Blog



ඒ දවස්වල ඉස්කෝලේ ඇරිලා එන්න බස් ගාස්තුව රුපියල් පහළොවයි. උණ්ඩි කරපු දහයේ කොලේකුයි පහේ කාසියකුයි බෑග් එකේ එළියේ ම සාක්කුවේ තිබුණා. බස් එකට නගින්න කලින් ඕක බෑග් එකෙන් කලිසම් සාක්කුවට ඔබා ගන්න පුරුද්දක් ඒ දවස්වල තිබුණා. බස් එකට ගොඩ වුණාට පස්සේ බෑග් එක කොහෙවත්; මං කොහෙවත්නේ. යන්තම් හයේ පන්තියේ විතර ඉද්දි බෑග් එකේ සාක්කුවට අතාදානකොට අහුවෙන කාසියයි කොලෙයි අතට අහු වුණේ නෑ. බෑග් එක ගලවලා බිමින් තියාගෙන එකින් එක පොත් එළියට අරන් ඒක හොයපු හැටි මට තව ම මතකයි.  ඒක තිබුණේ නෑ . එදා හිතට දැනුණු දුක වචන කරන්න අදටත් මං වචන හොයනවා. මෙලෝ හසරක් නො දන්න ටවුමක ආපහු යන්න සතයක්වත් නැතුව මහ සෙනඟ මැද්දේ මං තනියම. ඇස් උගුල්ලන් කම්මුල් තෙත් කරන් ආව කඳුළු සපත්තු ඉස්සරහින් වැටුණා.  නන්නාඳුනන ටවුමේ කඳුළු දැකලා මං ගාවට කිට්ටු වෙච්ච් බෝ ගහ ගාව පත්තර වෙළෙන්දාගේ විට කහට බැඳුණු දත් අස්සෙන් ඇඳුණ මනුස්සකමේ හිනාව මට අද වාගේ මතකයි. පරිස්සමට නවලා තිබ්බ රුපියල් විස්සක් මගේ අතින් තියලා ඔළුව අතගාපු හැටි මට මතකයි.  ඔය සිද්ධියෙන් දවස් කීපයකට පස්සේ මං එයාගෙන් විජය පත්තරේ ගන්න ගියත් ඔහුට මං ගැන මතකයක්වත් තිබුණේ නෑ. ලැට් බාල්දියෙත් "අහවලා විසින් පූජා කරන ලදී" කියලා හංවඩු ගහන සැදැහැවතුන් අතරේ මට ඒ මනුස්සයා ගැන පුදුමයි.  ඒ රුපියල් විස්ස ආපහු දෙනවද? එයා මොනවා හිතයි ද? මගේ හිත පුදුම විදියට වද දුන්න ප්‍රශ්නයක්. කොහොම වුණත් ඒක නොදුන්න එක ගැන මං අද සතුටු වෙනවා. එදා මං වෙනුවෙන් උණු වෙච්ච හදවත රුපියල්වලින් කියන්න බැරි තරම් වටිනවා.  දවසක මට පුළුවන් වෙයි ඒ රුපියල් විස්ස වෙනුවට විසි දාහක් ඒ මනුස්සයා අතට දික් කරන්න. ඒත් එදා මට ලැබුණු විස්සේ වටිනාකම අහලකටවත් එන්න ලැබෙන එකක් නෑ. දවසක මටත් පුළුවන් වෙයි එදා මං වගේ පොඩි එකෙක්ට රුපියල් විස්සකින් හරි උදව් වෙන්න. ඒක එදා මට හම්බුණු විස්ස තරම් ම වටීවී.  මනුස්සකම හරියට චේන් එකක් වගේ තියෙන්න ම ඕනි. කෙනෙක්ගෙන් මට; මගෙන් කාට හරි; එයාගෙනුත් කාට හරි.

NEWS

හිතට දැනෙන දේ | මනුස්සකම හරියට චේන් එකක් වගේ තියෙන්න ඕනි

  • Date: 2022-04-13