Blog



සමහර කතා ඔයයි මමයි විතරක් දන්න කතා. සමහර කතා මං කියලත් නෑ. හැබැයි දැනෙන්න ඉඩ ඇරලා තියෙනවා. ලස්සනම ලස්සන නිල් පාට පිහාටුවක් පොත් සලකුණ විදියට පොත මැද්දෙ ගුලි කරපු මම පියමැන්නෙ ඒ සුන්දරම සුන්දර අතීතයට. ----------------------------------------------- "ඔයා තාම පිහාටු එකතු කරනවද?" ඔහු අසයි. මම සිනාසුණෙමි. "ඇයි?" "ඔයාට මේක පිහාටුවක් වුණාට මට මේක මතකයක්! මං මතකයන් එකතු කරන්න ආසයි."  අනාගතය ගැන කතා කරන විට ඔහුගේ දෑස් දිලිසෙන අයුරු මම දැක ඇත්තෙමි. අනාගතය ගැන ලස්සනම ලස්සන චිත්‍රයක් ඒ දෑස්වල විය. එකලත් ඒ ගැන පැහැදිලි චිත්‍රයක් මට නොතිබුණි. "ම්ම්ම්, මං මතකයන් එකතු කරන්න වගේ ම මකන්නත් බය නෑ. ඒත් මං කැමතියි ඔයා නැති වෙලාවක වුණත් මේ පිහාටුවට තනි මකන්න පුළුවන්නම්." "හැමතිස්සෙම ඇයි ඔයා ඔහොම? මං ගැන විශ්වාස නැද්ද?" "විශ්වාසයි." මට සුසුමක් හෙලුණේ ඉබේටම ය. ගිනි ගහන කාස්ටකේ සීරුමාරුවට හීන් හුළඟක් ඇදෙයි. ජීවිතය මොන තරම් දුර ගමනක්ද? දශක දෙකකට විතර ඉස්සර මම මෙතන ම ඉදන් පාසල ඇරිලා ගෙදර යන්න බස්වලට අත දාන්න ඇති. දශකයකට විතර ඉස්සර මෙතන ම ඉදන් ඔයා එනකන් යන එන බස් දිහා බලන් ඉන්න ඇති. අද ඔයා එක්කම ගෙදර යන්න ඔයා එනකන් ඉන්නවා. අදත් කිව්ව වෙලාවටම ඔයා ඇවිත් හිටියා. "අපි ගමනක් යමු ද?" මම ඇසුවෙමි. "කොහේද?" "මුහුද බලන්න..." ඔහු වාහනය හරවා ගත්තේ ය. වෙරළ තීරය පුරා පුංචි පුංචි දරුවන් තැන තැන ය. කඩල විකුණන වෙළෙන්දන් හාත්පසය. කවුරුන් හෝ දමා ගිය ප්ලාස්ටික් බෝතලයක් සුළඟට ගසා ගෙන යයි.     අහස්කුස තැඹිලි පැහැ ය. තැනින් තැන රතු පැහැය කැන්වසයක් මත පින්තාරු කිරීමට පෙර ආලේප කළ තීන්ත බිංදු මෙනි. "අපි වාඩිවෙලා ඉමු" "ගෙදර කතා කරන්න බැරි දෙයක් තියෙනවද?" ඔහුගේ දෑස් මගෙ මුහුණට එබෙයි. "නෑ, මට ඔයත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආස හිතුණා." මම සිනාසුණෙමි. "හිතේ ප්‍රශ්නයක්වත් ද?" "නෑ, මෙතැනට ඉර බැහැගෙන යනවා පේනවා ලස්සනට.මට බලන් ඉන්න ඕනි." මම ඔහුට තුරුළු වුණෙමි. "මට ඔයාව තේරුම් ගන්න බෑ" "මට තේරුම් කරවන්නත් බෑ. මන් එක්ක පැය බාගයක් මුහුද දිහා බලන් ඉන්න, ඒ ඇති." රළ පෙළ නැඟෙයි.අප දෙසට පැමිණෙයි. විසිර යයි. ඈතින් නැවක් යයි. හීන්සීරුවේ මම ඔහුගේ අත මත මගේ අත තැබුවෙමි. පෙර මෙන් නොව ඒ දෑත් බෙහෙවින් ගොරෝසු ය. "මහන්සි වෙනවා නේද ගොඩක්?" ඔහු විමතියෙන් මා දෙස බලයි. "වැඩ එකක් කියලැයි නේද?" ආයෙමත් මම ම අසමි. "වැඩත් එක්ක ඔයාව අමතක වුණාද මට?" ඔහු අසයි. "නෑ, මට ඕනි මුහුදේ සද්දේ අහන්න." "ඔයා ඉස්සර වගේමයි, කියන්නේ නෑ කිසි දෙයක්." "ඔව්, ඉස්සර වගේ තමයි. මං තාමත් ආසයි මතකයන් එකතු කරන්න." "මතකයන්?" "ඔව්, සිප්පි කටු." "පොත් අස්සේ දාන්න බෑනේ." "අහ්! ඔයාට මතකයිද?" "අපි බඳින්න ඉස්සර ඔයා පිළිහුඩු පිහාටුවක් අරන් ගියේ." "බලාගෙන ගියාම ඔයාගේ මතකෙත් නරකම නෑ." ඔහු සිනාසෙයි. "ඔයත් ඉස්සර වගේමයි." "ඒ කියන්නේ?" "මං අගේ කරද්දි ඇස් දිලිසෙනවා." "ඇයි දුකින් ඉන්නේ?" "දුකක් නෑ. තව ටිකකින් ඉර බහී. පොටෝ එකක් ගමුද?" "හා..." "දැන් ටිකක් ඉඳලා සිප්පි කටු දෙක තුනක් අහුලන් යමු." "මාව තේරුම් ගන්න බෑ නේද?" "නෑ, මට දැනෙනවා ඔයාට මන් නැතුව පාළුයි." "ඒත් කරන්න දෙයක් නෑ නේද? ඉඳලා හිටලාවත් මෙහෙ ඇවිත් යමු. ගෙදර දකිනවට වඩා ලස්සනට මෙහේ ඉර බහිනවා. තනියම ඉන්නවට වඩා ඔයත් එක්ක ඉන්නකොට දැනෙනවා. "ඔහුගේ මුහුණේ පසුතැවිල්ලක් විය. "යමු. යමින් ගමන් එළවලු ගන්නත් තියෙනවා. ලයිට් බිල ගෙවන්නත් තියෙනවා." "සිප්පි කටු?" ඔහු අසයි. "යමින් ගමන් අහුලන් යමු."

NEWS

විභව Unframed | Episode 55 | මතක පිහාටු

  • Date: 2022-03-25