Blog



එකමත් එක රාජධානියක් තියනවා, ඒකට කිව්වේ "ටෙරබිතියා" කියලා. අඳුරු මායාවන්ගෙන් සහ වීර සෙබළුන්ගෙන් පිරිච්ච මේ රටේ රජතුමා නම් දරිද්‍රතාවයේ අඩියේම පෙළෙමින් උන් අයෙක්. රජතුමාගේ පවුලේ උදවිය එදිනෙදා වියදම ගැටගහගත්තෙත් හරි අමාරුවෙන්. මේ රජුට හිටියා අපූරු සහකාරියක්. ඈ මේ රජතුමාට ජීවිතය විඳින පාර පෙන්නනවා. රජතුමා මානසික විඳවීම් සෑහෙන ප්‍රමාණයකින් බැට කා සිටියා වුවත් ඈගේ ආගමනයත් සමග ම ප්‍රබෝධමත් වූ මානසිකත්වයකින් ජීවිතයට මුහුණදෙනවා.  රජතුමා අර සහකාරියත් එක්ක පාසල් යනවා, සෙල්ලම් කරනවා, චිත්‍ර අඳිනවා. රජතුමාගේ චිත්‍රවලයි සහකාරියගෙ හිතලුවලයි තිබ්බ සංඝටක එකතු කරලා ඔවුන් දෙදෙනා ටෙරබීතියාව තව තවත් ගොඩ නගනවා. එය පාලනය කරනවා.  නමුත් එක්තරා අඳුරු දවසක ටෙරබීතියාවට පාලමක් හදනවා! චිත්‍රපටයේ නම වෙන්නෙත් ඒක, "Bridge to terabithea"! මේ චිත්‍රපටයට මේ නම ලැබෙන්නෙ ඇයි ද කියලා දැනගන්න නම් ඔබට චිත්‍රපටය බලන්නම වෙනවා...  පාසල් යන රජතුමෙක්? ටිකක් අමුතුයි වගේ ද? සරලවම ෆැන්ටසිය සහ රියැලිටිය ඉතා සමජාතීය මිශ්‍රණයක සංඝටක කළ සාර්ථකම නිර්මාණයක් විදියට මේක නම් කරන්න පුළුවන්.  මානව සම්බන්ධතාවල ඉසියුම් කොන් වගේම රළු පැතිකඩ ස්පර්ශ කරමින් දිවෙන මේ කතාන්දරය ඇතුළෙ නුඹට මට නැවතිලා හතිලන්නත්, නැවතිලා විඳින්නත්, නැවතිලා විඳවන්නත් ඕනෑ තරම් නැවතුම් තියනවා. විශේෂම කාරණය නම් බැලූ අයෙකුගේ හිතකින් ලේසියෙන් ගලවන්න පුළුවන් සමරුවක් නෙවෙයි ටෙරබීතියාව කියන්නෙ. මතක් වෙන වාරයක් පාසා නුඹව සංවේදී කරලීමට සමත්, නුඹව අතීතකාමයක ගිල්වීමට සමත් "යොවුන්" චිත්‍රපටයක් විදියටත් මේක නම් කරාට වැරැද්දක් නෑ.  රංගනය පාර්ශවයෙන් ගත්තාම එහි සිටින ඉතා කුඩා වයසැති ළමා නිළියගේ සිට ඉහළට සියල්ලන් අනගි කර්තව්‍යයක නියැලෙනවා. කැමරාකරණයෙන් ද සිනමාකරණයෙන් ද අවිවාදයෙන්ම තිර රචනයෙන් සහ අදියුරුවෙන් ද සුබවාදී දෑ දහසක් මිශ්‍රිත මිශ්‍රණයක් වූ හෙයින් ම ටෙරබීතියාවේ නිමාව පරිපූර්ණ එකක් වෙනවා. තවදුරටත් විස්තර කරනවාටත් වඩා ඔබ නරඹන්න. නරඹා අදහස් බෙදාගන්න මෙතනට එන්න.  පාසල් යන දිළිඳු රජතුමාට වගේම කාට වුණත්, මොන මොන ෆැන්ටසියක හිරවෙලා හිටියත් රියැලිටියට මුහුණ දෙන්නම වෙනවා.  ෆැන්ටසිය කියන්නෙත් රියැලිටිය අස්සේ තියන එක සංඝටකයක් විතරමයි කියලා නුඹට දැනෙන මොහොතට නුඹ නිවෙනවා! 

NEWS

විභව Unframed | Episode 58 | Bridge to Terabethia

  • Date: 2022-04-15