Blog



සුභර කියන වචනය බෞද්ධයාගේ විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකික සියලු දෙනාගේම කනට බොහොම හුරු පුරුදු ඇති. ඒ අරුත් දැන හෝ නොදැන කඩපිලක්, හන්දියක්, ගෙයක් දොරක් ගානේ ශ්‍රවණය වන හා ශ්‍රවණය කරන කරණීය මෙත්ත සූත්‍රයේ කියැවෙන සඟ ගුණ අතර සුභර ගුණයත් තිබෙන නිසා. "සුභර" යනු පහසුවෙන් පෝෂණය කළ හැකි යන්නයි. ගමේ පන්සලේ, ආරණ්‍යයේ වෙසෙන ස්වාමීන් වහන්සේලා නම් පහසුවෙන් පෝෂණය කළ හැකි නමුත් සත්මහල් ප්‍රාසාදවල වෙසෙන උන්නාන්සේලා නම් සතුටු කරන්නට, පෝෂණය කරන්නට හැක්කේ එවැනිම ධන ස්කන්ධයකින් ආඪ්‍ය වූ ජීවිත ගෙවන මහ ධනපති මැති ඇමති ජීවිතවලට ම පමණයි. ගමේ පන්සලට සලාක දානය දීමත් දැන් දැන් මධ්‍යම හා සුළු ප්‍රාන්තික ජනතාවට බොහෝ දුෂ්කර කටයුත්තක්. අල්පෙනෙත්තක තරම් දේ පවා දෙගුණයක් මිල වුවත් මාසිකව උපයන්න පුළුවන් මුදල නම් දෙගුණ වෙලා නැති නිසා මාසයක් පුරාවට ඒ සොච්චමෙන් බඩ කට පුරවා ගැනීම පවා අරගලයක්. ඉතින් ඉගෙන ගන්න දරුවන් ඉන්න නිවසක නම් ඔවුන්ගේ අඩුපාඩු සපයන්නත් වියදම් වෙන්නේ සුළුපටු මුදලක් නොවෙයි. මේ වගේ මහා ජීවන අරගලයක යෙදෙමින් දරුවන්ගේ මුහුණේ හිනාව හැමදාමත් රකින්න වෙර දරන පපුතුරේ ගිනි දැවෙන මාපියන් කොතරම් ද? හතර අතට ණය වෙලා හරි අලුත් අවුරුද්ද සමරන්න දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ගේන, තමාට කියා අලුත් ඇඳුමක් කාර්තුවකින්වත් අතගා නැති කැඩුණු සපත්තුව ම පිළියම් කරගෙන කාර්යාලයට පළඳින පියවරුන් කොතරම් සුලබ ද? සිංහල හින්දු අලුත් අවුරුද්ද ළං වෙද්දි කඩවල්වල සෙනඟ පිරෙන්නෙ පසුම්බියත් පිරිල තියෙන නිසාම නෙවෙයි. මේ අවුරුද්දෙත් කරන්න තියෙන යුතුකම් ටික කොහොමහරි ඉටු කරන්න බලාගෙන. එහෙම අමාරුවෙන් අවුරුද්ද සැමරුවත් වෙන මාසවලටත් වඩා අවුරුදු මාසයේ අවසානය ළං වෙද්දි නිවසක අගහිඟකම් නම් බොහොමයි. නිවසේ රැකියාවක් කරන්නෙ ගෘහමූලිකයා විතරක් ම නම්, නිවසේ දරුවන් අධ්‍යාපනයේ යෙදෙනවා නම්, දිගු කාලීන රෝගවලට බෙහෙත් ගන්න කෙනෙක් ඉන්නවනම් ඔවුන්ගේ ජීවන අරගලය තවත් දරුණුයි. තමන්ගේ ස්වාමියා දහදිය මහන්සියෙන් හම්බකරන පුංචි පඩි පතෙන් හරි හැමදේම පිරිමහගෙන ඊළඟ පඩි දිනය වෙනකල් ගෙදර අඩුපාඩු නොකියා ඉන්න ගෘහණියක් මුළුතැන්ගෙයි ගෙන යන්නෙත් මහා සටනක්. පුංචි දරුවන්ගේ, රැකියාවෙන් වෙහෙස වුණු සැමියාගේ, ඔත්පල දෙමාපියන්ගේ ඕනෑඑපාකම් සියල්ල පිරිමහන ඈ පූර්ණ ලෙස පරමාර්ථයට කැප වෙද්දී ඇයට කියා කිසිදු ආශාවක් ජීවිතයේ ඉෂ්ට නොවුවත් ඇය කිසිවිටෙකත් තැවුල් නොවෙයි. සියල්ලක් ම පිරිමැසුම් කරන අම්මාගෙ බඩ කට කවදා කෙසේ වුවත් අද වර්තමානයේ යහමින් පිරේ යැයි මම නම් විශ්වාස නොකරමි. ඒ මේ සමයේ දුෂ්කර වී ඇත්තේ දුගී පැල්පතට පමණක් ම නොවන නිසාය. ඉදින් නිවසක සියලු දෙනාගේම ඕනෑඑපාකම් පිරිමසන දුක් ගින්දර පමණක් ම නොව කුස ගින්දර ද දරා සිටිමින් මහත් වූ ජීවන අරගලයක යෙදෙන අල්පේච්ඡ වූ ගෘහණියගේ මුළුතැන්ගෙයට, මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන ගමන් හෝ හිරු එබී බලත්වා! යන්න මගේ ප්‍රාර්ථනය යි. අල්පේච්ඡතාවය, පහදන්න පහසු ම ගෘහණියට ... පැහැදීමත් අවැසි නෑ, උගනිය හැක ඇයගෙන් අපට ... හාල් හුණ්ඩුව අඩිය කාල් ගාන දවසට, පිරෙන්න මදියි කීවත් නෑඹිලිය, නොපවසයි එලෙස මවුගේ බඩ කට...

NEWS

හිතට දැනෙන දේ | සුභර වූ මවුන්ට ....

  • Date: 2022-04-20