Blog



සිඳුණු වැව් පත්ලට තනි මැකුව රළු අහස මගෙ කණට කරල ඇහුවා, "කවදහරි දිය පිරිල ඉතිරිල යන දවසටත් වැව් පත්ල මේ විදියටම මා එක්ක හිනාවෙයි නේද" කියල. විඩාපත් බමරෙක්ට ඇති තරම් ගිමන් හරින්න පෙති ඉඩ දුන්නු පතොක් මලක් හිතුවා, "මේ බමරත් කවදහරි මේ යායම පතොක් යායක් කරන්න මට උදවු වෙයි නේද" කියල. දිව ගිලෙන්න තරම් පිපාසෙන් මග හිටපු තරුණයෙක්ට, හුඟක් දුර ගෙවන් ගිහින් පුරවන් ආපු කළෙන්, දෝත පුරා දිය දුන්නු තරුණියකගෙ සිත කිව්වා, "මේ තරුණයත් මාව ගෙදරට ඇරළවල යන්න එයි නේද" කියල. වියළි ගොඩ සුළං මුහුදු රළ එක්ක පොරබදිද්දි, මුහුදු හිස සිප වැළඳගෙන වෙරළ කිව්ව, "මං නුඹත් එක්ක හැමවිටම ඉන්නව" කියල. ඒ ජනප්‍රිය දෙබසෙත් සුපුරුදු විදියටම, "නුඹත් හැමවිටම මා එක්ක ඉඳීවි කියල මං හිතනව" කියන නොකියන පද පෙළ රැඳිල තිබුණා. ඉඩෝරෙන් වේළිච්ච ඇස් කෙවෙනි ටිකක් තෙත් කරන්න කියල මුහුද දිහාට ගිය මම, ආපහු එද්දි රිකිලි ගහක ඉදලා හමුවුණා දැල් හැදීම ප්‍රතික්ෂේප කරපු මකුළුවෙක්. මං උගෙන් ඇහුවා "ඇයි අනිත් අය වගේ නූලෙන් නූල වියලා ලස්සන දැල් හදන්නෙ නැත්තෙ?" කියල.   "හැදුවොත් නෙ කඩන් වැටෙද්දි දුක් වෙන්න වෙන්නෙ" මකුළුවා කිව්වා. ඉඩෝරෙත් වේළුණු කොළ අස්සෙ වටිනාම පාඩම් හැංගිල තිබුණා. "අපේ ළිඳෙන් ගිය මාසෙම වතුර ඇදල ගත්තු අහස, අද හෙටම අපිට පෙරළා වැස්ස දෙයි නේද" කියල. මගේ හිත ඊට පස්සෙ කිසිම දවසක මගෙන් ඇහුවෙ නෑ. ආයෙ කිසිම දවසක අහන එකකුත් නෑ.

NEWS

විභව Unframed | Episode 56 | ඉඩෝරය

  • Date: 2022-04-01