Blog



හිත රිදෙන හිත බිදෙන මගෙ නපුරු කතා මැද සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ ලොවම මන්මත් කරන සුවඳ මල් දුගඳ මැද පපුව පුරා දැනෙන වැහි සුවඳ තමයි ඔබ වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවි තාල නොදන්න මගෙම වැහි කවිය ඔබ හිත රිදෙන හිත බිඳෙන මගේ නපුරු කතා මැද සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ අභිශේකා විමලවීර මහත්මියගේ  අලුතින් සිංදුව "වැහි කවිය".වෙනස්ම වචනයෙන් හැඩ ගැන්වුණු මේ ගීතය ගැන ලියන්න හිතුවා. තාලයට ඇද හැලෙන ප්‍රේමයේ උච්චතම ස්වරයෙන් වැයෙන, කවුරුත් නොදත් හැංගිච්ච හිතකින් ගෑනු හිතකට දෙන ආදරය කොහොමද කියලා ඇයගේ වචන එක්ක අපූරුවට ගැලපුනා.. ප්‍රේමයේ වැහි කෝඩයන් මැද ගුගුරනා හැඟුම් දරාගන්න පුළුවන් වීමම තමා වැහි කවියක තිබුනු  විශේෂත්වය.ප්‍රේමනීය හිත් වලට , මගේ හිතට දැනුනු වැහි කවිය මෙසේ සමීප කරන්නම්.... විවාහය කියන්නෙ ම දෙදෙනෙක් අතර පවතින ආදරය වේවා ,විශ්වාසය වේවා , තේරුම ගැනීම වේවා මේ සියලුම හැඟීම්වල එකතුවෙන් නිර්මාණය වන අපූරු බැඳීමක ප්‍රතිඵලයක් .දෙදෙනාගේම අදහස් විටෙක පරස්පර වෙන්න ඇති .විවිධ ගැටුම් ඇති වෙන්න ඇති .නමුදු අනෙකා තේරුම් ගත් හිතක් ළඟ විටෙක ඒ හිත රිදෙන්න ඇති . ඒත් මහ මේඝයක් සේ ඇයව දරාගෙන ඉන්න ඇති .විටෙක හිත් බිඳෙන්න ඇති .නමුදු ඒ වැහි කෝඩයන් මැද නොසැලී සියලුම බැඳීම් රැකගෙනම ඉන්න ඇති .කොහොමද ඒ තරම් මගේ නපුරු කතා ඔයා මේ තරමට දරා ගත්තෙ? දිය බිඳක් නොමැති කතරක මගේ වචන එක්ක ඔබ ඉවසීම කියන පිනිබිඳු වස්සන්න ඇති .ඒ ආදරය එක්ක සදහටම මගේ මේ හිත  තේරුම් අරන් නුඹ මගේ ජීවිතය රකින මගේ ජීවිතයට පාදමක් සේ මගෙම සඳකඩපහණ වෙන්න ඇති . මම මේ ගීතයේ දැකපු මගේ හදවතට තදින්ම දැනුනු තැන තමයි "මගෙ සඳකඩපහණ" . පූජනීය ආදරය , පඩිපෙළක ඇරඹුමෙහි හමුවන සඳකඩපහණ වගේ. පවුල් ජීවිතය  ගොඩනැඟෙන්නේ මේ ආදරය නමැති  සඳකඩපහණ මතින්. මොන තරම් අර්ථකථනයක් දෙනවද මේ වචනයෙන්?  ඔව් ඇත්තමයි , පවුල කියන්නෙ ම පූජනීයම තැනක්.කියන හැමදේම මගේ හිත නොපාරවා ඔහුගේ හදවතේ නොකියනා හුඟක් දේවල් මට දැනුනා.වෙනස්වන හැමදේම අතර නොවෙනස්වන නුඹට මම සඳකඩපහණ වෙන්න කියනවා මිසක් මීටත් වඩා හොඳ උපමාවක් කොහිද ඔබට.. හිත රිදෙන.. හිත බිඳෙන.. මගෙ නපුරු කතා මැද.. සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ ... ජීවිතයේ සතුට මැද හැමෝම ළඟ හිඳින අවස්ථාවලදි වගේ ම ජීවිතයේ දුක බෙදාගන්න කිසිම කෙනෙක් නැති වුන අවස්ථාවලදීත් දෙමව්පියන් ඇරුනම මගේ දුක ඔහුගේ දුක කරගත් එකම සුවඳ තමා නුඹ .ආදරය කියන වචනයේ පරිසමාප්තියෙන්ම මට ආදරය ලබා දුන්නේ නුඹ ..ඒ අතර විරහව කියන හැඟීමත් නුඹ මට හෙමින් ලං කළේ මගේ ජීවිතය තුළ දුක සතුට දෙකම හුරු කරන්න වෙන්න ඇති .එය බොහොම අපූරුවට ගීතයේ  කියවෙන්නේ "සුවඳ මල් දුඟද මැද" යනුවෙන්. සුවඳ වැඩි උනාම කියනවානෙ අපට දුඟඳ කියන දෙය දැනෙන්නෙ.ඉතින් තේරුම් ගත් ආදරය තුළ හැමදාමත් උපරිමයෙන් දෙන තැන්වලදී දුක කියන දෙයත් අපි දරාගන්න හුරු වෙන්න ඕන .මට තේරුම් ගිය විදියට මේ වැහි සුවඳ කිවුවෙ ඇත්තටම දැනුනු සුවඳක් ද ?...මම නම් හිතන්නෙ නෑ .මේ වැහි සුවඳ දැනෙන්නේ ඒ තරම් තමාගේ හදවතට දැනුනු කෙනෙක්ට පමණයි .සුවඳ ,දුඟඳ මැද අපූරුවට දැනෙන වැසි බිඳුවක සුවඳ මට මේ ලෝකේ මගේ හිතට දැනුනු නිවීමක් වගේ.. ලොවම මන්මත් කරන සුවඳ මල් දුඟඳ මැඳ පපුව පුරා දැනෙන වැහි සුවඳ තමයි නුඹ ... ගෑනු හිත් හරිම සියුමැලි යි, ඇය කියනවා. ඇත්තටම  ගැහැනු අපි, අහසේ ලස්සන නිල්පාට දකිනකොට, වලාකුළු අතර සැරිසරන කොට, පිරිමි දෑසක් දුටුවේ ඊට එහා තිබුන ග්‍රහලෝක .පරිණත පිරිමි හදවතක් පවුල් ජීවිතය තුළ ක්‍රියාකරන හරි විදිය, අභී... ,ඔබ අපූරුවට වෙනස් මානයකින් අපට පෙන්නන්න උත්සහ කළා.ෆැන්ටසි හීන පෙන්නන සමහර මිනිසුන් අතර ,යථාර්ථය තේරුම් ගත් නුඹ , මට ජීවිතයේ හරි මග පෙන්නුවා.තාලයක් නොමැතිව ඔහේ ඇද හැලෙන මේ වැහි බිඳු තරම් නුඹ මගේ ජීවිතය නිව්වා. වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවිතාල නොදන්න  මගෙම වැහි කවිය නුඹ  වෙන් වෙන්න හේතු දාහක් හොයන හිත් අතරේ මගේ නපුරුකම් දරාගෙන, රැඳෙන්න හේතු හොයන නුඹ තමා මගේ ජීවිතයම.සොඳුරු පිය සටහන් අතර සැරිසරන මොහොතක නුඹ තමා මගේ නිවීම. දාහය නිවන හැඟුමන් අතරේ වහින වැහි කවිය නුඹ .....

NEWS

හඬ මත පැටළුණු අකුරු | 81 වන දිගහැරුම

  • Date: 2022-05-09