Blog



පද රචනය : දසිත් භාෂිත වීරරත්න, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (සැ.යු. මහ පොළොවේ දූවිලි සුවඳ උරා බොමින් අව් කාෂ්ටකය සිප ගනිමින් අද හිනැහෙන්නට තනන බොහෝ සිඟිත්තන් හෙට දින මහා රූස්ස ගස්ව නැඟෙනු ඇත !) ජීවනගසටදිරිදෙන්ට බෑනුඹේඅම්මාට ... බැරිවුණත් හිතුමතේ ඕන තැන          පැළවෙන්න  ගහ දක්ෂ විය යුතුයි වැටෙන තැන     සවිවෙන්න    නිජබිමේ සාරයන් උරාගෙන                    දළුලන්න හුරුවෙයන් මගෙ පුතේ ලොවට හුස්මක්  දෙන්න ඇතැම් ගස් අත්වාරු සමඟින්ම          නැඟුණාට නුඹට වෙයි මගෙ පුතේ තනියෙන් ම නැගිටින්න මහ නියං, සැඩ සුළං ඉඳහිටක                     ආවාම මුල හයිය කරගනින් බිම ඇදී      නොවැටෙන්න! ලෝකයක් අස්වැන්න බලාගෙන                  සිටියාට මතු දිනෙත් වෙයි නුඹට සොයා යන්නට පොහොර අනෝරා වැසි මැදත් නැඟී හිනැහෙන                දාක වැජඹියන් මයෙ පුතේ මහ වනේ              ඉහළින්ම  -දසිත් භාෂිත වීරරත්න- පසු වදන මෙසේ තබමි.                             බැලූ බැල්මට බීජයෙන් පටන්ගන්නා කුඩා පැළයක් ප්‍රරෝහණය සිට විවිධ බාධක හා ජීවන අවධි පසුකර රූස්ස ගසක් බවට පත්වන ආකාරය නිරූපණය වුවද මින් ව්‍යංගාර්ථවත් වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන මවක් විසින් සිය පුතුට දිවි ගමන සඳහා ලබාදෙන මනා උපදෙස් මංජුසාවකි. මව මහා කිවිඳියක නොවුණාය. දරිද්‍රතාවයෙන් පීඩා විඳින දහසකුත් මව්වරුන් අතර පුතුගේ අනාගතය ගැන සුබ සිහින දකින තවත් එක් කාන්තාවක් ම වූවාය. එබැවින් කාව්‍යකරණයේ එළිසමය,එළිවැට වැනි නීති පසෙකලා තමාගේ සිතට හිතට දැනෙන දේ ගැන ගසා ව්‍යංගාර්ථ මුසු කරමින් මෙසේ කියයි. "බැරිවුණත් හිතුමතේ ඕන තැන          පැළවෙන්න  ගහ දක්ෂ විය යුතුයි වැටෙන තැන     සවිවෙන්න    නිජබිමේ සාරයන් උරාගෙන                    දළුලන්න හුරුවෙයන් මගෙ පුතේ ලොවට හුස්මක්  දෙන්න"                       මෙහි කුඩා දරුවා දරිද්‍රතාවයකින් යුතු පවුලක උපත ලබන්නේ "ඔහුගේ ඕනෑකමින් නොවේ" ස්වභාවධර්මය විසින් එය උරුම කොට දායාද කරන ලද්දකි. නමුත් ශාකයක් ඕනෑම කටුක පරිසර තත්ත්වයකට අනුවර්තනය වී තම පැවැත්ම තහවුරු කර ගන්නේ යම් සේද, මව විසින් තම පුතාට උපදෙස් ලබා දෙන්නේ එම කටුක අත්දැකීම් වලට හුරු වී නැඟී සිටින ලෙසයි. තමා උපන් මාතෘභූමියේ සංස්කෘතිය, සභ්‍යත්වය, අභිමානය වැනි සාරයන්ගෙන් සුපෝෂණය වෙමින් අනාගතයේ ලොවට උපකාර කළ හැකි අයකු බවට පත්වන්නට දැන් සිටම හුරුවිය යුතු බව මව විසින් පුතාට ආදරයෙන් කියාදෙයි. ඒ කෙසේද යත් ශාක කිසිවෙකුත් බලාපොරොත්තු නොවී ප්‍රාණ වායුව ලොවට දායාද කරන ආකාරයෙනි. "ඇතැම් ගස් අත්වාරු සමඟින්ම          නැඟුණාට නුඹට වෙයි මගෙ පුතේ තනියෙන් ම නැගිටින්න මහ නියං, සැඩ සුළං ඉඳහිටක                     ආවාම මුල හයිය කරගනින් බිම ඇදී      නොවැටෙන්න !"                              මානව ජන සමාජය තුළ පවුල් පසුබිම, ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය ආදී නොයෙක් සංරචක මත පදනම්ව එක් අයෙකුගෙන් වෙනස් වූ ජීවිත කතාවක් තවත් අයෙකුට ලියවෙයි. පළමු පද දෙකෙන් දරුවාගේ පවුල් පසුබිමේ දිළිඳු බව මොනවට කියාපායි. ඇතිහැකි දරුවන් දෙමාපිය රැකවරණය යටතේ ඉතා සුවපහසුව වැඩෙද්දී නැතිබැරි දරුවන්ට බොහෝවිට සිදුවන්නේ ස්වඋත්සාහයෙන් තනිව ම මේ ගෙන්දගම් පොළොවේ පය ගසා නැඟී සිටීමටයි. අවසාන පද දෙකෙන් කියවෙන්නේ ජීවිතයට කුමන ආකාරයේ කුණාටු පැමිණියත් ඒවාට මුහුණ දිය හැකි ලෙස ශක්තිමත් මනසක් ගොඩනඟා ගත යුතු බවයි. ගසක මුල එහි පැවැත්මට යම් සේ වැදගත්ද එතරම්ම අපගේ මනස ද ජීවිතයේ අපි ගන්නා අරමුණු හා අපගේ ගමන් මඟ තීරණය කරන නිසාවෙනි. "ලෝකයක් අස්වැන්න බලාගෙන                  සිටියාට මතු දිනෙත් වෙයි නුඹට සොයා යන්නට පොහොර අනෝරා වැසි මැදත් නැඟී හිනැහෙන                දාක වැජඹියන් මයෙ පුතේ මහ වනේ              ඉහළින්ම"                             දරුවා අධ්‍යාපනය ලබා ඉහළට යත්ම සමාජයට පෙනෙන, සමාජය ඔහුගෙන් බලාපොරොත්තු වන දේත්, සමාජය විසින් කිසිදා නොදකින පැතිකඩත් මින් නිරූපණය වේ. ඔහු ඉතා හොඳින් ඉගෙනගත යුතු බවත්, හොඳ රැකියාවක් කර රටට සේවය කළ යුතු බවත් ලෝකයා කියයි. නමුත් ඉදිරියටත් ඔහුගේ කුස පුරවා ගැනීමේ වගකීම ඔහු මත ම පැටවෙනු ඇත. මෙවැනි සිය දහස් අභියෝග පරදමින් අඛණ්ඩ කැපකිරීමක් මඟින් ගාම්භීරව නැඟී සිට සිනාසීමට හැකියාව ලැබෙන යම් දිනක කාර්මීකරණය හා වාණිජකරණය පසුපස හඹා යන මේ ලෝකයේ ඉහළම පුටුවක ඔබටද අසුන් ගැනීමට හැකි බව මව විසින් දරුවාගේ හිස ඉතා ආදරයෙන් පිරිමදිමින් කියාදෙයි.                    දරිද්‍රතාවයට අභියෝග කරමින් තම ජීවන ගමනේ අරමුණ සොයා යන බොහෝ තරුණ තරුණියන් ලෝකයට හඩ නඟා නොකී සත්‍යය එය නොවන්නේ ද?  නිමි.

NEWS

හිතට දැනෙන දේ | ජීවනගසට දිරි දෙන්ට බෑ නුඹේ අම්මාට ...

  • Date: 2022-03-16