Blog



මිනිස්සුන්ව ජීවත් කරවන්නේ හීන. පුංචි කාලේ අපි හීන දකින්නේ ලොකු වෙලා කරන වෘත්තිය ගැන විතරයි. ඒත් ලොකු වෙන්න වෙන්න අපි වගේම අපේ හීනත් සංකීර්ණ වෙනවා. අපේ හිත්වල හීන පොදි ගැහෙනවා. කාලෙකට කලින් මගේ හිතෙත් ඒ වගේම හීන පොදියක් තිබුණා. ඒ හීන අතරේ මං ගොඩාක් ආසාවෙන් පාට කරපු එක හීනයක් තිබුණා. ඒ හීනේ පොඩිපට්ටම් උන වෙලාවේ දැනුණු වේදනාව මතක් වෙද්දිත් ඇස් අඟ කඳුළු ගොඩගැහෙන්නේ පුරුද්දට වගේ.  මං නවෝදා. මධ්‍යම පාන්තික පවුලක එකම ගෑනු ළමයා. මට හිටියේ අයියා කෙනෙක් විතරයි. අපේ අප්පච්චී වලව් පැලැන්තියකින් පැවත ගෙන එන කෙනෙක්. එයා ගාව එයාගේ පාරම්පරික දේපළ වගේම එයාගේ පාරම්පරික හණමිටි අදහසුත් අඩුවක් නැතුව තිබුණා. ඒ හින්දමද මන්දා අම්මාත් කුස්සියේ බිත්ති හතරටම සින්න වුණා. පුංචි කාලේ අයියට ඉල්ලපු ඉල්ලපු හැමදේම කියන පමාවටම ලැබුණත් මට ඒ ගොඩාක් දේවල් අකැප වුණා. මට ඕනේ උනේ මටත් ඕනම දෙයක් පුළුවන් කියලා පෙන්නන්න. මගේ හීනේ උනේ කවදහරි දක්ෂ ඉංජිනේරුවරියක් වෙන්න. ඒත් ඒ පාර ඇහිරෙව්ව කෙනෙක් හිටියා. ඒ කවිෂ්ක අයියා. අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එයා කඩවසම්බවේ හිනිපෙත්තෙම හිටිය කෙනෙක්. අප්පච්චීගේ නීති රීති ගොඩකට යටවෙලා හැදුණ මට ආදරේට ඉඩක් තිබුණේ නෑ. ඒත් මල වටේ කැරකෙන බඹරෙක් වගේ එයා මං වටේම කැරකෙද්දි කොහොමද මං මගේ හැඟීම් හංගන්නේ. එයා මට ළංවෙන්න හදන හැම අවස්ථාවක්ම මග ඇරියත් කොකාට වාරයක් තියෙනවා නම් තිත්තයාටත් වාරයක් තියෙනවා වගේ එයාටත් අවස්ථාවක් ලැබුණා. මගේ වාසනාවට ද අවාසනාවට ද මන්දා හැමදාම අප්පච්චී එක්ක ගෙදර ආව මට එදා ඉස්කෝලේ ඉඳන් ගෙදර  එන්න උනේ පාරේ බස් එකේ. කවදාවත් තනියම බස් එකක නොගිය මට ඒක අමුතුම අත්දැකීමක් උනා. ඒත් ඒ බස් ඒකේම ආව එයා හිතන්නත් කලින් මගේ ඇස් ඉස්සරහට ඇවිත් මට ආදරෙයි කිව්වා. මෙච්චර දවසක් තිස්සේ හිතට දාපු තහංචි දියාරුවෙලා යන්න විනාඩියක් වත් ගියේ නෑ.  එදා ඉදන් මං එයා ඉස්සරහ බොළඳ පෙම්වතියක් උනා. එයාව මගේ ඇහැට රසඳුනක් වෙද්දි ගෙදර මිනිස්සුන්ව වහකදුරු උනා. ඉඩක් ලැබුණු හැම මොහොතකම එයා එක්ක හීන ලෝකයක් පාට කරපු මට පොතපත අමතක උනා. පොඩි කාලේ ඉදන් ගොඩ ගහපු හීන ඔක්කොම එයා ඉස්සරහ බාල්දු උනා. මං එයා වෙනුවෙන්ම පේ උනා. ඒත් ඒ සතුට වැඩි කාලයක් තිබුණේ නෑ. දෙමව්පියන්ට දුන්න ගින්දර මටත් පත්තු වුණා. හැමදාම දකින කුකුළගේ කරමල සුදුයි කියනව වගේ එයාටත් මගේ ඇද පළුදු පේන්න ගත්තා. වචනෙකින්වත් එයාට වැරැද්දක් නොකරපු මට ගරහන්න ගත්තා. ඒත් හැම මොහොතකම ආදරේ නාමෙන් මං ඉවසුවා. දවසින් දවස එයාගේ හිතේ මං වෙනුවෙන් තිබ්බ ආදරේ අඩුවෙන්න ගත්තා. දවසක් ඒක ශුන්‍යය උනා. කොච්චර මගේ කඳුළුවලින් ඒ හිත උණු කරන්න හැදුවත් ඒ හිතට යන්තන් රස්නයක්වත් දැනුණේ නෑ. ඒ ඒ වෙද්දිත් ඒ හිත වෙන තැනක නතරවුණු නිසා බව මං දැනන් හිටියේ නෑ . හීන බිඳෙද්දි දැනෙන පපුවම හාරන ඒ වේදනාව මං දරාගත්තේ ගොඩාක් අමාරුවෙන්. හිතට කොච්චර තරවටු කළත් අහේතුකවම ඇස් අග කඳුළු පොදි ගැහුණා. කොච්චර උත්සාහ කළත් මුලින්ම හිතේ ඇදිච්ච ඒ රූපේ මකාගන්න හිත ඉඩක් දුන්නේම නෑ. ඒත් එයා නිසා අමතක කරපු පොත්පත් කිසිම කහටක් නැතුව මාත් එක්ක හිනා උනා. එදා ඉඳන් එයා හින්දාම මං මරලා දාපු මගේ ඉංජිනේරු හීනෙට පණ දෙන්න මං උත්සුක උනා.  කොච්චර උවමනාවෙන් වැඩ කළත් දෛවය වගේම කාලයත් මට හතුරුකම් කළා. ඒ වෙද්දිත් මං ගොඩක් පරක්කුයි. මගේ උසස්පෙළ ප්‍රතිඵල ආව දවසේ අප්පච්චීගෙ මුවේ තිබ්බේ සමච්චල් සහගත හිනාවක්. හැමෝටම මාව විහිළුවක් උණා. අන්තිමට මං පැරදුණා. හිතේ තිබ්බ හීන කන්දම පොළවට සමතලා උනාම කොයින්ද ජිවත් වෙන්න හයියක්? ඇඬුවා; කෑගැහුවා; මැරෙන්නත් උත්සාහ කළා. අන්තිමටම මානසික රෝගියෙක් විදියට හංවඩු ගහගෙන මුල්ලේරියාව මානසික රෝහලේ ඇඳකට කොටු වුණා. සමහර මිනිස්සු මට හිනාවුණා. තවත් සමහරු මට අනුකම්පා කළා. ඒත් ඒ හැමෝම ඉස්සරහ අම්මා මට පලිහක් උනා. කවදාවත් අප්පච්චීට පිටින් නොගියපු අම්මා එයාගේ එකම දුව වෙනුවෙන් එයාට මවලා දුන්න රාමුව කඩලා දැම්මා. අප්පච්චිගේ තර්ක විතර්ක බිඳලා දාලා මං වෙනුවෙන් හැම මොහොතකම පෙනී හිටියා. අම්මගේ වගේම වෛද්‍යවරුන්ගේ මහන්සියෙන් මං ටික ටික සනීප වුණා. මාස ගාණකට පස්සේ මං වෙනුවෙන්ම වෙන්වෙච්ච රෝහල් ඇඳට සමුදෙන්න මට පුළුවන් උනා. ඒ කාලෙදි අප්පච්චිත් එයාගේ හණමිටි අදහස් යල් පැනපුවා කියලා තේරුම් ගත්තා. ඒ වගේම මාත් තේරුම් ගත්තා ඔය කොයි ආදරයත් අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේට යටයි කියලා. ඒ දෙන්නගේ ආදරේ මැද මං දෙවෙනි පාරටත් උසස් පෙළ විභාගයට මූණ දුන්නේ ගොඩාක් මහන්සියෙන් පාඩම් වැඩ කරලා. කොච්චර විශ්වාසයෙන් විභාගෙට මූණ දුන්නත් මං හිටියේ ගොඩාක් බයෙන්. ඒත් මං හිතුවටත් වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. එදා නම් මෙච්චර කල් මං දිහා අවඥාවෙන් බලපු මිනිස්සුත් මට ආදරෙයි කියලා පෙන්නන්න හැදුවා. නොහිතුව විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පය තියන්න තරම්ම මං වාසනාවන්ත වුණා. අම්මගෙයි අප්පච්චිගෙයි මහන්සිය අපතේ නොයවන්න මං උපරිමයෙන්ම උත්සාහ කළා. ආදර ඇරයුම් කොච්චර ලැබුණත් ආයෙත් පාරක් හිත පාරවගන්න මං බය වුණා. අවුරුදු 4ක් තිස්සේ කරපු කැපකිරීම් නිසා අද වෙද්දි මං දක්ෂ ඉංජිනේරුවරියක්. එදා විඳපු වේදනාව නොවෙන්න මං මෙතනට නෑවිත් ඉන්නත් තිබුණා. අම්මා කියනවා හරි යකඩයක් තැලෙන්නම ඕනේ හයිය වෙන්න.

NEWS

විභව Unframed | Episode 54 | හීන

  • Date: 2022-03-18