Blog



මං දන්නෙ නැහැ ආදර කතා ලියන්න.. යම් විදියකින් මං දන්නවා නම්, ඒ එකම එක ආදර කතාවක් ලියන්න විතරයි. ඉතින් ඒ කතාවත් ඔබත් එක්ක බෙදාගන්න මං අදිමදි කරන්නෙ මොකට ද? ඒක දිග කතාවක් ද, ලස්සන කතාවක් ද, අසම්පූර්ණ කතාවක් ද කියන්න මං දන්නෙ නැහැ. ඒක තීරණය කිරීමත් ඔබට භාරයි. කතාවක් කියනකොට සිතුවිලි, සිද්ධි ගලාගෙන එනව නම් ඒක කියන්න හරි පහසු කතාවක්. ඒත් මේ කතාව කියද්දි සමහර තැන්වල මට දැනෙන්නෙම සිතුවිලි සිරවෙන ගතියක්. ඇත්තටම මං මේ ඔබට කියන්න යන්නෙ මට කියන්න අපහසුම කතාවක්! •••••••••••••••••••••••••••••••••••••••••••••• "පුංචි," "ම්..ඇයි දෝණි" "පුංචිට පසුතැවීමක් නැද්ද එයාව නොලැබුණ එකට?" "පොඩ්ඩක්වත් නැහැ දෝණි..." "පුංචිට දුකයිද ඉතින්, ඒ කාලෙ මතක් වෙනකොට?" "නැහැ දෝණි, ඒ කාලෙ මට ලස්සන මතකයක් විතරයි." ඒ මගෙ අක්කගෙ ලොකු දෝණි. දැන් ඒලෙවල් ඉවර කරලා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ. මගෙ තරුණ කාලෙ ලස්සන කරපු පේරාදෙණිය සරසවියම දෝණිගෙ තරුණ කාලෙත් ලස්සන කරන්න අද ඉදිරිපත් වෙලා. මේ වෙනකොට මං මගෙ පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නෙ. පුංචි රෝස කැකුළියක් මගේ කුස ඇතුළෙ දැන් ටිකෙන් ටික මෝරනවා. ඒ රෝස කැකුළි පරිස්සම් කරගන්න විදිය, අම්මා නැති ලෝකෙදි මට හොඳටම කියල දෙන්න පුළුවන් කෙනා අක්කා නිසා මං මේ මුල් මාස කිහිපය ඇගේ සෙවණට ආවා. මගේ අක්කා ගුරුවරියක්. ඈ උදේ පාසල් ගියත් මට ගෙදර පාළුවක් දැනුණෙ නෑ. දෝණි ඈටත් එක්කලම මගේ පාළුව මැකුවා. අපි සිනාවෙන් කථාවෙන් මුළු දහවලම ගත කළා. මේ සුමාන දෙක තුනට ඈ මගේ ජීවිත කතාවෙන් බාගෙකටත් වඩා දැනගෙන තිබුණා. ඈ ඔය දැන් හාරා අවුස්සන්නෙ ඒ කතාවෙ සමහර තැන්. දෝණිට මගේ ප්‍රේමකතාව අවුස්සන්න පොටක් පෑදුණේ අපි දෙන්නම දොරමඬලාව දිවා විකාශය බලබලා ඉද්දි. එදා මාතෘකාව වුණේ සරසවි ප්‍රේමය... පේරාදෙණියම ප්‍රේමයක්ලු! ඒ සරසවියෙ අධ්‍යාපනය ලබලත් ප්‍රේම නොකළ කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයට මානසික ආබාධයක්වත් තිබිය යුතුයි කියලත් දේශකයා කිව්වා. මේ කෙල්ල කැම්පස් යන්න කලින්ම මේව අහල ගිහින් මොනව කර ගනියි ද මන්දා..! මට දේශකයාත් එක්ක තරහත් ආවා. "පුංචි," "ම්ම්ම්" "පුංචි කැම්පස් එකේදි කාටවත් ආදරේ කළේ නැද්ද? " දෝණි දැන් ඔය හදන්නෙ මට මානසික ආබාධයක් තියනවද කියල හරියටම දැනගන්න. "පේරාදෙණියම ප්‍රේමයක්..ඉතින්...මං ප්‍රේම කළේ පේරාදෙණියට,දෝණි" කියලා ඒ කතාව විහිළුවෙන්ම අවසන් කරන්න පුළුවන් වුණත්, මගේම අංකුරයක් වුණ දෝණි ඒ පිළිතුරෙන් නම් කීයටවත් සෑහීමට පත්වෙන්නෙ නෑ කියල මං දැනන් හිටියා. .................................................................. ඇත්තෙන්ම මම පේරාදෙණියට ප්‍රේම කළා. ඒක ඒ සුන්දර පරිසරයට රහසක් වුණේ නැති බව පේරාදෙණිය පෙරළා මට දැක්වූ ළෙන්ගතුකමෙන්ම මට වැටහුණා.ඒත් මං ප්‍රේම කළේ පේරාදෙණියට ම විතරක් නොවෙයි. ඔහුටත් මා ඒ තරමටම මං ප්‍රේම කළා. ඒ වග මුළු පේරාදෙණියම දැන ගත්තත් ඔහුටත්, මගේ හොඳම යෙහෙළියටත් රහසක් විදියටම තියන්න මං පරිස්සම් වුණා. ඒකත් මගෙ ප්‍රේමයේම කොටසක් කියලයි මට දැනුණෙ. මට මතකයි ඔහු මගේ යෙහෙළියගෙන් කැමැත්ත විමසපු දවස. ඉදිකට්ටයි නූලයි වගේ අපි දෙන්නගෙ තිබුණ ගජයාළුකමත් එක්ක ඔහුට බැරිවෙන්න ඇති ඇය උන්නු මා නොඋන්නු එකම මිනිත්තුවක්වත් හොයාගන්න. ඒ නිසා මගෙ ඇස් ඉස්සරහම මං මවපු ෆැන්ටසි හීන අවසන් හුස්ම හෙළද්දිත් හිනාවෙන හැටි ඉගෙනගන්න මට අමතර කාලයක් ලැබුණෙ නැහැ. ඒ වෙනකොටත් ඔහු ගැන මගේ හිතේ තිබුණු සෙනෙහස මල් කැකුළක් නෙවේ, සුවඳ දෙන මලක්මයි. එහෙමයි කියල මට ඒ සුබ මොහොත කඳුළින් දිය කරන්න බැහැ. එහෙම කළා නම් ඒක හරි ගුප්ත කඳුළක් වෙනව මා හැර අනිත් හැමෝටම. මං ජීවිත කාලෙදි අසීරුවෙන්ම හිනාවුණ අවස්ථාවක් තිබ්බ නම් ඒ තමයි, ඒ මොහොත. බොරු කියන්න ඕනි නැහැ නෙ; ඒක මවාගත්ත හිනාවක්!  "නාදන් අහස එක්කල මා කියුව කතා වියන් පිටින් තරු ඇවිදින් උන්නා අසා අද දැනගතිම් ඒ හැම තරු ගොළුය ඉතා මා නොවිමසා නුඹ ඈ සිත පැතුව නිසා "                මගේ යෙහෙළියගෙන් මං සඟවන් හිටපු කඳුළු බිංදුව එදා රෑ රාමනාදන් අහස යටදි මගේ කවිපොත තෙත් කළේ ඒ විදියට. ඒ දවසින් පස්සෙ මට ඕනි වුණේ ඔහුව හිමිකරගැනීමකට වඩා ඔහුව මගේ හදවතින් උඳුරා දමන්න. එත් ඒ ගසේ අක්මුල් කිදා බැහැල තිබුණ දුර මං හරියටම දැනගත්තෙ එතකොට. ඒ මුල් උදුරා දමන එක හුඟක් දරුණු සැත්කමක් වුණා. සැත්කම මට මරණාසන්න වේදනාවක් ගෙන දෙද්දි මං තීරණය කළා සැත්කම නවත්තන්න. හිතක මුල් ඇදලා මල් පිරිලා තියෙන ගසක් එහෙම උදුරලා මරල දාන්න බැහැ කියල මට තේරුණා. ඉතින් මං හිතට පුරුදු කරන්න ගත්තා හැඟීම් මරලා දානව වෙනුවට ඒවත් එක්ක ඇලෙන් නැතුව, ගැටෙන් නැතුව සාමදානෙන් ඉන්න. ඒක දවසකින් දෙක්කින් කරන්න පුළුවන් වුණ දෙයක් නෙවෙයි.... අඩුතරමෙ මට අවුරුද්දක් යන්න ඇති ඒ තැනට මාව ගේන්න. ඊටපස්සෙ මගෙ යෙහෙළිය උද්‍යෝගයෙන් ඔහු ගැන කතා කරද්දි, ඇය ඔහුගේ අතේ එල්ලිලා යන මාවත්වල ඇයට පසෙකින් යද්දි මට ව්‍යාජ හිනාවක් රදවා ගන්න ඕනි වුණේ නැහැ.  මං ඔහුව ඇසුරු කළේ මගේ යෙහෙළිය හිටපු අවස්ථාවලදි විතරයි. ඒ අවස්ථාවලදිත් ඒ අමුතු ඇස්වලට මගේ ඇස් අසු නොවෙන්න මං පරිස්සම් වුණා. නැත්නම් මගේ ඇස්වල දිලිසෙන යමක් ඔහුට වැඩි කල් නොයාම හඳුනගන්න තිබුණා. ඔහු හිනාවෙලා ඉද්දි,ඔහු හරි ආදරෙන් ඉන්නව කියල දැනෙද්දි මගෙ මුළු හිතම අමුතු සතුටකින් පිරිලා යනවා. ඇතැම්විට මගේ මුහුණින්ම පෙණුන ඒ සතුට මගෙ යෙහෙළිය ගැන මට තිබ්බ ළෙන්ගතුකමේ ඡායාවක් විදියටයි ඔහු හිතුවෙ. මට තිබුණෙ අමුතු සුදු හදවතක් නෙවෙයි ඒත් හිමිකරගැනීම කියන දෙයින් මිදුණම තියෙන සැහැල්ලුව මට කාලෙත් එක්ක වැටහුණා. එතනින් පස්සෙ මගෙ හදවතේ ඉතුරු වුණේ ඔහු ගැන එදා ඉදන් තිබුණු ආදරය විතරමයි.  මං දන්නෙ නැහැ මෙහෙම වුණේ ඇයි කියල. ඒත් සමහර කෙනෙක් අපිව විශේෂයෙන් ඇදගන්න සමත්වෙනවා. ලස්සන හිනාවක්, ලස්සන ඇස් දෙකක්, ප්‍රියමනාප පෙනුමක්, ප්‍රියමනාප ගතිගුණ නිසාම නෙවෙයි ඒ හැමදෙයකම විශේෂ ලස්සනක් අපි දකින නිසා. සමහරවිට එහෙම පේන්නෙ අපිට විතරක් වෙන්නත් පුළුවන්. ඒක නිකම් කළුසුදු දර්ශන තලයක තියන පාට වස්තුවක් වගේ. ඉතින් මගේ කළු සුදු රූපපෙට්ටියේ මං දැකපු පාට මිනිසා තමයි "ඔහු". ඔහු කොයි විදියකට හිටියත්, කොයි විදියට ඇන්දත්, කොයි විදියට හැසිරුණත් මට ඔහුට හැමමොහොතකම ආදරය කරන්න පුළුවන්කම තිබුණා. මගේ යෙහෙළියටත් වඩා ඔහු සම්බන්ධ හැමදෙයක්ම මට මතක තිබීම නිසා ඇයත් වෙලාවකට මට හිනාවුණා. මට ඕනි වුණා ඔහු හුඟක් සතුටින් ඉන්නවා දකින්න, ඒ වෙනුවෙන් මට හැකි දේ හැමවිටම කරන්න, කිසි දෙයක් කළ නොහැකි වෙලාවක ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනාවක්වත් එක් කරන්න. මට මතක් වෙනව ඔහු හදිසි අනතුරකින් රෝහල් ගත කරපු දවසක්. එවෙලෙ මගෙ යෙහෙළියටත් වඩා මං කලබල වීම නිසා අන්තිමට ඇයට සිද්ධ වුණෙත් කලබල වීම පසෙකින් තියල මාව අස්වසන්න.  සරසවි මාවත්වල දෑඟිලි පටලන් ගියපු දවසක් නැති මගෙන් අපේ  සෙට් එක විනිවිද දැක්කෙ නීච වෙච්ච සිකුරු. ඒත් මගෙ වාසනාවකට හෝ අවාසනාවකට පේරාදෙණි අහස, මල් වැටුණු රොබරෝසියා මාවත්, කවි පැළවෙන ඔටු ගස් සෙවණ බොහෝ දේ දැනගෙන සදකාලික ගොළු මිනිසුන් වෙලා හිටියා. සරසවියෙන් පසු මට ඔහුව හමුවෙන්නෙ මීට මාස තුනකට පෙර, මගේ යෙහෙළියගේ මංගල උත්සවයෙදි. මගේ ෆැන්ටසි හීනවල හිටියා වගේම ඔහු මංගල ඇඳුමට හරි හැඩට හිටියා. මට හංගන්න සීතල දුක්බර කඳුළු නම් මගේ ඇස්වල තිබුණෙ නැහැ, උණුසුම් සතුටු කඳුළු මිසක.... සමුගන්න මොහොතෙදි මගේ යෙහෙළිය මාව වැළඳගනිද්දි ඔහුත් මාව ජීවිතේ පළමු සහ අවසන් වතාවට වැළඳගත්තා. ඒ වැළඳගැනීම තුළ මගේ සෙනෙහස ඔක්කොම කැටිකරල ඔහුට ප්‍රකාශ කරන්න බැරිවුණත් ඒක මට රත්තරන් තප්පරයක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. මීට හුඟාක් කාලෙකට  කලින් ඔහු මාව ඒ අයුරින් වැළඳගත්තා නම් මට හිතෙයි ඔහුගෙ තුරුළට වෙලාම ඉන්න. ඒත් දැන් මගෙ සතුට වෙන්නෙ ඇය ඔහුට තුරුළු වෙලා ජීවිත ගමන යද්දි ඔහුගෙ ඇස්වල  දිස්නෙ දෙන හිනාව දිහා බලන් ඉන්න එක. ඒ හිනාව හැමදාටම ඒ විදියටම තියෙන්න කියලයි මගේ පැතුම ............................................................................................................................ අක්කා ආව ගමන් කිව්වා අද රෑට පන්සල පැත්තෙ යමු කියලා. මමයි දෝණියි මේ පන්සල් ගෙනියන්න සේපාලිකා මල් කඩන ගමන්. සේපාලිකා මල් සුවඳක් මගේ මුළු මනසම සුවඳවත් කරල ආයෙත් මැකිල යනවා. රාත්‍රියට විතරක් නෙවෙයි දහවලටත් මට ඒ සුවඳ දැනෙනවා. ඒ සුවඳ මගේ මුහුණට ලස්සනම සිනාවක් අරන් එනවා. එදා වගේම ඒ සුවඳ අදත් කිසි වෙනසක් නැහැ. සේපාලිකා ගහ කොච්චර දුරින් තිබුණත් මට ඒ සුවඳ ළඟ ළඟම දැනෙනවා.ඒ සුවඳ දැනෙන වාරයක් ගානෙම මං පතන්නෙ සේපාලිකා මල්වලට හැමදාටම නිවනක් ලැබෙන්න කියලා. ඒකපාර්ශවික ආදරයක් කියන්නෙ පුදුමාකාර දරාගැනීමක් ජීවිතේට හුරු කරවන දෙයක් කියලා මට හිතෙනවා. කාලය ගෙවිල යද්දි ෆැන්ටසියට එහා ගිය අපූරු මෛත්‍රියකින්, කරුණාවකින්, මුදිතාවකින්, උපේක්ෂාවකින් ඒ පුද්ගලයා දිහා බලන්න හිත හුරුවෙනවා. සමහරවිට ඒ පන්නරයෙන් මුළු සමාජය දිහාම ඒ ගුණාංග වලින් බලන්න හුරුවෙන්නත් පුළුවන්. හිමි කරගැනීම, ප්‍රතිලාභ ලැබීම කියන රාමුවෙන් මිදුණම මං දකින්නෙ එතන තියනවා හරි සුන්දරත්වයක්. ඒ තැනට ආවට පස්සෙ ස්මරණය කියන්නෙ කඳුළක් නෙවෙයි....,සුවඳක්ම විතරයි...

NEWS

විභව කෙටිකතා | රෝමාන්තික ඔටු ගස්

  • Date: 2022-03-24