Blog



මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ...//   හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ   අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි තිස් පැය අතුරේ ගුවනේ සැරිසරන්නේ නැති බැරි කමයි උඩු හුළඟේ ලණු දෙපොටින් වැනෙන්නේ සවුදිය පුරන මහපොළොවට අපි ඩහදිය වඩන්නේ   ගායනය : සුනිල් එදිරිසිංහ  ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී සංගීතය : රෝහණ වීරසිංහ   නිර්මාණකරුවෙක් සෑම විටම සාමාන්‍ය මිනිස් සිතුවිලි පරයා යමින් වෙනස්ම වූ ආකාරයකට ලෝකය දෙස බලයි. එකී දෘෂ්ටියේ අග්‍රඵලය ලෙස ලෝක සාහිත්‍යය පුරාවටම ඉතා විශිෂ්ට නිර්මාණ බිහි වී ඇති බව අපි දනිමු. මෙවර මවිසින්විසින් තෝරාගන්නා ලද ගීතය ද එකී නිර්මාණශීලී දෘෂ්ටියට ගෝචර වූ සංසිද්ධියක් ඇසුරෙන් හැඩවුණු බොහෝ සුන්දර වූත්, බොහෝ විශිෂ්ට වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැක. කුමාරදාස සපුතන්ත්‍රී නම් අතිදක්ෂ ගේය පද රචකයාගේ ගී පද වැලකට, රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුවෙන්, සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬ දායකත්වයෙන් මෙම ගීයට හඬ මෙන්ම පණ පොවනු ලබයි.   ස්වභාවධර්මයේ අති සුන්දර නිර්මාණ ලෙස සමනලයා, මී මැස්සා, බඹරා ආදී කෘමීන් මිනිස් අපගේ ආදරය බොහෝ සේ දිනාගෙන සිටිතිටිති. අප එදිනෙදා ජීවිතයේදී ඉතා සුලභ ලෙස දකින සංසිද්ධියක් ලෙස සමනලයින් මී මැස්සන් මල් වටා රඟ දීම, පැන් උරා බීම පෙන්වාදිය හැක. අප සාමාන්‍ය මනසට එය අලංකාර සිදුවීමක් ලෙස පෙනුණද නිර්මාණකරුවෙකුගේ දැක්මට එය එතරම් සරල සිදුවීමක් නොවේය යන්න පෙන්වාදීමට කදිම නිදසුනක් ලෙස මෙම ගීය විවාදයකින් තොරවම උපකාර කරගත හැක. ඒ අනුව එකී සංසිද්ධිය ඉතා සියුම් ලෙස පරිකල්පනය කරමින් නිර්මාණකරුවා එය මල් මදින්නාගේ ජීවිතය හා බද්ධ කරමින් එකී රැකියාව නිසාවෙන් ඔවුන්ගේ ජීවිතයේ පවතින අසීරුතා ඉදිරිපත් කිරීමට දක්වා ඇත්තේ අපූරු දක්ෂතාවයකි.   ඉහතින් පැවසූ පරිදිම සත්ත්ව ලෝකය හා ඒකාත්මික ව බැලූ කල මෙය ඉතා අලංකාර සංසිද්ධියක් වුව ද මල් මදින්නාගේ ජීවිතය හා බද්ධකොට බැලූ විට එය කිසි ලෙසකින්වත් බලා සතුටු විය හැකි ආකාරයේ සුන්දර අත්දැකීමක් නම් නොවේ. මන්ද ඔවුන් තම දූ දරුවන් වෙනුවෙන් තම ආදරණීයයන් වෙනුවෙන් තම ජීවිතය පවා අනතුරේ හෙලා මෙම රැකියාව සිදු කරන බැවිනි.   කිසිම මනුස්සයෙකු දැන දැන තම ජීවිතය අනතුරේ දමාගන්නේ නැත. එහෙත් "තාත්තා" යන භූමිකාව තුළ දූ දරුවන් වෙනුවෙන් ඔහුට කළ නොහැක්කක් නොමැත. ඉදින් මල් මදින්නන් ද තම ජීවිතය පිළිබඳ පවතින අනතුර පවා දෙවැනිකොට තම දරුවන්ගේ කුසගින්න ම හේතු කරගෙන ඔවුන්ගේ සිත සේ ම කුස ද සනහාලන්නට අතුරේ යාම සිදු කරති.    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ   කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ    මෙම කාර්යය කෙතරම් අපහසුතා මැද සිදු කරන්නක් ද යන්න කියාපාමින් රසික හදවත් තුළ සංවේදී බවක් ඇති කිරීමට පහත ගීත ඛණ්ඩය උපයෝගී වී තිබේ. මල් මදින්නන් කිතුලට නැගීම ගසක සිට තවත් ගසකට මාරු වීම මෙන්ම ඉතා පරිස්සමින් පැණි ලබාගැනීම යන කාර්යයන් සිදු කිරීමේදී කෙතරම් දුකක් අපහසුවක් විඳිනවා ද යන්න එමගින් මනාව ගම්‍ය වේ.    මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ    ඒ අනුව මල් තැලීමටත් මත්තෙන් ඔවුන්ගේ ශරීර ශක්තිය බොහෝ සෙයින් වැය වන්නට පෙරින් සඳහන් කළ අවස්ථා බලපාන බව නිසැක ය.    අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ    මෙය මෙම ගීතයේ ඉතා සංවේදී මෙන්ම වඩාත් රසවත්ම අවස්ථාව ලෙස අර්ථ දැක්විය හැක. මන්ද මිනිසා සහ පරිසරය අතර ඇති සබැඳියාව මෙමගින් මනාව පිළිබිඹු වන බැවිනි. කෙසේදයත්, ගැමි ජනයා පරිසරය සමඟ බැඳුණු රැකියාවන් වල නියැලීමේදී පරිසරය සමඟ බද්ධ වූ ඒකාත්මික වූ සබැඳියාවක් පවති. එබැවින්ම ස්වභාවධර්මය මිනිසා කෙරෙහිත්, මිනිසා ස්වභාවධර්මය කෙරෙහිත් පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් තදින් බැඳුණු සබඳතාවයකි. එකී සබැඳියාවම හේතු කොටගෙන මෙම මල් මදින්නන්ගේ දුකට තුරු නෙත් මත කඳුළු ඉපදීමත් එම කදුළු පැණි බවට පත්ව ඔවුන්ගේ අස්වැන්න ලෙස ලබාදීමත් සිදු වන බව මෙහිදී කියවෙවෙයි. මෙය මෙම ගීතය තුළ ඇති විශිෂ්ටතම පරිකල්පනීය අවස්ථාව ලෙස පෙන්වා දිය හැකි අතරම නිර්මාණකරුවාගේ දස්කම් කැපී පෙනෙන සිදුවීමක් ලෙසට ද කිව හැකි ය.    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ   පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ    අහසින් වඩින පින හිමිවන්නේ රහතන් වහන්සේලාට ය යන්න බෞද්ධයන් වන අප හොඳින් දන්නා කරුණකි. එසේම එය ඉතා ආශ්චර්යයමත් සිදුවීමකි. මන්ද එවැන්නක් අප කෙදිනකවත් සියැසින් දැක නොමැති බැවිනි. එමෙන්ම බලාසිටින්නන්ට මල් මදින්නාගේ අතුරේ ගමන ද එවැනිම වූ අදහාගත නොහැකි සිද්ධියක් විය හැක. එහෙත් එය ඔවුන්ට නම් මෙම ගීයේ එන පරිදි පිනක් නොව පෙර කරන ලද කරුමයකි. එය නිර්මාණකරුවා විසින් ඉතා සියුම් ලෙස ව්‍යංගයෙන් ඉදිරිපත් කොට තිබෙන්නේ දක්ෂ ලෙසිනි. තව ද අතුරේ පියමනිමින් ඔහු මෙම අසීරු කාර්යය සිදු කරන්නේ ප්‍රාතිහාර්ය පෑම සඳහා ය. එනම් ජීවත් වීමටත් තම ආදරණීයයන් ජීවත් කරවීමටත් ය. එසේම මෙහි සක්මන යන්න ඉතා ප්‍රබල සංකේතයක් ලෙස හඳුනාගත හැක. අප දන්නා පරිදි සක්මන් කිරීමේදී එකම අරමුණක සිත පිහිටා ගනිමින් ඉතා සංයමයෙන් යුතුව කරනු ලබන භාවනාවකි. මල් මදින්නාගේ සක්මන මින් වෙනස් වන්නේ අරමුණ හේතුවෙන්ම පමණකි. මන්ද භාවනාවෙහි අවසන් ඵලය නිවන් දැකීම වුවත් මල් මදින්නාගේ සක්මන ජීවත් වීම උදෙසාම පමණක් වන නිසාවෙනි.   මිනිසාගේ නැතිබැරිකම ඔහු කොතරම් පහළ අඩියකට ඇද දමනවා ද යත් ජීවිතය පිළිබඳ ආසාව පවා අතහරිමින් ජීවත් වීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවේ. එහිදී ඔහුට පිටත ලෝකයෙන් පමණක්ම නොව ඇතැම්විට පරිසරය තුළින් ම සරදමට ලක්වන අවස්ථා ද නැතුවාම නොවේ. අතුරේ යන විට ගස් දෙකක් හරහා දමා ඇති ලණු දෙපොටින් අල්ලාගෙන ඉතා හෙමින් ගමන් කරයි. සුළං සමඟ පොර බදිමින් එහෙ මෙහෙ වැනෙන ලණු දෙපොට අල්ලාගෙන ඔවුන් ඒ අසීරු රාජකාරියෙහි නිරත වන්නේ ඔවුන්ගේ දිළිඳු බව නිසා ම ය. මොවුන් ලණු දෙපොට කියා දෑතින්ම අල්ලාගෙන සිටින්නේ ද ඔවුන්ගේම නැතිබැරිකම යි.    නැති බැරි කමයි උඩු හුළඟේ ලණු දෙපොටින් වැනෙන්නේ   සවුදිය පුරන මහපොළොවට අපි ඩහදිය වඩන්නේ    මෙහි අවසන් ගී පදයෙන් කියැවෙන පරිදි ඔවුන්ගේ මහන්සියෙන් මහපොළොව නැති නම් ඇති-හැකි මිනිසුන් සවුදිය පුරතති. ඔවුන් වෙනුවෙන් මේ අහිංසක මිනිස්සුස්සු සැමදා  තම කාලය ශ්‍රමය දුක් කඳුළු දියකරමින් සිටිති.   මෑත කාලය තුළ එතරම් සවන් නොවැකෙන ගීතයක් වුව ද කාගේවත් වැඩි අවධානයකට ලක් නොවූ මල් මදින්නන් වස්තු විෂය කරගෙන සමාජයේ පවතින තිත්ත ඇත්ත ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරනු ලැබූ අපූරු නිර්මාණයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. මන්ද බොහෝවිට දුක් විඳිමින් රැකියා කරන ජනතාවගේ ශ්‍රමය, කාලය, මහන්සිය, ඩහදිය ආදී මේ සියල්ලෙහිම වටිනාකම වෙනත් පිරිසක් විසින් උදුරාගනිමින් සිටින බැවිනි. මෙම ගීතයත් සමඟම මතකයට නැගෙන තවත් ගී පද කොටසක් සඳහන් කිරීමට කැමැත්තෙමි.    අනුන්ගේ සැප බලෙන් උදුරන් අපේ කරගත්තොත් මිසක්   අදත් නෑ හෙටත් නෑ අපිට සැපතක් ලැබෙන්නෑ    සැබෑ ය. අපේ මහන්සියෙන් අප උපයාගන්නා සැප තවත් කොටසක් විසින් භුක්ති විඳිමින් සිටී. එසේ නම් අප කළ යුත්තේ උන් උදුරාගත් අපේ සැප යළි උන්ගෙන් උදුරා ගැනීමයි. මන්ද ඒ අප විසින් නෙලාගත් අපට අයිති විය යුතු අපේ සැපත වන බැවිනි. එසේ නොකරනතාක් දුක් විඳින අහිංසක අසරණ ජනතාවට කිසිදිනෙක සැපතක් නම් විඳින්නට නොලැබෙනු ඇත.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 80 වන දිගහැරුම

  • Date: 2022-05-02