Blog



සුනිල් ආරියරත්නයන් අතින් රචිත, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවුණු නන්දා මාලනියන්ගේ සුමිහිරි හඬින් ආලෝකමත් වූ ගීතයක් වශයෙන් මෙම ගීතය මූලික ව දැක්විය හැකි ය. "යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ… යොහොඹු කුසුම් යහනේ රාධා බලා ඉඳී… ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා"   මෙම ගීතය තුළ පරිසර වර්ණනාවන් සහ චිත්තරූප මවන අනර්ඝ භාෂාවක්  කැපේ පෙනෙයි. එමෙන්ම රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය පාදක කරගනිමින් ලියැවී ඇති ගීතයක් ලෙසද මෙය අර්ථකථනය කළ හැකි ය. එමෙන්ම රාධාගේ හදවතෙහි තෙරපෙන ප්‍රේමයක ආමන්ත්‍රණයක් ලෙසද මෙය වටහා ගත හැකි ය.  "යමුනා ගං තෙර තමළු ලතා හෙවණේ..." "යොහොඹු කුසුම් යහනේ" මේ පද පේළි තුළින් රාධා ක්‍රිෂ්ණා සිටි පරිසරය ප්‍රේමයට සම්බන්ධ වෙන ආකාරය දක්වා ඇත.  ගීතයේ මුල් කොටස තුළ රචකයා පරිසර වර්ණනාවට මූලිකත්වය දී ඇති ස්වරූපයක් ද ගීතයේ වස්තු බීජය රසිකයාට ඒත්තු ගැන්වීමට උත්සාහයක් දරා ඇති බව ද පැහැදිලි වේ. "නළලත බබළන සඳන තලාවයි… සිරුරත ඝන නිල් මේඝ වලාව යි… මානස විල මැද රණ තිසරාණනි වෘන්දා වනයේ වසන්තය යි…" මෙම කොටස තුළින් රාධා තම ශරීරාංග ලක්ෂණයන් ගෙනහැර දක්වන ස්වරූපයක් හඳුනාගත හැකි අතර ගී රචකයා ඒ සදහා ශෘංගාර රසය මුසු කර ඇති බව ද නොරහසකි. ඒ තුළින් රසික හදවත් තම ගීතය තුළ මඳකට අතරමං කිරීමක් ගත් උත්සාහයක් දැයි විටෙක සිතෙයි.  එමෙන්ම ප්‍රේමය සමඟ ශරීර අංග බැඳී ඇති ඒ අවියෝජනීය ඥාතීත්වය එනම් සහසම්බන්ධතාවය   කොයිතරම් බලපානවාද යන්න ගීතය තුළින් විස්තර කිරීමට ද ගී රචකයා අමතක නොකර ඇති බව මේ පද පේළි තුළින් මනාව ප්‍රත්‍යක්ෂ වේ.   "මලයගිරේ මධු ගීත කලාව යි… තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාව යි… වන රේඛාවේ රණ මොණරාණෙනි තරුද නොපායන රාත්‍රිය යි..." හැඟීම් අවදිවන සීත පරිසරයක ස්වරූපයක්  "මධු ගීත කලාව යි" "තරුද නොපායන රාත්‍රිය යි" මෙම පද පේළි තුළින් ජනිත වේ. "වන රේඛාවේ රණ මොණරාණෙනි  තරුද නොපායන රාත්‍රිය යි..." මේ පද පේළි තුළින් ප්‍රේමය විඳීමට කදිම අවස්ථාව මෙය බව ද රාධා දක්වන අතර ක්‍රිෂ්ණාට විගසින් පැමිණෙන ලෙස කරනු ලබන ආරාධනාවක් වශයෙන් ද මෙය දැක්විය හැකි ය. මෙම ගීතයේ මුල සිට අවසානය දක්වාම සිදුකර ඇති පරිසර වර්ණනාවන් සහ හැඟුම්බර ආමන්ත්‍රණයන් අනුව පෙනී යන්නේ, පෙර අවස්ථාවන්වලදී මොවුන් මෙම ස්ථානයේ කායික ව එක්වන්නට ඇති බව යි. මන්දයත් පළපුරුදු පරිසරයක රාධා තනිව පෙර ප්‍රේමීය මතකයන් අවධි කිරීමක් මෙන්ම ක්‍රිෂ්ණා ව කැඳවාගැනීමට දරන උත්සාහයක් ලෙසින් ද මෙම ගීතය විවරණය කළ හැක. කිසියම් හේතුවක් මුල් කරගෙන රාධා විසින්ම ක්‍රිෂ්ණා ව අමනාප කරගත්  මොහොතක ක්‍රිෂ්ණා රාධාගෙන් වෙන්ව ඈතකට ගිය විට රාධාටම නැවතත් ක්‍රිෂ්ණාගේ ප්‍රේමය හා උණුසුම අවශ්‍ය වී ඇති බවක් ද මේ තුළ සැඟවී තිබිය හැකි ය. මන්දයත් මෙහි සෑම ගී කොටසක් අවසානයේම "ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා…" ලෙස දක්වා තිබීමෙන් ක්‍රිෂ්ණා වෙනුවෙන් රාධා කරන ප්‍රේමණීය ආරාධනාවක් ලෙස ද මේ ගීතය පෙන්වා දිය හැකි ය. ප්‍රේම ලෝකයේ නිදසුන් අතර රාධා ක්‍රිෂ්ණා ප්‍රේමය මුලසුනක තිබේ. එබැවින් මේ ගීතය තුළ ඔවුන්ගේ ප්‍රේමය ඔවුන් දෙදෙනාට ඔවුනොවුන් නොමැතිව මොහොතක් හෝ ගත කළ නොහැකි ස්වභාවයක් ඉස්මතු කර දැක්වීමට ගී රචකයා වෙහෙසී ඇත. මේ ගීතයේ ආරම්භයේ සිට අවසානය දක්වාම පරිසරය, ශරීරාංග,ප්‍රේමය කැටි කරගත් ව්‍යංග්‍යර්ථ සහ චිත්ත රූප මැවෙන වදන් තුළින් රාධාගේ හදවතේ කැලතෙන කෙටි විරහවක් ප්‍රේමණීය හැඟුමන් මතින් ගලායාමක්  මෙන්ම රාධාවන්ගේ නිමල ආදරය මුසුකොට ක්‍රිෂ්ණා වෙත කරන රාගයමුසු වූ ප්‍රේමාන්විත ඇරයුමක් ලෙසින් ද මෙම ගීතය  දැක්විය හැක. යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ… යොහොඹු කුසුම් යහනේ රාධා බලා ඉඳී… ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා....ක්‍රිෂ්ණා   නළලත බබළන සඳන තලාව යි… සිරුරත ඝන නිල් මේඝ වලාව යි… මානස විල මැද රණ තිසරාණනි වෘන්දා වනයේ වසන්තය යි… ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා…   මලයගිරේ මධු ගීත කලාව යි… තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාව යි… වන රේඛාවේ රණ මොණරාණෙනි තරු ද නොපායන රාත්‍රිය යි… ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා…

NEWS

හඬ මත පැටළුණු අකුරු | 73 වන දිගහැරුම

  • Date: 2022-03-19