Blog



නුවර අහස පුරාවට ගණට ඇදෙන වළාකුළුවලට අපේ ගෙයි දුමත් ඇදෙන අයුරු මම බලන් සිටියෙමි. හරියට ම පැහැදිලි නැති කෙනෙකුට කියාගන්න බැරි සිතුවිලි ගණනාවක් මිය ගිහින් තිබුණ මිනිත්තු පුරාවට ඇඳෙමින් තිබුණි. "මොකද කල්පනාව?" මගේ ගාවට ම ඇවිත් උරහිසට අත් තිබ්බ ඔහුත් ඇහුවෙ අහස දිහා බලාගෙන ම. "අම්මල කාලද දන්නේ නෑ" "මන් එක්ක තරහද?" "නෑ" "හවසට මාලිගාවේ යමු." "මට ඕනෙ නැති මාලිගාවක් නෑ.මට තනියම ඉන්න ඕනි." ඔහු මා අසලින් යනු මට දැනෙයි. නමුදු නවතා ගැනීමට ශක්තියක් නැති සේ ය.           හවස් යාමය පුරාමත් ඔහුගේ සේයාවක්වත් නැති වීම දරාගත නොහැකිය. රෑ වත් ම එය කේන්තියකට පෙරළෙමින් තිබුණි.          විදුලි ආලෝකයෙන් විනිවිද පෙනෙනා කුලී නිවසෙහි සීමාවක් නැතිවම දැනෙනුයේ හුදකලාව හා පාළුව පමණි. ඔහු තවම නැත. නිවසෙහි සිටියානම් මන් ආසම වැඩසටහන ඉදිරියේය.එදා වූ සැහැල්ලුව අද නැත. ගැහැනියක සතු සැහැල්ලුම කාලය ඇගේ දෙමව්පියන් සමඟය සිතෙන කාලය වන විට මා ජීවිතයෙන් බොහෝ දුරක් පැමිණය.                දුරකථන ඇමතුම් එක පිට එක එකම අංකය මත අංකනය කර ඇත. එහෙත් නිහඬ ය. හතට පමණ ඔහු ගෙදරට ගොඩවිය. එහෙත් ඒ මා ආදරය කළ ඇස් නොවීය. රතු ම රතු යවට ඇස්, පොඩි වූ ඇඳුම් හා ඒ පිළිකුල් ගඳ පළමු වරට දැනෙත්ම දරාගත නොහැකි ශෝකයෙන් මම මුසපත් වීමි. "ඔයා?" ඔහු කිසිවක් ම නොකියා නිහඬව ම කාමරයට ගියේය.       දින කිහිපයක් පුරාවට ඔහුත් මමත් අතර කිසිඳු කතාබහක් නොවීය. හිමින් සීරුවේ ගෙවුණු දවස් අතර එකම නිවසක් තුළ ගව්ගාණක දුරක් අපි තුල විය. අපි එකිනෙකාගෙන් එකිනෙකා මගහැරියෙමු. ඒ අතරතුර මට නිවසේ වටිනාකම තව තවත් දැනෙමින් තිබුණි. අන්තිමේදී  ඔහු ම කතා කළේය. "ඔයා මන් එක්ක ඉන්නේ සතුටින් නෙවේද?" "අම්මල තාත්තලව අඬවලා මන් සතුටින් ඉන්නේ කෝමද?" "හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව?" "නෑ..." "එහෙනම්...?" "මාලිගාවේ යමු."මම සෙමෙන් කිව්වෙමි.         කෙමෙන් කෙමෙන් අප අතර අපැහැදිම දුරුවත්ම නැවතත් අකුණු සැර වැදුණේ පද්මා මිස්ගෙනි. "අයියා නැතිවෙලා දැන් කොච්චර කල් ද ප්‍රාර්ථනා?" මා තිගැස්සුණේ මා ද ඒ අපරාධයට සම්බන්ධ කලක මෙනි.      "අවුරුදු හතක් විතර මිස්"      "හඃ! ඇත්තද ප්‍රාර්ථනා ඔයාලගෙ හස්බන් ටැමිල් කියන්නේ?" යුද්ධයේ බිහිසුණු ම අවධියක සිට  ජය ගත් පසු සතුරු ජාතිය ළඟ සිටීම ද මිනිසුන්ගේ සිංහ ලේ කෝපගන්වන සුළුය.     "ඔව් මිස් ට්‍රේනින් ස්කූල් එකෙදි මුණ ගැහුණේ.." මම වෙනසක් නොපෙන්නා කීවෙමි.      "අහ්,මට ඒත් මිස්ලගේ පැත්තේ අම්ම කෙනෙක් කිව්වා මිස්ලගෙ ගෙදරින් එච්චර කැමති වුණේ නෑ කියලා." මට මහත් ලැජ්ජාවක් දැනුණි. "ඔව් මිස්... සමාජය අපි හිතන තරම් සුන්දර නෑ. තමන්ගේ ආදරේ ගැන හරිම සුන්දරව දකිනවා. ඒත් අනික් මිනිසුන්ගේ ආදරේ එකම ජාතියේ වෙන්න ඕන. එකම කුලේ.. එකම රටේ... නැත්නම් මැජික් වගේ...." මම ආවේගාත්මකව කියාගෙන ගියෙමි. ඇගේ දෙනෙත් මහත් විය. "ප්‍රාර්ථනාට මන් තරහ ගන්න දෙයක් කිව්වෙ නෑ. ප්‍රාර්ථනාට හොඳනම් මට මොකෝ? කෝකටත් පරිස්සමෙන් ඉතින්.. අයියා මැරුණෙත් කොටියෙක්ගෙන් වෙඩි කාලා කිව්වෙ ඒ ගෑණි " එහෙත් එම කෝඩය ද හමා ගියේ අපේ කැදැල්ල මතිනි. "මට ඉස්කෝලෙ යන්නත් නෑ" මම ගතු කිව්වෙමි. "එහෙනම් ගෙදර ඉන්න" අවසානයේ ඔහු කිව්වේය. "මොකක්?" "මට ආයේ සිංහල කොල්ලෙක් වෙලා ඉපදෙන්න බෑනේ. එහෙම නැත්නම් ගෙදර යන්. මන් ගිහින් දාන්නම්." ඔහු ඉතා දයාර්ද්‍ර ලෙස කිව්වේය. "ඔයා කිව්ව හැමදාම ඉන්නවා කියලා..?" මම බිඳුණු හඬින් තෙපලුවෙමි. "ඔව් මන් කිව්ව ඒත් අපි අතර ප්‍රශ්න සෑහෙන්න.මගේ අම්මත් සිංහල. ඒත් එයා හැමදේම දරාගත්තා. හවස් වෙද්දි තීරණය කියන්න. ෂඊඋ ඔයා කියන ඕනම දෙයකට මම එකඟයි." අපි අතර මහ හිස්බවක් දැනෙමින් තියෙයි. විටින් විට සිනහව ගෙන ආවද ඒ සියල්ලට යටින් පැරණි තුවාලය උඩුදුවමින් පවතී. අල්ලා ගැනීමට ද අත් හැරීමට ද නොහැකි මහත් වූ වෙහෙසකර ව්‍යායාමකට මා හසුව ඇත. සමාජයක් ඉදිරියේ ඔහුව නිදොස් කිරීමට උත්සාහ කළ ද හෘද සාක්ෂිය ඉදිරියේ ඔහුව නිදහස් කිරීමට තරම් මානසිකත්වයක් මා සතුව නැත. මගේ ජීවිතය ම ඔහු නිසා උඩුකුරුව ඇත. මනුස්සයෙකුට සවන් දීමට නොපෙනෙනා කෙනෙකු සිටිය යුත්තේ මෙවිටය. සංස්කෘතික ගැටලුවටත් වඩා මා තුළ වූයේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයකි. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කළාට කම් නැත. එහෙත් සංස්කෘතීන් දෙකක දෙදෙනෙකුගේ ආදරය සමාජ ප්‍රශ්නයකි. පළමුව පවුල අහිමි වෙයි. අනතුරුව සමාජය ම අහිමි වෙයි. එහෙත් මෙය මා තෝරා ගත් මගය. ඉඳහිට වැටෙන කඳුළකට පෑරෙන මතකය මා දෙස බලා ඉන්නා බව මම දනිමි. එහෙත් නැවත හැරීමට දැන් කාලයක්නොමැත. ඉඳින් මම තීරණයක් ගතිමි. සූදානම් වුණෙමි. නළල මිරිකමින් තවමත් ඔහු සාලයේ ය. මා දැකීමෙන් ඔහු තුළ වූ තිගැස්ම නොදුටුවා සේ මම කතා කළෙමි. "යමු." "කොහෙද?" "කෝවිලට... මට දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න ඕනේ..." ඔහුගේ දෑස් දිදුලනු මට පෙනෙයි. ඔහු මාත් සමඟ මාලිගාවට ගියත් මා ඔහුත් සමඟ කෝවිලට යන පළමු වතාව ය. "ඇයි ඔහොම ඇන්ඳෙ?"කහපාට සල්වාරියක් හැඳ දිග තෝඩුත්, දෑත පිරෙන්න කොළපාට වළලුත් පැළඳ සිටි මා කෙරේ විමසුම් සහගතව බලා සිටි ඔහු ඇසුවේය. "එහෙම තමයි දෙමළ කෙල්ලෝ අඳින්නේ..." ඔහු මගේ සළුව සකස් කර මා තුරුළු කරගත්තේය. ඒ හදගැස්ම මට ඇසෙයි. ඒ මා වෙනුවෙනි.        දේවාල භූමිය දෙපස කෙසෙල් ගස්වලින් සරසා තිබුණි. පන්සලක මෙන් නිහඬ නැතත් ශාන්ත හැඟීමක් මා තුළ විය. ලක්ෂ්මි ප්‍රතිමාව දෙස බලා සිටින අපට ආශිර්වාද කළ පූසාරි සුදු පැහැ තිලකයක් තිබ්බේය. ඔහු මා පසෙකට කැඳවා රතුපැහැ තිලකයක් ද ඊට උඩින් තිබ්බේය. "මට සමාවෙන්න. හැමතිස්සෙම මෙහෙම වෙද්දි මට මන් ගැනම තරහයි. අපි ආදරේ කරන්න කලින් ගන්න ඕන තීරණ දැන් ගන්න බෑ. ඒත් පවුල ඉහිරුව අරන් ආයෙම ජීවිතේ විනාශ  කරගන්නත් බෑ..." "මට සමාවෙන්න..." "නෑ දෙන්නම් ගත්ත තීරණ... සිංදු,කතාවලට වඩා ජීවිතේ හරි ගැඹුරුයි, සංකීර්ණයි. ආදරේ අපිට දැනෙන්නේ හැඟීම්වලින් වුණාට පිට මිනිසුන් ඒක දකින්නේ බාහිර දේවල්වලින්. කිසිම දුකක් නෑ පවුලෙ අයවත් අපිට ඉන්නවනම්... ඒත් කෙල්ලෙක් විදියට හැරෙන්න පුළුවන් කාලෙක නොහැරුණු මට  අම්මෙක් විදියට හැරෙන්න  බෑ" මම බිම බලාගෙන කිව්වෙමි.        ඈත සිට අප දිහා බලා සිටි දරුවෙක් පූජා වට්ටියේ වූ ලඩ්ඩු දී ඈතට දිව ගියේ අප හිනස්සවමිනි. "මාත් ගණ දෙවියන්ට පහන තිබ්බා ගොඩක් ඉස්සර. ගණ දෙවියන්ගේ නහය අත ගෑවම මතක හිටිනවලු..." "ඇත්තට?" මාව නැඟිට්ටුවමින් ඔහු අසයි. "ඇත්තමයි" දඟකාර ලෙස කී මම  සීනු බැඳ තිබුණු විසල් ඝණ්ඨාරය නාද කළෙමි. කපුරු දුම්, යාතිකා මැද ලක්ෂ්මි දෙවඟනගේ සෞම්‍ය මුහුණ මට පෙනෙයි. මගේ උරහිසට ඔහුගේ පහස දැනෙයි. බුර බුරා නැගෙන ගිනි දැල් නිවමින් කිරි මුට්ටියක් බිම පෙරළී ඇත. ළපැටි කෙල්ලක් ව කාලයේ ගත යුතු තීරණ වෙනුවෙන්  තවත් ළපැටියෙකු ජීවිතය උගසට තැබිය නොහැක. සුසුම් සර මැදින් දෙසවන් පිනා යයි. දෙවියනි, ඔබේ ආශිර්වාදය  මගේ පවුල වෙනුවෙන් දෙන්න.එය මගේ එකම ප්‍රාර්ථනාවය. "ඕම් ලක්ෂ්මි විශ්වජිත් ... තන්නෝ ලක්ෂ්මි ප්‍රචෝධ යාත්‍රා...." 

NEWS

විභව කෙටිකතා | ප්‍රාර්ථනා

  • Date: 2022-04-21