Blog



බැඳීම් අතර එතුණු මිනිස්සු වෙලාව හවස 4:30 ට විතර ඇති. සීතලත් හීනි රස්නෙකුත් එක්ක එකට මුසු වුණ සුළං රැල්ලක් තාලෙට හමා ගෙන ගියේ තවත් එක් දවසක් හමාර වෙන්නට යන බව කියාපාන්නට පොඩි උත්සාහයක් දැරුවා වගේ. නටුවෙන් ගිලිහෙන්න ඔන්න මෙන්න තියලා මග බලාගෙන ඉඳපු ළා කහ පාට කොළ එක දෙකක්, වතුසුද්ද පැළයට එහාපැත්තේ තිබුණු කොහොඹ ගහෙන් කැරකි කැරකි බිමට ඇදගෙන වැටුණේ උජාරුවට ගලාගෙන ගිය හුළං රැල්ලේ අහම්බෙන් හැප්පුණා වගේ. ඒත් එක්කම වෙච්ච සන්තෑසිය, ජනෙල් කූරුවලින් එල්ලිලා බලන් ඉඳපු මගේ හිතට කොහෙදෝ ඉඳල සිතුවිලි කන්දරාවක් එකපාරටම කඩං පාත් වුණේ.   කවදාක හරි කාලෙකට ඉස්සර පුංචි බීජයක් විදිහට මහපොළොවට වැටිලා, එදා ඉඳන් මහ පොළොවේ සාරයත්, ප්‍රාතිහාර්යක් වගේ ඉරෙන් ලැබෙන කිරණත් උදව්වෙන් ටිකටික ලොකු වෙලා, කාලයත් එක්ක කඳබඩ උස්මහත් වෙලා, අතු බෙදිලා, කොළ හැදිලා, මල් හැදිලා, පුංචි පුංචි ගෙඩිත් දරාගෙන දැන් හිනාවෙවී ඉන්න ගහ දිහා බලන් ඉන්න කොටයි හිත ඈතින් ඈතට දුවගෙන ගියේ. පුංචි බීජයක්, මහා රූස්ස ගහක් කළේ කාලය විසින්. පුංචි බීජයක් වෙලා ඉන්න කාලේ කොච්චර පුංචි ඉඩක්ද එයට මහ පොළොවෙන් වෙන්වෙලා තිබුණේ, අද මේ ලොකූ ගහක් වෙලා අතු පතර විහිදුවගෙන  හරි උජාරුවෙන් හිටියට. ඒ කාලේ ඉඳන් බීජයට වැඩෙන්න ඕන වුණ වතුර කෑම ටික වෙලාවට ලැබුණු නිසයි බීජය පැළ වෙලා, පැළය ගහක් වෙලා අද මෙහෙම හිනා වෙවී ඉන්නෙ. ඒත් එක්කම කල්පනා වුණේ මට ඒ විදිහට හරි වෙලාවට ඒ පුංචි බීජයට, පැළයට වුවමනා දේවල් නොලැබුණානම්, අද මේ වගේ හිනා වෙවී හෙවන බෙදන හරි ලස්සන ගහක් මේ පරිසරයේ තියෙයිද කියලයි. මොන තර්කයක්ද... එහෙම නොවුණා නම්, මෙහෙම ගහක් අද මෙතන නැහැ.  ඉතින්,ඔබත් මමත් අපිත්.. මේ වගේමයි නේද? පුංචි කාලෙදි අපිට වුවමනා කරන භෞතික දේවල් වගේ ම ආදරය, රැකවරණය, සෙනෙහස කියන මේ හැමදේම හරි වෙලාවෙදි නොඅඩුව ලැබුණ නිසයි, අද අපිත් මේ විදිහට නිරහංකාරව සියුම් ආඩම්බරයකින් සිනහ වෙන්නේ. දහසක් දුක් විඳ දරාගෙන අපිට ජීවිතයේ දිලා, මේ වෙනකන් අපි හෙලන හැම හුස්ම පොදකටම ජීවය දීලා, හෙලන හෙලන ඇහි පිල්ලම් වාරයක් පාසා අපිව රැකබලා ගත්ත අපේ දෙමව්පියන්, සමාජය පිළිගත් යැ'යි සම්මත තැනක සිටගෙන අව්‍යාජව සිනහවෙන්න උගන්වපු ගුරු දෙමාපියන් වගේම ලෙයින් නෑකම් කී නොකී සහෝදර සහෝදරියන්, අතර මග මුණ ගැහුණු සමහර අමතක කරන්න බැරි ආදරණීය දෙනෙත්, ඇස් කෙවෙනි කැකෑරෙන වෙලාවක උරහිසක් වුණ, මුවඟ ගොළුවුණ වෙලාවක සිනහවකට හේතු හෙව්ව සොඳුරු ආත්මයන් වගේ ම, දවසකට හරි ජීවිතේ පාට කරන්න හේතුවක් වුණ සුන්දර මිනිස්සු නිසයි, අපිත් අද හුස්ම බෙදන රූස්ස ගස් වගේ හරි ලස්සනට හිනා වෙලා ඉන්නේ.    පොඩ්ඩකට හිතන්න, මේ මුළු ලෝකෙම එකම කාන්තාරයක් වෙලා කාත් කවුරුත්ම නැති වුණොත්, තමන් විතරක් ම තනි වෙන දවසක් නිකමට හරි ආවොත්, අපට පුළුවන් ද තනියම මේ මහපොළොවෙ හිටගෙන නිදහසේ එක හුස්ම රැල්ලක් හෙලන්න. එය විය හැකි'යි කිව්වොත් ඉතා ම අසාධාරණයි. අපි හැමෝම දන්නවා, ඔබ මම අපි කවුරුත් ජීවත් වෙන්නේ සාමූහික සමාජයක බැඳීම් අතර එතුණු මිනිසුන් හැටියට. අපි ජීවිතේ සෑම නිමේෂයක්ම ගත කරන්නේ කුමන හෝ බැඳීමක් වෙනුවෙන් වෙන් වූ සියුම් යුතුකමක කොටස්කරුවන් හැටියට. ඒ නිසයි අපි බැඳීම්වලට ගරු කළ යුතු වෙන්නේ, අවංක විය යුතු වෙන්නේ, ඒ උදෙසා අව්‍යාජ කැපකිරීම් කළ යුතු වන්නේ. කටුක මංසන්ධි පසුකරමින් සුන්දර නිම්න මිටියාවත් සොයාගෙන යන අපේ ජීවිත කතාවල හරිම රහ දැනෙන්නෙ එතකොටයි.  තත්පර කටුවට යාවෙලා මොකක්දෝ කලබලයකින්, හිමින් සීරුවෙ ගලාගෙන යන ජීවිතයේ, අපට හුස්ම ගන්න තියෙන්නේ දන්නා දින ගණනක්. සිහිවෙන විටකදී සියුම්ව හදවත කොනක් හීනියට කොනිති ගැසුවත්, එයයි නම් ජීවිතය, අපි එය දරා ගත යුතුයි. ගෙවෙන හැම දවසක්ම සිනහවෙන් සුන්දරත්වයෙන් ගත කිරීමට හේතු නිර්මාණය කරගත යුතුයි. කටුක සීතල සිසිරයත්, රළු උණුසුම් ගිම්හානයත්, සොඳුරු සෞම්‍ය වස්සානයක් බවටම පත් කරගත යුතු යි. කෙටියෙන්ම පැවසුවොත්, ජීවිතයේ ගෙවෙන හැම දවසක්ම  'ජීවත් විය යුතුයි'. මුල මතකයෙන් ගිලිහී නොයන්නට ඉඩදී, සෑම දිනකම බැඳීම්වලට හයියක් විය යුතුයි. අතු පතර අතරතුර හාත්පස ගවසාගත් තුරුපත් අතර පිපෙන්නට, පිපී සුවඳවත් වෙන්නට, දෑස් දල්වා බලාගෙන ඉන්න හීනි සුදු පාට මල් කිනිති කොඳුරන්නේ ඒ රහස කියලයි අන්තිමට මට හිතුණේ...  ඕ...ආපහු සීතලම සීතල හුළං රැල්ලක්. ඒ පාර නම් වැස්සක පෙරමං කියනවා වගේ. හිත ඇතුළෙ තෙරපෙන සිතිවිලි අන්දරය තවත් දවසකට පැත්තකට තියලා යන්න වෙනවා දැනට. එහෙනම් ආයෙ හමුවෙමු.සතුටින් ඉන්න...

NEWS

හිතට දැනෙන දේ | බැඳීම් අතර එතුණු මිනිස්සු…

  • Date: 2022-05-11