Blog



මිනිස් සිතෙහි හටගන්නා සියුම් සහ සොඳුරුත ම සංවේදනයන් ගවේෂණයට මෙන්ම, මානව සමාජයේ විවිධ අගතීන් ප්‍රශ්න කිරීමට එකී සමාජය ම පොළඹවාලීමටත් කවිය ප්‍රබල අවියක් කරගත් ළහිරු කිතලගම කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ උපාධිදරයෙකි. ඔහු විටෙක පුවත්පත් කලාවේදියෙකි; තීරු ලිපි රචකයෙකි; නවකතාකරුවෙකි; විචාරකයෙකි; පර්යේෂකයෙකි; මනුදම් අගයන සමාජයක් ගොඩනැගීමට වෙර දැරීම තම වෘත්තිය කරගත් සමාජ ක්‍රියාකාරිකයෙකි. 2018 වසරේ රජත පුස්තක සම්මානයට පාත්‍ර වූ ඔහුගේ නිර්මාණ එකතුවක් වන "කවුළු ඇස පාමුල" කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත් කාව්‍යයක් මෙම සංවාදයට පාදක වේ.   බණ කිව්වම හරිද තවමත් ඒ හුළඟ හමද්දී    සත්තකුම්භ ජාතකයේ ගිරාපෝතක තැන මම  නරුමයෙකු වුණ කාලකන්නියෙකු යැයි ඔහෙලට  පොඩි කාලේ ඉගැන්නුව   සාන්තුවරයෙකු වෙලත්  සකල ලෝ තතු ගැන හොඳ නරක දැනගෙනත්  'එන්ට මේ ඵල බුදින්ට මේ පැන් බොන්ට' බම්බුව   ඇයි ඌට එන්ඩ බැරි උනේ වුණේ  අප එදා බිමට ඇද දැම්ම  දරුණු හුළඟට එරෙහිව නැගිටින්න     එකම තැනෙකින් බිමට වැටුණම  හිතන්න තිබුණු දේවල් කොච්චර ද? දවසින් දෙකින් ඇත්ත තේරුම් යනකොට  හොඳ වචන කියන්නේ කොහොමද    කුණුහබ්බ කිය කියා  අරක්කු ගංජා කසිප්පු හැම මගුලක්ම ගහගහ  මම තාම හිතනවා ඒ සුළඟ ගැන    කිසිත් නොවුණු ගාණට සාන්තුවරුන්ගේ උගුලකට අහුවෙලා  ගලක් උඩ ඒ හුළඟ ම විඳ විඳ  උඹ තාම කියනවා හරි අපූරු බණ    සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙකුගේ ඕනෑම නිර්මාණයකින් යම් සමාජ ප්‍රකාශනයක් සිදු වෙනවා.උදාහරණයක් වශයෙන් සමාජය පිළිබඳව සවිඤ්ඤාණික වීමේ දී අප ලබන විවිධ වූ අත්දැකීම් සහ අත්විඳිම් නැවත සාහිත්‍ය නිර්මාණයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම දක්වන්න පුළුවන්.මං ආස ම මගේ කවිය හැටියට අද මම තෝරා ගන්නේ මගේ 2017 වසරේ පළ වුණු ලද 'කවුළු ඇස පාමුල' කාව්‍ය සංග්‍රහයේ 'බණ කිව්වම හරිද තාමත් ඒ සුළඟ හමද්දී' කියන පද්‍ය පන්තිය.මම කැමතිම මගේ කවිය කිව්වට අපි ලියන සෑම පද්‍ය පන්තියක් ම පාහේ ලියවෙන්නේ යම් හේතුවක් ඇතිව. මේ මොහොතේ ලාංකීය සමාජීය,දේශපාලන,ආර්ථික සන්දර්භය තුළ පවතින තත්ත්වය විග්‍රහ කරන ඉතාමත්ම කාලෝචිත පද්‍ය පන්තිය වීම නිසා මම මේ පද්‍ය පන්තිය මම කැමතිම මගේ කවිය ලෙස තෝරා ගන්නවා.  පුංචි කාලයේ ඉඳලා ම ඉතිහාස කතා, පුරාණෝක්ති, යම් යම් මතවාද, අධිපතිවාදී අදහස්, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළදී අපේ මනසට ඇතුල් කරනවා.එතැනදී බොහෝ විට සිදු වන්නේ සමාජයීය ආර්ථික දේශපාලන යථාර්ථය වසා ඒ වෙනුවට ඒ මත ආරෝපිත ව්‍යාජත්වයයි තවරා ඉදිරිපත් කිරීමක්. මෙතැනදී මම මේ කවියට වස්තු කොට ගන්නේ කුඩා කාලයේ සිට ම අපිට ඉතාමත් සමීප වුණු පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් සත්තකුම්භ ජාතකය.මේ කතා පුවත බහතෝරන සමයේ සිට ම අපිට ඉතා හුරු පුරුදු කතා පුවතක්.මෙහි අන්තර්ගතය ගිරව් දෙදෙනෙක් ගැන කතාවක්.මේ ගිරව් දෙදෙනා කුඩා කාලයේ දී මහා හුළඟට හසුවෙලා එක් ගිරවෙක් සොර මුලකටත් අනේ ගිරවා තාපසාරාමයකටත් වැටෙනවා.පසු කාලයේදී ඇසුරත් සමඟ මෙම ගිරව් දෙදෙනා ගමන් කරන මාවත් වෙනස් වෙනවා.එහිදී සමාජය විසින් හොඳයි කියා සම්මත තපස්වරුන් ගේ ඇසුර ලබන ගිරවත්, නරකයි කියා සම්මත හොර මුලට වැටුණු ගිරවාත් පිළිබඳව අප මනස තුළ යම් අධිපතිවාදී ආකල්පයක් ගොඩ නැගෙනවා.නමුත් මට බහ තෝරන වයසේ සිටම අනුකම්පාවක් දැනුණේ හොර මුලට වැටුණු ගිරවා ගැන.මම නිරන්තරයෙන් මගෙන්ම ප්‍රශ්න කළේ කළේ ඒ ගිරවට එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. පසු කාලීනව මම මේ නිමිත්ත වර්තමාන සමාජයට ගලපන්න උත්සාහ කරද්දී බණ කිව්වම හරිද තාමත් ඒ සුළඟ හමද්දී යන පද්‍ය පන්තිය රචනා වෙනවා.   සත්තකුම්භ ජාතකයේ  ගිරාපෝතක තැන මම අර හොර මුලට වැටුණ නරුමයකු වුණ  කාලකන්නියෙකුයැයි  පොඩි කාලේ ඔහෙලට ඉගැන්නුව   අප රටේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින්නේ පොතපතේ සඳහන් දෑට පමණක් සීමා වුණු  ක්‍රමයක්.ඒ නිසා ඊට එහා ලෝකයක් දකින්නට දරුවන් පුහුණු කිරීමක් ඒ තුළින් සිදු වන්නේ නැහැ.ඒ නිසා මම ඒ පිළිබඳව උත්ප්‍රාසයෙන් යුක්තව "කාලකන්නියෙක් යැයි පොඩි කාලේ ඔහෙලට ඉගැන්නුව" යන පද පේළිය මෙහිදී යොදා ගන්නවා.   ඇයි ඌට එන්ට බැරි උනේ අප එදා බිමට ඇද දැම්ම  දරුණු හුළඟට එරෙහිව නැගිටින්න   මේ සමාජ ඛේදවාචකයේ තිබෙන ගැඹුරු ම පැනය විදිහට මම දකින්නේ මේ ප්‍රශ්නය.මේ සහෝදරයා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන අතරෙ අනෙක් සහෝදරයා ප්‍රශ්න කරන්නේ අපි දෙදෙනාට මේ වගේ ජීවිතයක් අත්කර දීමට හේතු වුණු සුළඟ ගැන නො සොයා කිසි දෙයක් සිදු නොවුණු ආකාරයට භාවනායෝගීව සිටින්නේ කොහොමද?ඇත්තටම ඒ මුලාවක් නෙවෙයිද?එහෙම නැගී සිටින්න හැකියාවක් පවතිනවාද? කියන කරුණු පිළිබඳවයි.මෙතැනදී මම 'සුළඟ' භාවිතා කරන්නේ සංකේතයක් වශයෙන්. සුළඟ වශයෙන් දැක්වෙන්නේ වත්මන් සමාජය අර්බුදයක් කරා ගෙන යාමට හේතු වූ දේශපාලන ආර්ථික සමාජීය ආගමික සාධක සියල්ලන්ගෙන් සැදුම්ලත් කුණාටුව.මේ සාධක හැම එකක්ම අපේ ජීවිතය ගලා යද්දී බලපෑම් එල්ල කරනවා. ඒ වගේ ම මේවායේ ගැටීම මත අපගේ ජීවිතය තීරණය වෙනවා.මේ හේතුව නිසා සමාජයේ කෙනෙක් ඉතා ම සුඛිත ජීවිතයක් ගත කරද්දී තවත් කෙනෙක් ඉතා ම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා.මම මෙතැනදී උත්සාහ කරන්නේ ඇති හැකි පුද්ගලයන් කෙරෙහි වෛරී සිතුවිලි අනෙකාගේ සිත තුළ තුල වැපිරීමට නොවෙයි.මෙම සමාජ ක්‍රමය තුළ එවැනි වූ විෂමතාවක් ඇති වෙන්නට බලපාපු  හේතුව සොයා බලන්න පාඨකයා පෙළඹවීමයි මගේ අරමුණ.   එකම තැනකින් බිමට වැටුණම  හිතන්න තිබුණු දේවල් කොච්චර ද  දවසින් දෙකින් ඇත්ත තේරුම් යනකොට හොඳ වචන කියන්නේ කොහොමද    මෙතැනදී නරක යැයි සමාජය විසින් පිළිගන්නා සහෝදරයා ප්‍රශ්න කරන්නේ අප එකම තැනකින් වැටුණේ කුමක් හෝ අර්බුදයක් හේතුවෙන්. ඒ සියල්ල අමතක කර සිටින්න අපහසුයි.අප නැවත ඊට හේතු වූ කරුණු පිළිබඳව සතිය යුතුය.ඒ සියල්ල පසෙක දමා අමතක වුණු ආකාරයෙන් සිටීමට මෙහි එන අනෙක් තරුණයා ට බැහැ.එලෙස සිටීම ඇත්තෙන්ම ව්‍යාජත්වයක්.සමාජ අසාධාරණයට නිරන්තරයෙන් ගොදුරු වෙද්දී ඒ පිළිබඳව මෛත්‍රී සිතුවිලි මෙනෙහි කරන්න පුළුවන් කාටද? ඒ අවස්ථාවේදී උපදින කෝපය පිට කරන්නේ කුණුහරපයෙන් නොවෙයිද? එහෙම නම් ඉතින් කුණුහරප කීම වැරදිද? මම මෙතැනදී කුණුහරප කීම සාධාරණීකරණය කරනවාවත්,යහපත් වචන කතා කිරීම පහත්කොට සලකනවාවත් නොවෙයි.නමුදු මෙවැනි වූ වාතාවරණයක් තුළ දී හොඳ යැයි සම්මත වචන කථා කරමින් මෛත්‍රිය පැතිර වීම බලාපොරොත්තු වෙන්න බැහැ. මම මේ කවියේ සෑම තැනකදීම සංකේත භාවිත කරලා තියෙනවා. සුළඟ, දෙපැත්තට වැටීම, කූඩුව, ගිරා පැටවුන් දෙපළ කියන මේ සියල්ල ම මම භාවිත කරන්නේ සංකේත ආකාරයෙන්.එයින් මම උත්සහ කරන්නේ සාම්ප්‍රදායික ජාතක කතාවට එහා යමින් මේ මොහොතේ සමාජීය ප්‍රජාව අත්විඳින අර්බුදකාරී වාතාවරණය විග්‍රහ කිරීමටයි.පවතින දේශපාලනික, සමාජීය, ආර්ථික ව්‍යුහ හමුවේ බණ භාවනායෝගීව දිවි ගෙවමින් කිසිවක් නොවුණා වගේ, සාන්තුවරුන්ගේ උගුලකට හසුවුණා වගේ සිටීම සැබැවින්ම නිෂ්ඵලයි.සිදුවිය යුත්තේ පවතින අර්බුදයෙන් සියල්ලන් එක්ව නැගී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කරා ගමන් කිරීමයි.ඒ මඟ විප්ලවකාරී වුණත්, කෙනෙකුට එය සමාජ සම්මතයට පිටින් යෑමක් වශයෙන් දකින්නට හැකියාව පැවතුණත්, මේ මොහොතට අවශ්‍ය වන්නේ ඒකයි. මෙහි දැක්වෙන සමාජ විෂමතාවය ලොකු කුඩා සියලු දෙනා පාහේ අත්විඳින දෙයක්.මෙම අර්බුදය සියල්ලන්ගේ ම පාහේ ජීවිත වලට බලපෑම් එල්ල කර තිබෙනවා.පෞද්ගලිකව මමත් ඒ අත්දැකීම් ලබපු කෙනෙක්.ඒ නිසා ඒ අත්දැකීම් ම් මත මම මේ පද්‍ය පන්තිය ඔස්සේ අපි කාටත් හුරු පුරුදු කතා පුවතක් උපයෝගී කර ‌ෙගන වෙනත් මානයකින් පාඨකයා හමුවට ගෙන එන්න උත්සහ කළා.සැබෑ ලෙසම සිදු විය යුත්තේ ගතානුගතික වූ දෘෂ්ටියෙන් සියල්ල සිදු වෙන්නේ කරුමයටැයි බාර කරමින් සිටීම නොවෙයි: එය සිදුවීමට හේතුව සෙවීම සහ එම හේතුවට එරෙහිව නැඟී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක් පිළිබඳව අවධානය යොමු කිරීමයි.   සමාජය කෙරෙහි වෙනස්ම වූ ආකාරයක දෘෂ්ටියකින් යුතුව තම නිර්මාණනීය පන්හිඳ මෙහෙයවමින් ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ රාශියක් කලා කෙත පෝෂණයට දායාද කළ අතිදක්ෂ නිර්මාණකරුවෙක් ලෙස ළහිරු කිතලගමයන් හැඳින්විය හැක. කාව්‍ය නිර්මාණයට පමණක් සීමා නොවූ ඔහු විටෙක නවකතාකරුවෙකු; විටෙක පුවත්පත් කලාවේදියෙකු; තවත් විටෙක තීරුලිපි රචකයෙකු මෙන්ම විචාරකයෙකු සහ පර්යේෂකයෙකු ලෙසද සිය හැකියාවන් විදාහල කලා වෘක්ෂයක් ලෙසින්  හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. තවද මොහු කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ උපාධිධරයෙකු ද වේ. මෙම විචාරයට පාදක වන්නේ 2018 වසරේ රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ඔහුගේ කාව්‍ය එකතුවක් වන "කවුළු ඇස පාමුල" නම් කාව්‍ය කෘතියෙහි ඇතුළත් "බණ කිව්වම හරි ද, තාමත් ඒ හුළඟ හමද්දි" නම් වන අපූරු නිර්මාණයයි.   අප කුඩා කල සිටම අසා පුරුදු මතකයට ඉතා ළඟ කතා වස්තුවක් පාදක කොටගනිමින් සමාජයේ පවත්නා මෝහයේ අන්ධකාරය ඒ හා මුසුකරමින් පාඨක සිතට ආමන්ත්‍රණය කිරීමට ඔහු දක්වා තිබෙන දක්ෂතාවය ඉතා විශිෂ්ට ය. ප්‍රාථමික පන්තිවල ඉගැන්වීම්වල දී අප හඳුනාගත් සත්තිකුම්භ ජාතකයේ ගිරවුන් දෙදෙනා මෙහිදී සමාජයේ සැබෑ තතු හෙලිකිරීමෙහි ලා අවි ද්විත්වයක් ලෙස යොදාගෙන තිබේ. මෙහිදී හඳුනාගත හැකි සුවිශේෂිත ම කාරණය වන්නේ යහපත් යැයි අපි උගත් ගිරවා අනෙක් ගිරවාගේ උපහාසයට ප්‍රබල ලෙස ලක්ව තිබීමයි. සමාජයේ පවතින අගතිය හරිහැටි අවබෝධ කරනොගත් ඔහුගේ ළාමක චිත්තය පිළිබඳ ව සියුම් උපහාසාත්මක පහරදීමක් සිදුකරමින් සමාජයේ පවතින විෂමතාවය පිළිබඳ ව කිසියම් ගැඹුරු සංකල්පනාවක් සොර මුල අතට පත් ගිරවාගේ චරිතය පාදක කරගනිමින් ඉදිරිපත් කිරීමට කිතලගමයන් උත්සාහ ගෙන තිබේ.   " සත්තිකුම්භ ජාතකේ ගිරා පෝතක තැන මම අර සොර මුලට වැටුණ නරුමයෙකු වුණ කාලකණ්ණියෙකු යැයි ඔහෙලට පොඩි කාලෙ ඉගැන්නුව "   මේ අයුරින් කවියෙහි පළමු පද කිහිපය උපයෝගී කරගනිමින් පාඨකයා වෙත ආමන්ත්‍රණය කරන කථකයා තමා කවුද යන්න වග හඳුන්වාදීම සිදු කරයි. ඔහු, අනෙකා විසින් තමාව හඳුන්වන ආකාරය ඔහුගේම වචන වලින් ඉදිරිපත් කර තිබීමෙන් හැඟෙන්නේ කිසියම් පෙරළිකාරී බවකි. විශේෂයෙන් ම ' කාලකණ්ණියෙකු යැයි ඔහෙලට පොඩි කාලෙ ඉගැන්නුව ' යන පද්‍ය කොටස තුළින් කිසියම් වැරදීමක් සිදුව ඇති බවට සියුම් සංවේදනයක් ලබාදීමට එකී වචන කිහිපය දායක වී තිබේ.විශේෂයෙන් ම මෙහි 'පොඩි කාලෙ ඉගැන්නුව' යන්න පවතින අධ්‍යාපන ක්‍රමයට එල්ල වූ  සියුම් ප්‍රහාරයකි. මන්ද යත් පාසල් පෙළපොත් තුළින් එහා, කටපාඩමින් එහා ලෝකයක් දකින්නට, ලෝකයක් කියවන්නට තරම් පුළුල් අධ්‍යාපන අවස්ථාවක් අප සතු ව නැති බැවිනි. තව ද මෙහි දී මෙම වචන කිහිපය මගින් කුඩා කාලයේ අපට උගන්වන දේ සදාකල් මතකයෙහි පවතින බවත් එවන් දෑ මනසින් වෙනස් කිරීම ඉතා අපහසු බවත් පෙන්වා දීමටත් ගත් උත්සාහයක් ලෙසට ද සැලකිය හැකි ය.    මෙහි දී සත්තිකුම්භ නම් ගිරවා, කුඩා කල සිට අප දැනසිටි යහපත් යැයි උගත් ගිරවාගේ චරිතය උපාහාසාත්මක ලෙස විග්‍රහ කරමින් සමාජයේ පවතින විෂමතාවය ඉදිරිපත් කර ඇත. ඔහු අප දන්නා තරමින් ඉතා යහපත්, කරුණාවන්ත, සියල්ලන් කෙරෙහි යහපත පතන, සියලු දේ දන්නා කෙනෙකි. එහෙත් මෙහි දී ඔහුගේ ඒ චරිත ස්වභාවය කිසියම් ඝට්ටනයකට ලක් කරයි.. දෙවන පද්‍යයයෙහි අවසන එන 'බම්බුව' යන වචනයෙන් එකී උපහාසය මැනවින් ඉදිරිපත් වේ.    මෙහි ගිරවුන් දෙදෙනාගේ චරිත හරහා මිතුරන් දෙදෙනෙකු සංඛේතවත් කොට ඇති බව සිතිය හැක. ඔවුන් දෙදෙනාම එකම සමාජ තලයක සිට කුමන හෝ ආකාරයකින් එක් අයෙකු සමාජයේ ඉහළ යැයි සම්මත තලයකට පැමිණ පෙර සිටි මිතුරා අමතක කරමින් තමා සියල්ල දන්නා උගතෙකු යැයි ද, තමා විසින්ම තමන් ඉහළ  සමාජයේ සාමාජිකයෙකු යැයි ද සිතා, පුහු සමාජ තත්ත්වයක් ආරූඪ කරගෙන සිටිනවා විය හැක. කෙසේවෙතත් ඔහු හොඳම කෙනා තමා යැයි සිතා සිටියත් ඔහුත් නොදැනම ඔහුද සමාජයේ පවතින අන්ධකාරයේ ගිලී ඇති බවක් හැඟේ. කථකයා විසින් ඔහුගේ යහපත් ප්‍රතිරූපය බිඳ දමමින් ඔහුද අනෙක් මිනිසුන් ලෙස ම ආත්මාර්ථය පෙරදැරි කොටගත් සාමාන්‍ය මිනිසෙකු බව ගෙනහැර දක්වයි. එහිදී කථකයා විසින් පැන විමසමින් අසා සිටින්නේ ඔබ එතරම් සාන්තුවරයෙකු නම් එදා හැමූ දරුණු සුළඟට එරෙහිව නැගිසිටීමට නොපැමිණියේ කිමද යනුවෙනි. මෙම පද්‍ය පන්තිය පුරාවටම භාවිතා වන 'සුළඟ' යන්න ඉතා ප්‍රබල සංඛේතයකි. එමගින් සමාජ විෂමතාවයෙහි ආරම්භය, සමාජ අගතියෙහි ආරම්භය සංඛේතවත් කරනු ලබයි.   'එකම තැනකින් බිමට වැටුණම සිතන්න තිබුණ දේවල් කොච්චරද? දවසින් දෙකින් ඇත්ත තේරුම් යනකොට හොඳ වචන කියන්නෙ කොහොමද ?'   මොවුන් දෙදෙනාම එකම සමාජ තලයක සිට දෙපැත්තකට විසි වුණු සමාජය තුළ තැලී පොඩිවන තවත් ජීවිත දෙකක් යන වග මෙමගින් පැහැදිලි ය. එහෙත් එක් අයෙක් සමාජය තුළ ඉහළින් සිටීමත්, ඔහු තමන් පිළිබඳ ව අධිමානයකින් සිතීමත්, අනෙකා තමා සිටින කුඩා තැන සිටිමින් සමාජයේ වන සියල්ල අත්දකිමින් අත්විඳිමින් ලෝකයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගනිමින් සිටිනා බවත් දැක්වේ. 'එකම තැනකින් බිමට වැටුණම' යන්නෙන් දෙදෙනාම සිටින්නෙ සමාජ අඳුරෙහි ගිලෙමින් යන්න පිළිබඳ ව ඔහු තුළ තිබෙන අවබෝධය හෙලි වේ. තව ද ඔහු තමා සතුව සමජය වෙනස් කිරීමට ඇවැසි ඉහළ චින්තන ශක්තිය පවතින බව ද පද්‍ය පන්තිය පුරාවට ම ඉදිරිපත් කරයි. තමා වෙනුවෙන් නොව මුලු මහත් සමාජය වෙනුවෙන්ම සිතිය හැකි අතිවිශාල පරාර්ථකාමී සිතක් ඔහු සතු ව තිබෙන බව මෙමගින් පැවසෙයි.   සමාජය තුළ කෙනෙකු අයහපත් යැයි කොන් කිරීමට යොදාගන්නා පදනම් සාධක කිහිපයක් සෑමවිටම අප කා අතරත් පවති. ඒ අතුරින් මත්පැන් පානය කිරීම, අයහපත් ලෙස වචන හැසිරවීම යනාදී වශයෙන් බොහෝ හේතු කාරණා පාදක වේ. මෙහි කථකයා ද එකී සියල්ලෙන් පරිපූර්ණ වූවෙකි. නමුත් ඔහු ඒ සියල්ල ඔස්සේ සිත මෙහෙයවන්නේ සමාජය හරහා ඇදීගිය අන්ධකාරයේ සුළඟ පිළිබඳව ය. ඔහු සමාජය තුළ කාලකණ්ණියෙකු, නරුමයෙකු විය හැක. එහෙත් සමාජයේ ජීවත් වන කිසිඳු මහත්මයෙකුගේ චින්තනයේ නොමැති අන්ධකාරය පලවා හැර ආලෝකය කරා ගමන්කිරීමේ යහපත් චින්තනය ඔහු සතුව පවතී.   "කිසිත් නොවුණ ගානට සාන්තුවරුන්ගේ උගුලකට අහුවෙලා ගලක් උඩ ඒ සුළඟ ම විඳ විඳ උඹ තාම කියනවා හරි පුදුම බණ ?"   ජීවත් වීම පිළිබඳ ව, අනාගතය පිළිබඳ ව, මෙන්ම අතීතයේ සිදු වූ සිදුවීම පිළිබඳවත් හොඳින්ම දන්නවා වුවත්, තවමත් ඊනියා සාන්තුවරුන් විසින් අටවන උගුල්වලට හසුවෙමින් , ඉන් ගැලවීමට කිසිවක්ම නොකරමින් ඔහු තවමත් බණ කීම කථකයාගෙ මනස තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබේ. මෙහි පද්‍යයයේ අවසානයට යොදාගෙන තිබෙන ප්‍රශ්නාර්ථය ද ප්‍රබල සංකේතයකි. ඒ මගින් ඔහු පවසන බණවල කිසිඳු අරුතක් නොමැති බවත්, ඔවුන් සියල්ලන්ම සහ අප සියල්ලන් ම බණ අසමින් එකම උගුලක පැටලෙමින් අන්ධකාරයේ ගිලෙමින් පවතින බවක් සංකේතවත් කර තිබේ.   මෙම පද්‍යය හරහා සමාජයේ පවතින විෂමතාමය පිළිබඳ කතිකාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇති බව පැහැදිලි ය. මේ හරහා සමාජයේ ජීවත් වන අප සියලු දෙනාම අතීතයේ සිට අද දක්වා ම සාන්තුවරුන් ලෙස පෙනී සිටිමින් අපගේ ජීවිත අපෙන් උදුරාගන්නා දේශපාලකයන්ට රැවටෙමින් අප විසින්ම අපගේ ජීවිත වල අවසානය ළඟා කරගන්නා බව ඉදිරිපත් කර තිබේ. එමෙන්ම සමාජය තුළ යහපත සහ අයහපත යන්න සියුම් අයුරකින් විග්‍රහ කරගත යුතු බවට ද මෙහි දී  පණිවිඩයක් ලබා දේ. මන්ද යහපත තුළ නොපෙනෙන අයහපතක් මෙන් ම, අයහපත තුළ නොපෙනෙන යහපතක් ද පැවතිය හැකි බැවිනි.   මේ අනුව ළහිරු කිතලගමයන් විසින් රචිත මෙම 'බණ කිව්වම හරි ද, තාමත් ඒ හුළඟ හමද්දි' නම් වන පද්‍ය නිර්මාණය සමාජය තුළ පවතින සැබෑ තත්ත්වය විවරණයටත්, එකී විවරණය හරහා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් සමාජ සංශෝධනමය භූමිකාවටත් පණ පොවන අති සාර්ථක නිර්මාණයක් ලෙසටත් හැඳින්විය හැක.

NEWS

මං ආස ම මගේ කවිය | 19 වන දිගහැරුම | ළහිරු කිතලගම සමඟින්

  • Date: 2022-04-04