Blog



ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය දුංකොළ කපා වේලා දහවල අව්වේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ හංගාගෙන වගේ පියයුරුවල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය තනුවට අර්ථ නිරුද්ධ වචන ටිකක් අලලා නැගෙන ශබ්ද රසෝද්පාද්‍ය ගීත සුලබව සවන වැටෙන නූතන සමාජයෙන් ඇසුණු අර්ථ රසයෙන් බෙහෙවින් ම සුපෝෂිත ගීතයක් වන "සේපාලි" ගීතය පිළිබඳව මට හැඟෙන දේ විචාරය කරන්න ඕනෙ කියලා මට හිතුණා. මොකද ඒ ගීතයේ අර්ථයට වගේම නාද රටා, රූප රටා යන සියලු දේට මම එක හා සමානව ප්‍රිය කරන නිසා. රූප රචනය ආරම්භයේදි ම නැගෙන කුරුලු නාද හා සංගීත ඛණ්ඩය ලොකු කතාවක් කියන්න මුල පුරන බව මනාව ඉඟි කරනවා. ඇත්තටම ඒ සංගීත ඛණ්ඩ පෙරමං තැනුවා වගේම ගීතය පුරා හරි ම සංවේදී කතාවක් දිගහැරෙනවා. ඒ වගේම තමයි ආරම්භයේදී ම සුළඟට සැලෙන වරා මලක් නිර්මාණ ශිල්පියා අපට සමීප කරනවා.මේ රූප රාමුවෙන් මුළු ගීතයේ ම සංක්ෂිප්තයක් දෙනවා කියලයි මට හිතෙන්නෙ. මොකද වරාමල ගහෙන් ගිලිහි සුළගේ පාවි කොයිබට යනවා ද, ගමනාන්තය කොහි ද, යන කිසිදු අරමුණක් නොමැතිව සුළඟ විසින් එය රැගෙන යන දෙසට ඔහේ ගමන් කරනවා.ඉතින් මේකෙන් සංඛේතවත් වෙන්නෙත් සුළඟේ ඔහේ පාවී යන, ගමනාන්තය පිළිබඳ අංශුමාත්‍රයකුදු අදහසක් නොමැතිව තැනින් තැන නතර වන, "සේපාලි" නම් සුන්දර වරාමලියක් ගැන කියන එකයි මගේ මතය. "ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ" ඇස්, මූණ, ඉඟ වගේ තැන් මාලු ග්‍රහණයට නතු වුණු, බැලූ බැල්මට අනන්‍යතාවයක් දෙන්න බැරි, ඒත් බොහොම ලස්සන අඟ පසඟක් තියෙන කාන්තා මෘතදේහයක් ගඟ ළග තියෙන බව මුලින් ම කියනවා. ඒත් කිලිටි කඩමලු රෙදි දැවටුණු මේ සිරුරට හැඳිනීමක් දීමට  කිසිවෙක් උත්සහයක් දරන්නෙ නෑ. ඒත් ඒ නොදන්නකම නිසා ම නෙවෙයි. "තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය" ලෝකයා ඉදිරියේ සුදු පිරුවට පොරවගෙන ඉන්න පිංවතුන් යයි කියාගන්නා උදවියගේ රෙදිවලත් තුත්තිරි තියෙනවා කියන්න රචකයා ගත්ත උත්සහය ඉතාමත් සාර්ථක වුණු අවස්ථාවක් විදියට මං මේ ගී පද දකිනවා. මොකද ඒ පිංවත් කියා ගන්නා පිරිස තන්තිරිමලේ වෙහෙරෙ කොත් වහන්සේ දකිනවාට වඩා වැඩි වාර ගණනක් සේපාලිගෙ “බොඩිය” දැකලා තියෙනවා කියලයි කියන්නෙ. මෙතනදි "බොඩිය"කියන වචනේ තේරුම් දෙකක් සැඟවිලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. සුළඟේ පාවෙමින්, තැනින් තැන ඉසිඹුලමින්, කාමාතුරයන්ගෙ පවස නිවන්නට සොච්චම් මුදලට සළුපට ලිහන සුන්දර වරාමලියක් තමයි මේ සේපාලි  කියන්නෙ කියලා දැන් ටිකෙන් ටික පැහැදිලි වෙනවා. නමුත් මේ තරම් සේපාලිගෙ “බොඩිය” දැකපු අය සිටියත් ප්‍රාණ සුන්ව හොර රහසේ ම ඉවුරට ආපු සේපාලිගෙ සිරුර හඳුනාගන්න කිසිවෙක් නෑ. නොහඳුනන්නෙක් කියලා සුදු කොඩිය දාන්න සැරසිලා හිටියා මිසක්, කොතරම් හුරු පුරුදු වුණත් තම තමන්ගෙ ගැලවීම වෙනුවෙන් නොදන්නවා වගේ සියල්ලන් හැසිරෙනවා ඇති කියලයි මට හිතෙන්නෙ. "දුංකොළ කපා වේලා දහවල අව්වේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ" "දුන්කොළ කපා වේලා දහවල අව්වේ"මෙතනදි මට අදහස් දෙකක් හිතට නැගෙනවා. එකක් තමයි කලින් මං සඳහන් කළා සොච්ච්ම් මුදලට කියන එක. ඒකට හේතුව මෙන්න මෙතන සේපාලි පහස ලබනවුන් ඇගේ අත තබන මුදල ජීවිකාව ගෙනියන්න මදි නිසා ජීවත් වෙන්න යම් මුදලක් උපයන්න දුංකොළ වේලනවා ද කියලත් හිතෙනවා. එහෙමත් නැත්නම්, දුංකොළ යනු පොඩි මත් බවක් ගෙන දෙන්න, පුරාතනයේ සිට පාවිච්චි කරපු ද්‍රව්‍යක්: ඉතින් රාත්‍රියේ ඇයට සහ ඇයව ලිංගිකසූරා කෑමට දෑස් දල්වා බලා සිටින රකුසන්ට මත්වීම පිණිස ඇය මේ විදියට දුංකොළ වේලනවා ද කියලත් හිතෙනවා. දෙවනි පදයට අනුව අන්ධකාරය රජයන රාත්‍රියේ පන්දමකුත් අරන් මහත් ඕනකමකින් සේපාලි පන්සල් යන්නෙ බණපද අහන්න ද කියන එක නම් ඉතින් ප්‍රශ්නාර්ථයක්? සේපාලිට එන පණිවිඩ අතරේ මන්ත්‍රිතුමාගේ පණිවිඩත් හරි හරියට තිබිලා. ඇය පන්සිල් අරන් හිටියත් බැහැ කියලා නෑ. ඒ කියන්නෙ පණිවිඩ ආපු කිසිම අවස්ථාවක ඈ බැහැ කියලා නෑ කියන එක වෙන්න ඕනෙ. මොන අදිටනින් හිටියත් ඈට බෑ කියන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගමේ මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔවුනොවුන්ගේ ඕනෑ එපාකම් වලට සේපාලිව පාවිච්චි කරලා තියෙනවා. "හංගාගෙන වගේ පියයුරුවල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය" කොයි කාට වුණත් අඳුනන්න බෑ කිව්වට ඒක බොරුවක් කියලා ඔප්පු වෙන්නේ මෙන්න මෙතනදි. මොකද,පියයුරු යුගලේ ලස්සන තව තවත් කැටි කරගෙන තිබුණු උපන් ලපයෙන් මේ සේපාලිමයි කියලා හරියට ම තහවුරු වෙනවා. ඒ වගේම ඇසුරු කළ තරමට දෑඟිලි වලට හුරුවෙලා තිබුණු මේ ශෘංගාරිගෙ බුරියෙනුත් (නාභියෙනුත්) මේ ඇයමයි කියලා ආයෙ ආයෙ කියනවා. මෙතරම් මේ ඇයයි කියන්න සාධක තියෙද්දිත් සියලු දෙනා අඳුනන්න බෑ කියන සම්මානනීය රංගනයක යෙදෙනවා. මේ ගීතයේ කතා නායකයත් මේ ඉන්නෙ ඇයයි කියලා හඳුනාගෙනත් අවසානයේ ඔහුත් අඳුනන්න බෑ කියලා පැත්තකට වෙනවා. එහෙත් මේ කොයි කාටත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැළවෙන්න බැරි වෙයි. ඔවුනොවුන්ගේ හදවත් කිසිදාක ඔවුන් හා එකඟ නොවේවි.මෙහිදී කතා නායකයා සේපාලි කෙරෙහි ආල සිතකින් පසු වුණා ද කියන එකත් හිතන්න පුළුවන්. මොකද සේපාලිගෙ මරණයෙන් ඔහු දැඩි ලෙස පශ්චාත්තාපයට පත් වන සෙයක් රූප රචනයේ පෙන්වනවා. අවසානයේ තම හෘද සාක්ෂියෙන් බුර බුරා නැගෙන එරෙහිවීම් හා ඈ කෙරේ ඇති ආල සිත නිසා ඇති වන කම්පනයත්, පසුතැවීමත් හමුවේ ඔහු ඔහුගේ දිවිය තොර කර ගැනීමේ චේතනාවටත් පැමිණෙනවා. ඉතින් මේ කොහොම වුණත් සේපාලිට මොකද්ද උනේ කියන එක අභිරහසක් ලෙස සැඟවී යනවා..... ආරම්භයේදී සුළගේ පාවි ආපු වරාමල ගඟේ පාවි ගොස් සේපාලිගෙ මෘතදේහයේ අතේ රැඳෙනවා.මල අත රැඳුණාට පස්සෙ මැරුණා කියන සේපාලි තම ඇඟිලි සෙලවීමක් සිදු කරනවා. මේ සිදුවීමෙන් රූප රචනා ශිල්පියා සමාජයට යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නෙ. ඒ තමයි එක් සේපාලි කෙනෙක්ගේ කතන්දරයක් මෙතනින් නිමා වුණාට සමාජයේ තවත් මෙවැනි ඛේදනීය ඉරණම් වලට මුහුණදීමට සිදුවන සේපාලියකගේ ආරම්භයක් වෙන්න පුළුවන්. එවැන්නනියන් තවත් සමාජයේ ඉන්නවා කියන එක තමයි ඒ ඉඟි කරන්නේ. ඉතින් මේ විදියේ ඛේදවාචකයක් සමාජයේ දැනටත් සිදුවෙනවා ඇති, ඉදිරියටත් සිදු වෙන්න ඉඩ තියේවි... බොහොම සංවේදි පැතිකඩක් අලලා හරි ම ලස්සනට ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි අතින් ලියැවුණු පදවැල් වලට සාදර බණ්ඩාර කියන අපූරු ගායනා ශිල්පියා හඬින් උපරිම සාධාරණයක් ඉටු කරපු අවස්ථාවක් විදියට මං මේ ගීතය දකිනවා. ඔහුගේ හඬ ගීතය තුළැති ගුප්ත බව, අරුථ හා ඛේදනීය බව මනාව ඉස්මතු කරනවා. ඒ වගේම රූප රචනය තුළ මුළු කතාව ම හරි අපූරුවට ගොනුකර ඇති ආකාරයත්, තනුව තුළින් නැගෙන නාද රටාවනුත් නැවත නැවත ගීතය අහන්න හා බලන්න පෙළඹවීමක් ඇති කරනවා කියලයි මට දැනෙන්නෙ.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 70 වන දිගහැරුම

  • Date: 2022-03-07