Blog



“Mycobacterium leprae“ කියන දණ්ඩාකාර  බැක්ටීරියාවකින් තමා මේ ලාදුරු බෝ වන්නේ.  බෝ නොවන වර්ගය පෝසි බැසිලරි (PB) යනුවෙනුත්,බෝවන වර්ගය මල්ටි බැසිලරි (MB) යනුවෙනුත් හඳුන්වන්නේ. මේක ඇත්තටම බෝවෙන රෝගයක්. තවත් කෙනෙක්ට බෝවෙන්න පුලුවන්. ඒ හින්දා දුරස්ථභාවය අත්‍යවශ්‍ය වෙනවා " මේ වෛද්‍යවරයෙක්. " අපෝ එයාට ලාදුරු හැදිලා. ඒ  ගෙවල් පැත්තෙවත් යන්න හොඳ නෑ. හැමෝම කොන් කරාම අපිත් කරාම මොකද? හිතවත්කම්වලට ගිහින් අපේ ජීවිත අවදානමේ දාගන්න ඕන නෑනේ" මේ ආසාදනය  නොවූවෙක්. තවත් කෙනෙක්? ඔව් ඒ , " එදා සතුටින් හිතවත්ව කතා කරපු කවුරුත්ම කතාවත් කරන්නේ නෑනේ. ඇයි මට ම මෙහෙම වෙන්නේ. මම සිය දහස් ගාණක් වැඩ, කරපු මගේ අත් පය විකෘති වෙලා. සමාජය ම මාව කොන් කරලා.අනේ! දොස්තර මහත්තයෝ මට හොඳවෙයි නේද? මට  දැන් මගේ ජීවිතෙත් නැතිකරගන්න හිතිලා තියෙන්නේ".           චන්ද්‍රරත්න මාපිටිගමයන්ගේ හදට දැනු තෙවැනි පාර්ශ්වය වූ තෙවැනි පාර්ශවය නොවන්නා ය.  මොහු සුවපත් වූවොත් දැනෙන හැඟීම ඔහුට දැනෙන්නට ඇත. කවියා එසේ ය. අනුන්ගේ හැඟීම් තමන්ගේ කර ගන්නවුන් ය. ඒ නිසා එතුමන් සුවපත් වූ අයෙක් වෙනුවෙන් තම අකුරු අමුණන්නට විය. ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා එදා මෙදා තුර බිය සැක රැන්ඳු රුදුරු වෙසක් හද තුල නිති ඇන්ඳු අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ දසත දිවෙන මහනෙල් සුවඳක් සේ දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ ඉර පායා ඇත අඳුර මියෙන සේ ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා ඉර පායා - ඉර පායා ඉර පායා - ඉර පායා ඉර පායා - ඉර පායා                       එකල රූපවාහිනී තිරයේ සමාජයට අගනා පණිවුඩයක් ද ගෙන දෙමින් මෙය, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට විශාරද සමිතා මුදුන්කොටුවගේ හඬින් ගීතවත් විය.                     රාත්‍රිය,  අන්ධකාරය තුළ බොහෝ දෑ සිදු වේ. ඒවා අපට නොපෙනේ; නොදැනේ; සුළු පිරිසක් දකිති. ඔවුන්ට දැනේ. නමුත් සූර්යයා නැගී ඒම සමග අප නොදුටු දෑ පෙන්වමින්, චමත්කාර ලෙස අන්ධකාරය දුරු කරමින් මුළු ලෝකයට ම අලෝකය ගෙන දෙමින් නැගී එයි. අන්ධකාරයක සිට එහි ම මියැදෙන්නට සිදුවේ යැයි සිතුණ හදවතකට ආලෝකය වැටුණු පසු ජීවත් වීමේ බලාපොරොත්තුව ලැබුණු පසු එහි හැඟීම අප දනී ද? මා නොදනී; සමහරවිට ඔබ දන්නවා ඇත. නමුත් චන්ද්‍රරත්න මාපිටිගමයන් තුළින් මම ද ඒ හැඟීම විඳගතිමි.  “ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා”                 කළුවර හදකට, අන්ධකාරයේ ගිලී තිබූ හදවතකට සමාජයේ කොනක සිටීමෙන් පීඩාවට පත් වූ හදවතකට,අවපස සඳකට ඉර පැයූ පසු එහි පරාවර්තනය කෙතරම් සුන්දර ද? අන්ධකාරයේ ගිලී තිබූ යම් දෙයකට ආලෝකයක් දුන් විට කෙතරම් පිබිදීමක් ඇතිවී ද? සුවපත් වූ මිනිසාට කෙතරම් එය දැනෙන්නට ඇති ද?                                           අප රටේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සියලුම දෙනාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සමාජයේ ලාදුරු රෝගය නිසා කොන් වූ මිනිසෙකුගේ ගැහැනියකගේ හැඟීම් එය සුව වූ විට කෙසේ වන්නට ඇති ද? එය අලුත් ජීවිතයක් ලැබුණා මෙන් විය යුතුය.                              “ සර් මම Modeling කරේ කලින්.......සර් මම කුලී වැඩ කරේ කලින් මේ මගේ අත් දෙකෙන් දහස් ගානක් බර උස්සලා ඇති.....සර් මම ගුරුවරියක්...."            මේ මගේ පියා එකල ලාදුරුවලට ගොදුරු වූ අයගෙන් ඇසූ දේවල් ය. සියලු දෙනාම තම සුපුරුදු ලෝකයට යන්නට එදා ආශාවෙන් පසුවන්නට ඇත. මේ අයුරට තම අත්, පය, මුහුණ දෙස බලමින් එදා කී දෙනෙක් නම් හිතින් කඩා වැටෙන්නට ඇත් ද? එයින් මිදී සුව වූ විට ඔවුන්ට දැනෙන්නට ඇත්තේ අලුත් දවසක් නව මගක් ඔවුන්ට ලැබී ඇති බව ය. කාලයක් තිස්සේ විඳි දුක් පීඩා මකා දමා ඔවූන්ට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගත හැකි ය. “එදා මෙදා තුර බිය සැක රැන්ඳු රුදුරු වෙසක් හද තුළ නිති ඇන්ඳු අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු”              තම ප්‍රතිභාපූර්ණ කවීත්වය පිළිබිඹු කරමින් පද රචකයාණන් තවදුරටත්  මෙලෙස අමුණන ලදී. "ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ දසත දිවෙන මහනෙල් සුවඳක් සේ දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ ඉර පායා ඇත අඳුර මියෙන සේ"          කවීත්වයෙන් ප්‍රායෝගික තත්ත්වයට පැමිණෙන විට විසංවාදයන් පිලිබිඹු කරන ගී අතර මෙය එකල තිබූ කාලීන තත්වයට 100% ක් සමාන වේ. " ලාදුරු " නම් වසංගත තත්ත්වය හමුවේ ගිලිහුණු මනුෂ්‍යත්වය, වෙහෙස වූ මිනිසුන්,  සමාජය ආදී සියල්ලට ම අගනා පණිවුඩයක් දීම සඳහා එකල රූපවාහිනි තිරයේ විකාශනය සඳහා නිර්මාණය කළ එක් ගීයක් පමණක් වුවත්, එයට මුහුණපෑවුන්ට ජීවිතය ම කියන්නා වූ පද පෙලක් ම විය. අඳුර ඉරා ආලෝකය ගෙන එන සූර්යයා, එකල තිබූ නිරන්තර සැක සංකා බිය දුරු වූ පසු එදා ලෝකය තවත් අසුන්දර දෙයක් නොවී ය. කඩාවැටී සිටි ජීවිත සිය දහස් ගණනක් නැවත හිනැහෙන්නට වූහ.             චන්ද්‍රරත්න මාපිටිගමයන් " ඉර" යන්නට මෙහි උපමා කර ඇත්තේ "සුවය ද?" නැතිනම් සුවය ලැබීම නිසා " නැවත උපත ලැබූ මිනිසත්කම ද? "යන්න විමසීම අගනේ ය. මාගේ දෘෂ්ටියට අනුව විඩාවට පත්වූ අයෙකුට තම විඩාව සංසිඳුවා දෙන සිසිල් ජල ධාරාවක් මෙන්, ඉර පෑයූ බව කියනුයේ සුව වීමට වන අතර, මහනෙල් සුවඳ දසත පැතිරී යන අන්දමට ඉර පෑයීම යනු මනුෂ්‍යත්වය නැවත පැතිරීම විය යුතු ය. මන්ද බෞද්ධ සංස්කෘතිය තුළ "මහනෙල්" ආදේශ කර ඇති උපමා බොහෝමයක් ම මනුෂ්‍යත්වය පිළිබඳ කරන ලද උපමා නිසා එම ආභාෂය මාපිටිගමයන් ද මෙතැන යොදා ඇත. එසේම මේ සුව වීම දැවී යන ගතකට එය නිවී යාමට දුන් ඔසුවක් සේ ම විය. මේ සියලු කාරණා දරා "ඉර" නැගී ආවේ අඳුර මරමින් ය. චන්ද්‍රරත්න මාපිටිගමයන් "ඉර" යන්නට තම ගීය තුළ අර්ථයන් දෙකක් ජනනය කර ඇත්තේ අපූරු අන්දමට ය.                                  ජීවිතයට ආශාවෙන් සිටි ජීවිතය සමඟ පොර බැදූ මිනිසුන්ට ඒ පිළිබඳ බලාපොරොත්තුවක් දුන් එකල ලෝකය ම කොන් කර ඉවත දැමූ අසරණ දහස් ගණනක ජනතාවට පිහිට වූ වෛද්‍යවරුන් හෙදියන් සියලු දෙනාටම අප අපේ ගෞරවය පිරි නැමිය යුතු බව අපට දැනිය යුතුම ය.  ඉර පැයූවේ ඔවුන්  නිසා මිසක වෙන අයුරකින් නොවේ. මෙවැනි තත්ත්වයක් හමුවේ නැවතත් දිනක මනුෂ්‍යත්වය ගිලිහී නොයන්නට ඉඩ නොදිය යුතුම ය. සම්පූර්ණ ගී පද මාලාව තුළ එක් පුද්ගලයකුගේ නොව පුද්ගලයන් සිය දහස් ගණනකගේ සත්‍ය කතාව චන්ද්‍රරත්න මාපිටිගමයන් විසින් සඟවා ඇති ආකාරය අපූරු ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 75 වන දිගහැරුම

  • Date: 2022-03-28