය වන වැදිබණ හමුවේ රට වැසියන්ට සිදු වනුයේ ඇස කන නාසය දිව ශරීරය යන පසිඳුරන් කඩදාසියක එතීම පමණි. සියල්ල මුදලට සීමා වන සමාජයක් තුළ ජීවිකාව සරිකර ගැනීමට නම් ලැජ්ජාව හා බිය පසෙකට තැබීමට සිදු වීම ඛේදජනකය.    සමාජයෙන් තොර දේශපාලනයක් ද දේශපාලනයෙන් තොර සමාජයක් ද නැත. කිසිවක් අවැසි නැත. සිතීම පමණක් ඔබට භාරය.    ***   ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගේන්නට පොළට යමි කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදි කරවිල කමි   ජිනීවා කුඹුරකින් පිදුරු කා  යැංකි කුසලානයෙන් වතුර බොමී හොවැංහෝ ගඟට පැන එගොඩ වී පරෙයියන් සමඟ මම බජිරි කමි   නාගයන් සමඟ අමනාපවී මාපිළුන් සමඟ මම හාද වෙමි උගුඩුවන් සමඟ ඇටිකෙහෙල් කා නවදොරෙන් සිනාසී ගෙදර යමි.   වඳුරන්ගෙ බණ දිවා රෑ අසා පසිඳුරන් කඩදාසියක ඔතමි. සියල්ලම වෙන්දේසි වන නිසා හිරිඔතප් බන්දේසියක තබමි.   ●ගායනය හා සංගීතය - ඉන්දිකා උපමාලි ●පද රචනය - කුමාර හෙට්ටිආරච්චි

NEWS

හඬ මත පැටළුණු අකුරු | 69 වන දිගහැරුම

  • Date: 2022-03-05