Blog



ඒක ටිකක් වැහිබර අහසක්.සර්වසම්පූර්ණ අහසක් ද කියන්න මං දන්නෙ නැහැ.ඒත් ඒක සුන්දර අහසක් කියල නම් මට විශ්වාසයි.අඳුරු පාට වළාකුළු,ළා පාට වළාකුළු, නිල් පාට අහස පුරාම තැනින් තැන විසිරිලා තිබුණා.ඒත් අහස කියන්නෙ ඒ අඳුරු පාට වලාකුළුවලටවත්, ළා පාට වලාකුළුවලටවත් නෙවෙයි.ඒ සමස්තයටම යි.මොන මොන පාට වලාකුළු කොයි කොයි තැන්වල තිබ්බත් අපි අහසට ආදරේ කරා නේද.මට හිතෙනව මේ ලෝකෙ මිනිස්සුත්  හරියට ඒ වැහිබර අහස වගේ කියල .ඒත්...ඇයි එහෙනම් අපි මිනිස්සුන්ටයි මේ අහසටයි දෙවිදියකට සලකන්නෙ?  හෝව්! හෝව්! මං මගෙ මනෝපාරෙ  ඔයාලවත් හුඟක් දුර එක්කන් ආව ද මන්දා. කතාවක් කියද්දි වුණත්, මට වැඩියෙන්ම මතක් වෙන්නෙ ඒ කතාව ඇතුළෙ මං ගියපු මනෝ පාරවල්.ජනෙල් වීදුරුවකුයි,උණු කෝපි  කෝප්පෙකුයි,සිතුවිලි ඔහේ ගලාගෙන යන සිතකුයි එක්ක ගෙවෙන හවස් වරුවක මනෝපාරක අනන්තය දකින්න වැඩි දුරක් යන්න ඕනි නෑ. ඉස්සරෝම මං ගැන කියල ඉන්නම්කො. ඔෆිස් දොරේ සඳහන් කරලා තියන විදියට මන් වෘත්තීමය සවන්දෙන්නියක්,ටිකක් වෙනස් රැකියාවක්.එහෙම තමයි.කාලෙන් කාලට අලුත්වෙන සමාජ අවශ්‍යතා එක්ක අලුත් රැකියා බිහි වෙනවා.මේ වගේ මනෝ ගහන් ඉන්න තරම් විවේකී හවස්වරු මගෙ වෘත්තීය ජීවිතේ තිබුණනම් ඒ අතේ ඇඟිලි ගාණට. ඉතින් මොකක්දෝ හේතුවකට මාව විවේක ගන්වපු ඒ හවස්වරුවේ තමයි හුරුපුරුදු මුහුණක් නොහිතපු විදියට මගෙ ඔෆිස් දොරින් ඇතුළු වුණේ. මනෝවිද්‍යා පාඨමාලාවෙදි ශරීර භාෂාව ගැන ඉගෙනගෙන තිබුණ නිසා මං මගේ විස්මය මුහුණෙන් නොපෙන්වා ඉන්න පරිස්සම් වුණා. දොරින් ඇතුළුවුණේ මැටිල්ඩා මැතිණිය.මන් හැමදාම කාර්යාලයට ආවෙ ඇගේ නිවස පසුකරගෙන වුණත් කිසි දිනෙක ඇය සමඟ කතාබහ කරල නැහැ.නිවසක් කිව්වට ඒක මාළිගාවක්.එහි සඳලුතලයේ කැටයම් දාපු මේසෙ ළඟ වාඩිවෙලා ඈ තනිවම තේ පානය කරන හැටි මන් හැම උදෑසනකම වගේ දකිනවා. ඇය අවිවාහක කාන්තාවක්. මා දන්නා පරිදි ඇගේ නිවසේ සිටින්නේ ඈත් සේවිකාවනුත් පමණයි. කිසි දිනෙක ඇයට සමීප මිතුරියන් සිටි බවට මා දැනුම්වත් නැහැ.කොහොම නමුත් ඇය උදව්වක් ඉල්ලූ පමණින් කවරෙකුට වුනත් උපකාර කරන කරුණාවන්ත කාන්තාවක් බව නගර වැසියන් අතර ප්‍රසිද්ධයි. ඒ සන්ධ්‍යාවෙ ඈව දැක්කම මට මැවුණෙම එළිසබෙත් රැජිණගෙ මැදි වයසෙ ඡායාරූපයක්. "ඉඳගන්න" මං උණුසුම් සිනාවක් ඇයට පිරිනමන ගමන් අසුන දෙසට අත දිගු කළා.එහෙත් ඇය එය නොසලකාම අසුන පසුකරල මා අසලටම ඇවිත් සිටගත්තා."ඇගේ ආලින්දෙ පුටුවල හැටියට මේ පුටුව සැප මදිද මන්දා?"ඒත් මගෙ සිතුවිල්ල වැරදියි කියන ඡායාව ඇගේ සිහින්ව ගිය දෑස් වල දිලිසුණ තෙත් ගතියෙන් මට පෙණුනා.මගෙ මේස වීදුරුව උඩින් මට පෙනෙන සේ රුපියල් දෙදහසක් නමා තැබූ ඈ ටික වෙලාවක් මා දෙස බලාසිටියා.ඈ වචන අමුණන බව දැනුන නිසා මා ඇයට ඇගේ කාලය දුන්නා."ඔබට හෙට සවස වැඩ නැතිනම් මගේ ආලින්දෙට එන්න පුළුවන් ද ටිකකට.මං වැඩි වෙලාවක් ගන් නෑ.." "එක පැයකට විතරක් ඇවිත් යනවද?" ඈ සතුව ඇත්තේ පහත් වූ කටහඬක් බව මට අනුමාන කළ හැකියි ඒත් ඈ එවෙලෙ ඒ තරම් හඬ පහත් කර කතා කරයි කියල මා බලාපොරොත්තු වුණේ නැහැ.සමහරවිට ඈට හැඩුම් එන බව දන්නා නිසා එය වළක්වාගන්නට එසේ කතා කළ බව මට දැනුණා. මා සේවාදාකයින් රැසකට මගේ කාර්‍යාලීය ආලින්දයේ දි සේවය සපයන නමුත් කිසිම දිනක ඔවුන්ගේ නිවස්වලට ගොස් සේවය සපයා නැහැ.එහෙත් මෙවර ඇගේ යටහත් පහත් හැසිරීම බොහෝ සෙයින් මාව සංවේදී කළා.ඔබට යළි කාර්‍යාලට එන්න බැරි ද කියල පෙරළා අහන්න එවෙලෙ මං අසමත් වුණා."හොඳයි.මම එන්නම්" මං පුරුදු හිනාවෙන්ම ඇගේ දෑස් දෙස බලාගෙන කිව්වා. පසුවදා හවස මන් පොරොන්දු වුණ විදියට ඇගේ නිවසට ගියා.ඇය ඉස්තෝප්පුවේ මාව බලාපොරොත්තුවෙන් හිටියා.ඇගේ නිවසේ ආලින්දයට ඈ මාව කැදවාගෙන ගියා.ඇය වෙනුවෙන් වෙන් කරල තිබුණු පැයට අතිරේකම මන් තව හොරා දෙකක් එදා ඇය වෙනුවෙන් වැය කරා.කොහොමටත් මේ රැකියාව කාලයේ මිම්මට කරන්න පුළුවන් දෙයක් නොවන නිසා මන් ඒ සවස් වරුවම ඈ වෙනුවෙන් වෙන් කරගෙන තිබුණෙ. ඒ මුළු කාලය පුරාම හැම තප්පරේකම මං ඈට සවන් දුන්නා.මට අහන්න ඕනි දේ නෙවේ ඈට කියන්න ඕනි දේ කියන්න ඉඩ දුන්නා. සාමාන්‍යයෙන් මිනිස්සු විදියට අපි හැමෝගෙම හිත්වල විනිසුරුවරයෙක් ඉන්නවා. ඒත් මං එවෙලෙ තේරුම් ගත්තා විනිශ්චය කිරීම මගේ රාජකාරිය නොවන බව.ඒ විනිසුරුව විවේක ගන්වල මන් සම්පූර්ණයෙන් ඇයට සවන් දුන්නා.  ඇයට උපදෙස් ඕනි වෙලා තිබ්බෙ නැහැ.ඇයට ඕනි වෙලා තිබ්බෙ ඈට ඇහුම්කන් දෙන කෙනෙක්.ඇගේ හැඟීම්,ඇගේ කතාව,ඈ හිතේ තද කරගෙන වේදනා විදපු දේවල් මොහොතකට හරි කා එක්ක හරි බෙදාගෙන හිත නිදහස් කරගන්න විතරයි ඇයට ඕනි වෙලා තිබුණෙ. ඇයට වගේම මේ ලෝකෙ හුඟාක් මිනිස්සුන්ට ඕනි කරන්නෙත් ඒකයි. මිනිස්සුත් හරියට මුහුදු වගේ කියල මට වෙලාවකට හිතෙනව. මහා ජල කදක් දරාගෙන ජීවත් වෙන්නෙ. හැම මුහුදකටම ඕනි වෙරළක්. ඒ ජල කඳ ටික ටික පාකරලා යවන්න පුළුවන් වෙරළක්. වෙරළක් නැති මුහුදක් හරිම කැළඹීමෙන් ඉන්නෙ. ළෙන්ගතු සවන්දෙන්නෙක් නැති හිතකුත් අන්න ඒ වගේ. මහා ජල කඳක් ගලන්න තැනක් නැතුව ඔළුව ඇතුළෙ එකම කැළඹීමක්. ඉතින් මැටිල්ඩා මැතිණිය එදා මා එක්ක කිව්ව හැමදේම ඔබත් එක්ක බෙදාගන්න වෘත්තීමය සවන්දෙන්නියක් විදියට මට අවසර නැහැ.ඒත් ඇඟේ කතාවෙ අවසාන හරියෙදි ඈ හෙළි කරපු එක දෙයක් මං ඔබට කියන්නම්. ඈට ජීවත් වීම එපා වෙලා තිබුණා. ඇයට මරණය අවශ්‍ය වෙලා තිබුණෙ නෑ. එහෙත් ඇයට දැනිලා තිබුණෙ ජීවත් වීමේ මහා වෙහෙසක්. ඇයත් මං කිව්ව විදියෙ වෙරළක් නැති සයුරක්. ඒ ජල කඳේ කැලඹීම දරාගන්නම බැරි වුණ අවස්ථාවක ඇය ජීවිතය හැර යන්න තීරණය කරල තිබුණා. ජීවිතය නැති කරගන්න ක්‍රම අන්තර්ජාලයේ පවා සර්ච් කරල බලලා තිබුණා. අවසානයේදි ඇය තීරණය කරල තිබුණ වීඩියෝවක තිබුණ පරිදි ගෙල වැළලා ගෙන මිය යන්න.වාසනාවකට වගේ ඒ වෙලාවෙ ඇයට ඒ සඳහා අවශ්‍ය ලණු නිවසේ තිබී හමුවෙන් නැහැ. මිලදී ගැනීමට නගරයට යමින් සිටින අවස්ථාවක තමයි ඈ මගේ දොර ළඟ නතර වෙන්නෙ පුවරුව දැකලා. ඇත්තවශයෙන්ම ඇය මා ළඟ නතර වෙන්නෙ අත්හදා බැලීමකට.මා එවෙලෙ ඇයට සතුටුදායක ලෙස ප්‍රතිචාර නොදැක්වුවා නම් ඇය තවදුරටත් ජීවතුන් අතර නැහැ.  ඇය නම් ආයෙ මරණය ගැන සිතන එකක් නැහැ. ඒ පැය ගණනෙ ඇහුම්කන්දීමෙන් ඇය ලබපු සැනසීම මං ඇගේ ඇස් වලින් දැක්කා. සමහරවිට ඒක ඇයට ජීවිත කාලෙටම ඇති වෙන්න පුළුවන්. පිළිසඳරින් පස්සෙ තව ටිකකට නවතින්න කියල ඈ ම මට ගෙනැවිත් පිළිගැන්නුව උණු චොක්ලට් කේක් එක්ක ඉඟුරු තේ බන්දේසිය ඇය මගේ සේවය ගැන වැඩියමත් සතුටු වෙන බව කියා දුන්නා. මන් ඇගේ නිවසට ආවෙ වෘත්තීමය සවන්දෙන්නියක් විදියට වුනාට මං ඇගේ නිවසින් නික්මෙන්නෙ ඇයට බොහෝ කුළුපග යෙහෙළියක් විදියට. කෙනෙක්ගෙ ජීවිතේ වෙහෙස නැතිකරන්න පුළුවන් හොඳම ඔසුවක් වෙන ළෙන්ගතු වැළඳගැනීමක් ඈට පිරිනමල එන්න මං එවෙලෙ අමතක කරේ නෑ. එය එසේ සිදුවුණත් බැහැගෙන යන ඉර දිහාට රිය පදවනගමන් මගේ දෑත් සුක්කාන්නම මත තිබුණත් සිත එක තැනක නතර වෙලා තිබුණා. පොලිසියෙ මහත්තයෙක්ගෙන් දඩ කොලයක් කන්න ඕන් නැති නිසා මන් ආයෙ හිත එතනට ගෙන්න ගත්තත් මගෙ හිත නැවතිල තිබුණු තැන මන් ඔයාලට කියන්නම්. මගෙ හිත නැවතිල තිබුණෙ මේ ලොකෙ තියන ලක්ෂ ගානක් වෙරළක් නැති මුහුදු ළඟ. කාටහරි පුළුවන් නම් ඒ හිතකට මොහොතකට වෙරළක් වෙන්න ඒ පුංචි ළෙන්ගතුකමෙන් ඒ හිත් ලබන සැනසීම අප්‍රමාණයි. එක අතකට මේ ලෝකේ වෘත්තීමය සවන්දෙන්නට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නෙ වෘත්තීමය නොවන සවන්දෙන්නන් හිඟ වීගෙන යන නිසා. වෘත්තීමය නොවන සවන්දෙන්නෙක් වෙන්න අමුතුවෙන් සුදුසුකම් ඕන් නැහැ. වැටුපකට වඩා එහා ගිය ලොකු දෙයක් ඔබට ලැබෙයි පුලුවන් නම් එකම එක මොහොතකට වෙරළක් නැති සයුරකට වෙරළක් වෙන්න.ඔබට පුළුවන් වෙයි ලොකු සුනාමියක් නවත්තන්න. ඔබත් වෙරළක් නැති සයුරක් නම් මං ඔබට යෝජනා කරනවා දැනට තනිවම වෙරළක් මවාගන්න.කියන්න කෙනෙක් නෑ කියල දැනෙන හැමදේම ලියන්න.ගං ඉවුරෙ සුදු වැල්ලක ඉදන් ලියන්න.අහක දාන කොළ කෑල්ලක් ඇරගෙන ලියන්න.පුළුවන් නම් අදින්න. ඔය කිසි දේකට මහා කලාවක් ඕනි නැහැ.ඔබ සතුව තියෙන හැකියාව හොඳටම ඇති.සමහරවිට ඒ ක්‍රියාවලියෙ අතුරුඵලය ඔබ දක්ෂ කලාකරුවෙක් කරන්නත් පුළුවන්.ඔබට දැනෙන දේ, හිතෙන දේ ඒ විදියටම මොකක් හරි ක්‍රමේකින් මේ වායුගෝලයට මුදාහරින්න හිතේ හිර කරන් ඉන්නේ නැතුව, ඒකයි අවශ්‍යතාවය. අනිත් දේ ඔබට හැමදාම වෙරළක් නැති සයුරක් වෙලා ඉන්න වෙන් නෑ කියල මං විශ්වාසෙන් කියනවා. පොඩ්ඩක් බලන්න ඔබ අසලම වෙරළක් තියෙන්න පුළුවන්. ඒ අතරෙ ඔබත් වෙරළක්  වෙලා බලන්න වෙරළක් නැති සයුරකට. හුස්ම අවහිර කරන්න ක්‍රමයක් හොයපු ජීවිතයක්, හුස්ම වැටෙනවට ජීවත් වුන ජීවිතයක් ඔබ නිසා ආයෙ නැවුම් හුස්මක් ගනීව්.මේ ලෝකෙ හුඟක් හුස්ම රහසේම නවතින එක වළක්වන්න මොහොතකට ඔවුන්ට ඇහුම්කන්දෙන්න;සිතේ විනිසුරුවරුන්ව නිවාඩු යවල ළෙන්ගතුව ඇහුම්කන්දෙන්න.මතක තියාගන්න ඔබත් , මමත්, අපි හැමෝම හුස්ම පොවන්න පුළුවන් මිනිස්සු.

NEWS

විභව Unframed | Episode 59 | වෙරළක් නැති දා

  • Date: 2022-04-29