Blog



රාහුල් සංක්‍රිත්‍යන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "ශ්‍යාම් සිංහා රෝයි" නම් තෙළිඟු චිත්‍රපටය 2021 වර්ෂයේ තිරගත වූවකි. මෙය දෙමළ භාෂාවෙන් ද හඬකවා ප්‍රදර්ශනය විය.  මෙම දමිළ හඬකැවූ ප්‍රභේදයෙහි අන්තර්ගත ගීතයකි, "ජගදීශ්වර දේවී" නම් ගීතය.  දෙවියන් හා සරණ බැඳී දෙවියන් උදෙසා සිය ජීවිතය ගෙවූ දේවදාසියන් අතීතයේ සමාජයේ ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූව ද, එම ක්‍රමය පිළිබඳ නොයෙකුත් විවේචන පැවතුණි. එහි දී මෙම චිත්‍රපටය තුළ දේවදාසියක ලෙසින් සායි පල්ලවී සිදුකරන චරිත නිරූපණය අනර්ඝ මට්ටමක පවතී.  ජගදීශ්වර දේවී නමැති මෙම ගීතය දුර්ගා දේවියගේ අරුමය වර්ණනා කෙරෙන ගීතයකි. මෙම චිත්‍රපටයෙහි නම ඇසුණු සැණින් සිහියට නැගෙන මෙම ගීතයෙහි සංගීත අධ්‍යක්ෂණය ඉතාමත් විශිෂ්ට ය. ගීතයෙහි තාලය සහ එහි වූ අලංකාර නාද රටා අපව නළවන්නට සමත් වන්නේ පංචේන්ද්‍රීයයන්ට නොදැනුවත්ව ම ය.  අනුරාග් කුල්කර්ණීගේ ගායනය ද මෙහි දී අමතක කළ නොහැකි ය. එය අපව ගීතයට ආකර්ෂණය කර තබාගන්නේ නැවත නැවතත් එය ඇසීමෙන් විඩාවක් ඇති නොකරමිනි.  මෙම ගීතය ඇසීමෙන් මනසේ මැවෙන්නේ යම් රුවක් ද, ඒත් සමඟම නිතැතින්ම සිහියට පැමිණෙන්නේ මෙහි වූ අලංකාර දර්ශන කණ්ඩය යි.  දේවදාසියෝ නර්තන කලාවේ නිපුණ ස්ත්‍රීහු වූහ. අතීතයේ දෙවියන්ගේ පතිනියන් ලෙසින් දෙවියන් හා සරණ බැඳී දේවාලවල වාසය කළ ඔවුහු, නර්තන කලාව ආදී විවිධ කලාවන් ප්‍රගුණ කරමින් දෙවියන්ට පුද පූජා සිදු කළහ; එසේම දේව ප්‍රතිමා ඉදිරියෙහි නර්තනයෙහි යෙදුණහ. එකල මෙම දේවදාසීනට දේවාල භූමියෙන් පිටත පය තැබීමට අවසර නොවිණි.  ඇතැම් පූජා උත්සව පැවැත්වෙන කාලවල දී මහජනයා ඉදිරියේ දෙවියන් උදෙසා ගැයෙන භක්ති ගීතයනට නර්තනයෙන් දායක වීමට මොවුනට අවසර හිමි විය. පූජාවේ අවසානයත් සමඟ ඔවුනට නැවත දේවාල භූමිය තුළට වී සිටීමට සිදුවිය. ඇතැම් ඉතිහාස ග්‍රන්ථ අනුව මෙම උත්සව දිනයන් හි දී දේවදාසීන් ද දේවත්වයෙන් සළකා ජනයා ඔවුනගේ ආශිර්වාදය ලබාගත් අවස්ථා පිළිබඳව ද සඳහන් වේ.  පසුකාලීනව විදේශීය ආක්‍රමණිකයන් විසින්  භාරතය යටත් කොටගෙන හින්දු දේවාල විනාශමුඛයට ඇද දැමීමත් සමඟ මොවුන්ගේ ජීවනෝපාය සහ සංස්කෘතිය වෙනස්ම මඟකට යොමු විය.  ඉහත සඳහන් කළ පරිදි ම, මෙම ලිපියෙන් විස්තර කෙරෙන ගීතය තුළ ද දුර්ගා පූජා උත්සව දිනයක දී, දේවාල භූමියෙන් පිටතට පැමිණ දුර්ගා දේවියගේ ගුණ වර්ණනා කෙරෙන ගීතයකට නර්තනයෙන් දායක වන දේවදාසියන් පිළිබඳ නිරූපණය වේ.  දේවදාසීනට සිය දිවියේ පැමිණෙන නොයෙකුත් දුෂ්කරතාවන්හි දී තනියට සිටින්නේ දෙවියන්ම පමණකි.  "තීයෝඩු වේගින්ඩ්‍ර වේරුක්කු නීරාග වා...." - "ගිනිගෙන දැවෙන මුල වෙත ජලය ලෙසින් පැමිණෙන්න"  යන පදවලින් මේ බව හැඟවේ.  එසේම,  "ආරාද කායංගල් සායින්ඩ්‍ර තෝලාගවා , කරෛ සේර්ක්ක වා......"  - "(මට) මඟපෙන්වන්නට වෙරළට පැමිණෙන්න,මාගේ තුවාල සුවපත් කරන්නට උපකාරයට පැමිණෙන්න"  යන පදවලින් මොවුන්ගේ එකම බලාපොරොත්තුව දෙවියන් කෙරෙහි වූ ආලය පමණක් බව සඳහන් කරයි.  නොතේරෙන වයසක දී මෙලෙස දේවදාසියන් ලෙස පුහුණු වීමට තෝරාගැනුණු ගැහැණු දරුවෝ දේවාල වෙත පැමිණ දිවිගෙවති. එතැන් සිට තමන් කැමති වූව ද, අකමැත්තෙන් වුව ද, දේවාල භූමිය තුළට වී දේවදාසියක ලෙසින් සිය ජීවිත කාලයම ගත කිරීමට සිදුවීම ඛේදවාචකයකි. මෙහි,  "යාර් පිලෛයෝ? යාර් සතියෝ? යාරිංගු කූර......"  - "කාගේ වරදක් දෝ?කාගේ සැලසුමක් දෝ?කාට කියන්න ද?..." යන පදවලින් මේ බව පෙනී යයි.  මව, පියා  ජීවතුන් අතර සිටිය ද, දේවදාසියක වූ විගස ඔවුනට සියලු සම්බන්ධතා අමතක කරලීමට සිදුවේ. ඔවුන් හට ඇති එකම සම්බන්ධතාවය දෙවියන් සමඟ පමණකි. මේ බව  "යාතුමෙන ආනවලේ වා තුයර් තීර....."  - "සියල්ලම නුඹගේයි! - පැමිණෙන්න දුක දුරලන්න..." යන පද මෙයට සාක්ෂ්‍ය සපයයි.  මෙලෙසින් ශාපලත් දිවියක් ගෙවන දේවදාසියන්ගේ අඳුරු ජීවිතය ඒකාලෝක කරන්නට ඇත්තේ දෙවියන්ගේ ආලය ම පමණකි. ඒ බව  "සාබංගල් සූලුතේ කාත්තිඩු කෛකොඩු........"  - "ශාපයන් ය සැමදෙසින්ම!අතදෙන්නට ආරක්ෂාවට සිටින්නේ නුඹ ම පමණකි..."  "පාතෛ එල්ලාම් පේරොලියායි උන් තුණෛ කූඩ තීර්න්දිඩුම් කාරිරුලේ......" - "(මාගේ) මාවත ඒකාලෝක වේවි, නුඹගේ සහාය හිමි වුවහොත්..." යන පදවලින් පැහැදිළි වේ.  මේ ලෙසින් සැලකූ විට, සමස්තයක් ලෙසින් මෙම ගීතය දෙවියන් වර්ණනා කරමින් ලියැවුණු ගීතයක් වුව ද, එය වක්‍රාකාරයෙන් දේවදාසියන්ගේ ඛේදනීය ජීවිතය පිළිබඳ ඉඟි කරවන්නක් බව අවසන් වශයෙන් කිව යුතු ය.  ____________________________ ජගදීශ්වර දේවී භුවනේශ්වරී සදුර්වේදී පරිපූරණ කලෛවාණී කරුණාහරි අකිලාණ්ඩරූබී  තීම් තන තීම් තීම් තන නිරන්තරී නානිලම් කාක්කුම් එංගල් තුරන්තරී ආදිනී අන්තම් ඉල්ලා කාදම්බරී පාරායෝ වාරායෝ තායේ නී  සරණාගති අරුලුම් නාද විනෝදිනී සකල සෞන්දරී නී සාබංගල් සූලුතේ කාත්තිඩු කෛකොඩු උනෛයන්ඩ්‍රි වේරිල්ලෛයේ  නීයේ වලිගාට්ටවා තීයෝඩු වේගින්ඩ්‍ර වේරුක්කු නීරාග වා නීයේ කරෛසේර්ක්ක වා ආරාත කායංගල් සායින්ඩ්‍ර තෝලාගවා  යාර් පිලෛයෝ යාර් සතියෝ යාරිංගු කූර යාතුමෙන ආනවලේ වා තුයර් තීර පාතෛ එල්ලාම් පේරොලියායි උන් තුණෛ කූඩ තීර්න්දිඩුම් කාරිරුලේ  තීම් තන තීම් තීම් තන නිරන්තරී නානිලම් කාක්කුම් එංගල් තුරන්තරී ආදිනී අන්තම් ඉල්ලා කාදම්බරී පාරායෝ වාරායෝ තායේ නී  සරණාගති අරුලුම් නාද විනෝදිනී සකල සෞන්දරී නී සාබංගල් සූලුතේ කාත්තිඩු කෛකොඩු උනෛයන්ඩ්‍රි වේරිල්ලෛයේ  **  අර්ථය:  ජගදීශ්වර දේවී (විශ්වයට අධිපති දෙවඟන)භුවනේශ්වරී (ලෝකයට අධිපතිනිය) චතුර්වේදී(පරිපූර්ණ කලාවන්ට අධිපතිනිය,කරුණාවන්තිය විශ්වරූපිනිය)  ධීම් තන ධීම් ධීම් තන නිරන්තරී(සතර දිශාවම රකිනා අපගේ ධුරන්ධරිය)ආරම්භය නුඹයි අවසානයක් නොමැති, (නුඹයි) කාදම්බරී බලන්න, පැමිණෙන්න මෑණියනි නුඹ  සරණ වන උත්තමාවිය,නාද විනෝදිනිය,සැම අතින්ම සුන්දරිය නුඹයි ශාපයන් ය සැම දෙසින්ම අත දෙන්නට ආරක්ෂාවට සිටින්නේ නුඹ ම පමණකි; වෙන කිසිවකු නැත.  මඟපෙන්වන්නට පැමිණෙන්න;ගිනිගෙන දැවෙන මුල වෙත ජලය ලෙසින් පැමිණෙන්න,(මට) මඟපෙන්වන්නට වෙරළට පැමිණෙන්න,මාගේ තුවාල සුවපත් කරන්නට උපකාරයට පැමිණෙන්න,  කාගේ වරදක් දෝ?කාගේ සැලසුමක් දෝ?කාට කියන්න ද?සියල්ලම නුඹගේයි.  පැමිණෙන්න දුක දුරලන්න(මාගේ) මාවත ඒකාලෝක වේවි,නුඹගේ සහාය හිමි වුවහොත්, සතර දිශාවම රකිනා අපගේ ධුරන්ධරිය;ආරම්භය නුඹයි අවසානයක් නොමැති, (නුඹයි) කාදම්බරී;බලන්න පැමිණෙන්න මෑණියනි නුඹ  සරණ වන උත්තමාවිය,නාද විනෝදිනිය;සැම අතින්ම සුන්දරිය නුඹයි,ශාපයන් ය සැම දෙසින්ම අත දෙන්නට ආරක්ෂාවට සිටින්නේ නුඹම පමණකි; වෙන කිසිවකු නැත.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 74 වන දිගහැරුම

  • Date: 2022-03-21