Blog



සුදු නෙළුම ‍කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝයදා පාළොස්වකේ මල් නෙළා විකුණූ පන්සලේ වැවට කළුවර යා වුනා සංසාර දුක බෝ වුනා...// නෙළූ මල් ටික ඉහිරුනා එහා ඉවුරට පාවුනා සුදු නෙළුම කෝ... සිහින් සිරිපොද වෑහුනා ඉවුර දෙකොපුල සේදුනා සුද නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පාවුනා "කලාව, කලාව උදෙසාය" යන සම්ප්‍රදායික මතය ඉවත් වී "කලාව, සමාජය උදෙසාය" යන මාක්ස්වාදී අදහස් ජනිත වීමත් සමඟ කවියා ද සමාජයේ අඳුරු ගුප්ත තැන් විනිවිද දැකීමට කවිය උපයෝගී කර ගත්තේ ය. කොතරම් අත්දැකීම් ලැබුණ ද ඒවා නවමු ආකාරයෙන් භාවාත්මක හැඟීම් උද්දීපනය කරමින් ගීතයකට එය කැටි කළ හැක්කේ සැබෑ කවියෙකුට පමණි. රත්න ශ්‍රී විජේසිංහ සූරීන් විසින් රචිත ‘සුදු නෙළුම කෝ‘ ගීතය සංගීතවත් කොට ගායනා කරනු ලබන්නේ අසහාය කෞශල්‍යයයකින් යුතු වූ පණ්ඩිත් ඩබ්ලියු.ඩී.අමරදේව සූරීන් විසිනි. රත්න ශ්‍රී විජේසිංහ සූරීන් මෙම ගීතය රචනා කරනු ලබන්නේ තමා රාජකාරී කරන සමයේ සිදු වූ එක්තරා ඛේදනීය අත්දැකීමක් පාදක කර ගනිමිනි. එනම් මෙම ගීතය සඳහා වස්තු විෂය වී ඇත්තේ, එතුමා වසර ගණනාවකට පෙර වැව් බැඳි රාජ්‍යයේ  එක්තරා දුෂ්කර පාසලක සේවය කරද්දී මුහුණ පෑ කණගාටුදායක සිදුවීමකි. තමා ඉගැන්වූ පන්තියේ දැරියක් පාසැල් නොපැමිණීම පිළිබඳ විපරම් කළ බැලූ ඔහුට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන ආරංචියකි. එනම් ගමේ වැවේ මල් නෙළීමට ගිය දැරිය එහි ගිලී මිය ගිය බව යි. මේ කම්පා සහගත සිදුවීම භාවාත්මක හැඟීම් ජනිත කරමින් කවියට නගා ඇති ආකාරය අතිශය අපූර්ව ය. සුදු නෙළුම ‍කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝයදා පාළොස්වකේ මල් නෙලා විකුණූ පන්සලේ පෝය දවස ළඟ නිසා දැරිය මල් වෙනදාට වඩා නෙළාගත යුතු යැයි කල්පනා කළා ය. ඇය වෙනදට කලින් වේලාසනින්ම පාසැල් ඇඳුමවත් මාරු නොකර වැවට ගියා ය. නමුත් අද සුදු නෙළුම නැත. මෙහිදී කවියා ‘සුදු නෙළුම‘ ලෙස ව්‍යංගාර්ථවත් කර ඇත්තේ දැරියයි. නෙළුම් මල යනු පවිත්‍රත්වයේ සංකේතයකි. එනම් මෙම දැරියගේ සිතුවිලි ද අව්‍යාජ ය. පවිත්‍ර ය. දරිද්‍රතාවයෙන් පීඩා විඳින තම දෙමව්පියන්ට තවත් පීඩා දෙන දැරියක් වීමට ඇයට වුවමනා නොවෙයි. ඇය මල් කඩා විකුණා තමන්ගේ පාසල් උපකරණ සේම තම පවුලට ද අවශ්‍ය ද්‍රව්‍ය අරන් දීමට ක්‍රියා කරන්නේ ඒ නිසාය. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටින අවුරුදු එකොළහක් පමණ වන දැරිය පවුලේ බර කරට ගැනීම කෙතරම් ඛේදනීය ද ? සමානාත්මතාවය ගැන වේදිකාවල කතා කරන ධනවාදීන් නිසාම අසමානාත්මතාවය ඇති වූ බව නොරහසකි.     වැවට කළුවර යා වුනා සංසාර දුක බෝ වුනා     රාත්‍රිය උදා විය. දැරිය තවමත් ගෙදර නාවේ මන්දැයි බලන්නට පියා අසල්වාසීන් සමඟ වැවට ගියේය. නමුත් දැරිය එහි නැත. සමස්ථයක් ලෙස රටක ප්‍රශ්න තිබුණ ද ,එයින් ද පීඩා විඳින්නේ දුප්පතා ය. ධනවාදීන් ප්‍රීතිමත්ව කාලය ගත කරයි. එය සංසාර චක්‍රයේ හේතුඵලවාදී ව සිදු වූවක් බව කවියා දක්වයි. සංසාරයේ කරන ලද පව් දුප්පත් වී හෝ ගෙවා දැමීමට සිදු වන බව කවියා විශද කර ඇත්තේ සහෘදයා තුළ කම්පාව ඇති කරමිනි.     නෙළූ මල් ටික ඉහිරුනා එහා ඉවුරට පා වුනා     අප කා හට වූවත් රැගෙන ආ ආයුෂ ප්‍රමාණයක් ඇත. දැරියගේ ආයුෂ අවසන් විය. ලැබිය යුතු අවම වරප්‍රසාද පවා නොලබන දරු දැරියන් සිටින බව අසන්නට ලැබීම පවා ඛේදයකි. බොහෝ බලාපොරොත්තු ඇයට නොතිබෙන්නට ඇත. පාසලට අවශ්‍ය පොතක්, පැන්සලක් ලබා ගැනීම , කෑමට රස ආහාරයක් ගැනීම වැනි අහිංසක ආසාවල් ඇයට තිබෙන්නට ඇත. නමුත් මාරයා ඇය බිලිගෙන ඇත. නෙළුෑ මල් ටික විසිර ගියේ ය. ඇගේ බලාපොරොත්තු ද එසේ විය.  ඇගේ දේහය එහා ඉවුරට පා විය.      සිහින් සිරිපොද වෑහුනා ඉවුර දෙකොපුල සේදුනා සුද නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පා වුනා පාන්දර යාමය උදා විය. සෑම දරුවෙකුගේම වාගේ ඇයගේ ද හම ළපටි ය. ළපටි දෙකොපුල වැව් ජලයෙන් තෙමී අවසන් ය. සුදු නෙළුම් මල එනම් දැරිය “දෑස පිය වී“ මෙහා ඉවුරට පැමිණ ඇත. නමුදු ගිය දැරිය නොව ඇගේ නිසල දේහය පමණි. එක් අතක නෙලා ගත් මලක් ද සමඟ ඇගේ දේහය මෙහා ඉවුරට පැමිණියේ ඇය මිය ගිය ද තවත් සහසක් වූ දරුවන් සතුව නෙළුම් මල් මෙන් පවිත්‍ර බලාපොරොත්තු, හීන, ආසාවල් ඇති බව හැඟවීමට මෙනි. සමාජ, ආර්ථික විෂමතා සමඟ දරුවන් සියල්ල එක සමාන යැයි පැවසුව ද, සමාන අයිතිවාසිකම් සියල්ලන්ට ඇති බව පැවසුව ද, එය වචනාර්ථ පමණක්ම වන බව මෙවැනි නිදසුන්වලින් මොනවට පැහැදිලි වේ.  සමස්තයක් ලෙස ගත් කළ සහෘදයා කම්පනයට පත් කිරීමට තරම් භාවාත්මක හැඟුම් ජනිත කරවීමට මෙන්ම සමාජයේ එක් පැතිකඩක් සූක්ෂමව විවරණය කිරීමට ද සමත් වූ අගනා නිර්මාණයක් ලෙස මෙම ගීතය අගයනු වටී.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 79 වන දිගහැරුම

  • Date: 2022-04-30