Blog



මිදුලේ පේර ගස යට බංකුවේ ඉඳගත් උදුලා විමසිලි දෑසින් හාත්පස බැලුවා ය. ළඟදී ඉදිරී වැටුණු පොල් ගසේ සුන්බුන් තවමත් මිදුලේ තැන්තැන්හී ගොඩගසා තිබුණි. කලකට පෙර ගාම්භීර ලෙස වැජඹුණු කුඹුරේගම වලව්වේ පාලු මූසල බවක් ඇයට දිස්විණි. මෑතකදී සිදු වූ විපත් එහි සේයා ලෙස ඇයට හැඟුණි. වලව් වත්තෙන් ඉවත බැලූ ඇයගේ නෙත ගැටුණේ රාස්සිගේ රැස් ගඟුලේ ගිලී සිටින නීල කඳු පන්තිය හා කිරි වැදුණු වෙල් යායත් ය. මග දිගේ ආ ගැමි තරුණියක් උදුලාට මඳ සිනා පා ඉවත ගියා ය. වෙනදා වලව්වටත් වලව් වැසියන්ටත් ගැමියන් දක්වන ගෞරවය ඇයට සිහිවිය. වලව් මානයෙන් පිම්බුණු සිතැත්තියක් නොවුණ ද ඇයට ඒ බැව් සිහිවූයේ නිතැතිණි. උදුලාගේ වැඩිමහල් සොයුරා වූයේ වාසුළ ය. බාල සොහොයුරා වූ රන්දුණු විදේශගත ව ඉගෙනුම ලබන්නේ ය. දිනක් පාන්දර ජාමයේ සිහිනයෙන් බිය වූ වාසුළ විලාප නැගුවේ ය. ඉන් පසුවද ඔහු කෑගසයි. දොඩවයි. හිටිහැටියේ පැන දුවන්නේ ය. ඔහු පසුපස යන සිමියොන් හා ගැමියෝ එක්ව වාසුළ වත්තම් කරගෙන එති. ඇතැම්හු වාසුළ ගැන දුක් වුණහ. තවත් පිරිසක් වලව් මානය හිස තබාගත් මොවුනට සිනාසුණෝ ය. කිසිදු වෙද හෙදකමකින් සුව නොලත් හෙයින් අවසන වාසුළ මානසික රෝහලක නතර කිරීමට සිදු විය. තම පුතුට වූ විපත ගැන හා වලව්වේ මානයට වූ කැළල ගැන කම්පිත වූ ටිකිරි බණ්ඩාර ද ඊට මසකට පමණ පසුව මළේ ය. තම සැමියාගේ වියෝව හා පුතුගේ රෝගය පිළිබඳ සිතමින් කුමාරිහාමි ද රෝගීව පසුවන්නී ය. දැන් වලව්වේ සිටින්නේ රෝගී මවත්, උදුලාත් පමණි. බොහෝ කලක් වලව්වේ සේවය කරන ලයිසා හා සිමියන් ඔවුන් හා වෙසෙන්නාහ. දෙමසකට පෙර සිදු වූ විපත පිළිබඳව සිහි කරත්ම උදුලාට තනිකමක් පාළුවක් වගේම වේදනාවක් ද දැනිණ. දෙකොපුල හරහා කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. “සුදු මැණිකෙ බර කල්පනාවක වගේ.” උදුලාගේ දැහැන බිඳුණේ ලයිසාගේ හඬිණි. තේ කෝප්පයක් අතින් ගත් ඈ උදුලා අසලටම අවුත් උන්නා ය.  “මට අයියයි අප්පච්චියි මතක් වුණා ලයිසා.” කඳුළු පිරි දෑසින් යුතුව උදුලා කීවා ය. “කොහොම හිටපු උදවිය ද? මේ ටික දොහට වෙච්චි දෙයක්” කියමින් ලයිසා නිකටේ අත ගසාගෙන දුක් මුසු බැල්මෙන් ඈත බැලුවා ය. කඩුල්ල පැන කලබලයෙන් දිව ආ සිමියොන් හතිලමින් උදුලා අසල ඇන තබාගෙන වාඩි විය. “මොකෝ සිමියොන් මේ කලබලේ?” ඈ ඇසුවා ය. “අද මිල්ලගහ වත්ත එළි කරන්ට ගියානේ මැණිකේ.” “ඔව් ඒක මං දන්නවානේ සිමියොන්.” “පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ මැණිකේ.” ඇඟිලි තුඩින් නළලේ නැගි දහඩිය බිඳු පිස දමමින් සිමියොන් කීවේ ය. “මොකක්ද බං වෙලා තියෙන්නේ?” “තෙපරබාන්නැතුව කියපන්කෝ.” ලයිසා ද කලබලයෙන් හා බිය මුසු ස්වරයෙන් ඇසුවා ය. “කැළේ කපන කොට අර ගල්පොත්ත ළඟ ලේ පැල්ලම් වගයක් තිබුණා. උදේ ඉඳලාම මහා කුණු ගඳකුත් තිබුණා. සතෙකුගේ වෙන්ට ඇති කියලයි හිතුවේ. ඒත් කැළේ කපනකොට පස් යට තිබුණු මිනියක් මතුවුණා. ඇත්තටම මැණිකේ ඒක මිනියක් නෙවෙයි. ඇට සැකිල්ලක්. මයෙ හිතේ මාස දෙක තුනක්වත් වෙනවා ඇති.” “මළ කඳ ගෑණියක්ගෙ ද පිරිමියෙක්ගෙ ද?” ලයිසා ඇසුවා ය. “පිරිමියෙක්ගේ.” ඔහු කීය. “මට හිතෙන්නේ මැණිකේ මොකෙක්හරි ගල බිඳලා වගේ.” සිමියොන්ගේ කතාව ඇසූ උදුලාගේ දෙනෙත් විශාල විය. “මොන අපරාධයක් ද මේ.” කියූ උදුලාගේ මුහුණ රත් පැහැ විය. “දළදා හාමුදුරුවනේ," කියමින් ලයිසා ද තම හිසේ අත ගසා ගත්තා ය. “මහ අපරාධයක් වෙලා ඇති මැණිකේ. පැමිණිල්ලක් දැම්මොත් හොඳා නේද?” ඒ ප්‍රකාශය සිමියොන් කීවේ කවුරුන් හෝ අසාගෙන ඇති ලෙස ඉතා සෙමින් ය. “මං මේ ඒක මැණිකෙගෙන් අහන්ට ආවේ.” සිමියොංගේ කතාවේ සත්‍යතාවක් ඇති බව ඇයට ද හැඟිණි. “හොඳයි උඹ ආරච්චි මහත්තයාට කියලා උන්නැහේ එක්කම පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාපන්. වෑගල වලව්වටත් දැනුම් දීපන්.” උදුලා එය කියා සිටියේ මිල්ලගහ වත්ත වෑගල මහප්පාට ද හවුල් ඉඩමක් බැවිණි. ලත් අවසරයෙන් සිමියොන් පිටවූයේ මිටෙන් හළ කුරුල්ලෙකු විලස ය. මේ පුවත ඇසූ මොහොතේ සිටම උදුලාගේ සිත යකාගේ කම්මල බඳු ය. මෙතෙක් කලක් කිසිවෙක් අත නො තැබූ නිධානයට අත තැබුවේ කවුරුන් ද යන්න ඇයට මහත් ගැටලුවකි. එසේම රෝගී මවට මේ පුවත කියම්දෝ නොකියම්දෝ යන සිතුවිල්ල අතර ඇයගේ සිත පොරබදන්නට විය. අවසන මවට කිසිවක් නො කීමට ඈ සිතා ගත්තා ය. වෑගල මහප්පා මේ පුවතින් කලබල වූ බව සිමියොන් කීවේ ය. උදෑසන බරාඳයට පැමිණි උදුලා දුටුවේ කහපාට රතු පාට මල් වැටුණු රෙදි ඇඳගත් ඇහැළ ගසත්, මැයි මල් ගසත් ය. කඳු වැටිය මීදුම් පොරෝනාව තවමත් ඉවත්කර නොතිබුණු අතර ළා හිරු රැස් ඒ මත රටා මවන්නට විය. කැළඹී තිබෙන ඇයගේ සිතට මඳ සිසිලසක් දැනෙන්නට විය.  එහෙත් පෙරදින සිදුවීම යළිත් ඇයගේ සිත සසල කරන්නට සමත් විය. කුමන හෝ මොහොතක පොලීසිය එනු ඇතැයි ඈ අපේක්ෂා කළා ය.  “උදුලා, උදුලා, මෙහෙට ආවනං.”  අම්මාගේ හඬට කීකරු වූ උදුලා ඈ වෙත ගියා ය. “අප්පච්චිගේ කන්තෝරු කාමරේ මේස ලාච්චුවේ තියන වලව්වේ ඔප්පුතිරප්පු ටික මෙහාට ඇන්න එන්ට.” අම්මා කීවා ය. “ඇයි අම්මා මේ හදිසියේ ඒවා හොයන්නේ.” “හදිස්සියක් නෑ. ගිහින් ඇන්න එන්ට.” උදුලාට අම්මා අණ කළා ය. සොල්දරයේ වූ කන්තෝරු කාමරයට ද ඈ ගියේ අම්මාගේ හදිසි ඉල්ලීම පිළිබඳව සිතමින් ය. නිවස තුළටත් වඩා පාළු ස්වභාවයක් කාමරය තුළ උදුලාට දැනෙන්නට විය. ඔප්පු සෙවූ උදුලාට එහි තිබී ලිපියක් හමු විය. එය අප්පච්චී විසින් රන්දුණුට ලියන ලද්දකි. ලිපිය ලියා තිබුණේ අප්පච්චී මියගිය දිනට පෙරදින රාත්‍රියේ ය. වෙනත් කෙනෙකුගේ ලිපියක් කියවීම නො සුදුසු වුව ද ඇයට මෙම ලිපිය කියවන්නට සිත් විය. මන්ද අප්පච්චී ද මිය ගොස් ඇත. එසේම එහි මිල්ලගහවත්ත ගැන ලිය වී තිබීම ඇයගේ කුතුහලයට ද හේතු විය. වාසුළ සූදුවටත් මත් පැනටත් ඇබ්බැහි වූවෙකි. වලවුවේ බොහෝ ඉඩකඩම් විකුණා දැමීමට පවා සිදු වූයේ වාසුළගේ සූදුවත්, මත්පැනත් නිසා ය. එහෙයින් මොවුන් බොහෝ කලක සිට මුදල් අගහිඟකම්වලින් ද පෙළෙන්නට වූහ. දිනක් මිල්ලගහ වත්තට ගිය වාසුළට ගල්තලාව දැක නිධානය ගොඩ ගැනීමේ ආශාවක් පහළ විය. විඳින්නට වූ අගහිඟකම්වලින් මිදීමට ද හැකිවේ යැයි ඔහු සිතන්නට ඇත. ඔහු අප්පච්චීට ද තම අදහස පවසා පෙරැත්ත කොට ඔහු ද ඊට කැමති කරවාගෙන ඇත. මේ කටයුත්ත තම නිවසේ සෙස්සන්ටත් ඉඩමේ හවුල්කාර වෑගල වලව්වටත් රහසක් ලෙස තබා ගැනීමට දෙදෙනා කටයුතු කර ඇත. අප්පච්චී හඳුනන සේන නම් යකදුරෙකු ද  මාතරින් ගෙන්වා ගත්තේ ය. සුදුසු දිනයක වේලාවක් සකසා ගත් පසු ඊට අවශ්‍ය කළමනා හා සත්ත්ව බිලි ආදිය සූදානම් කරගෙන ඇත්තේ ද රහසේම ය. සෙනසුරාදා දිනයක නිධානය ගොඩගෙන ඇත. නිධානයෙන් රන් බුදු පිළිමයක් හමු වී ඇත. සේන තම කොටස ලෙස වස්තුවෙන් දෙකෙන් එකක් ඉල්ලා ඇති අතර ඊට එරෙහි වූ වාසුළ ඔහු හා කෝප වී බහින්බස් වී ඇත. තමන් සතු ගුරුකම් බලය යොදා ගැනීමට උත්සහ කළ සේන වාසුළගේ කඩු පහරින් මැරී වැටුණි. ටිකිරි බණ්ඩාර සහ වාසුළ එක් වී මළ කඳ එහිම වලක් හාරා වළදමා ඇත. කිසිවෙකුටත් හසු වුවහොත් මෙතරම් අමාරුවෙන් ලබාගත් වස්තුව අහිමි වේ යැයි ලෝබ වූ වාසුළ අප්පච්චිගේ ද වචනය නොතකා පිළිමය උණු කළේ ය. සේන මිය ගිය මොහොතේ ඔහුගේ දෑසේ රැඳී තිබුණු වේදනාව හා ක්‍රෝධය දෙදෙනාගෙම සිත් පසුව ද බියපත් කළ අතර සතියක් පමණ ගතවන විට වාසුළ උන්මන්තක රෝගියෙකු බවට පත් විය. ටිකිරි බණ්ඩාර සිතා ඇත්තේ නිධානය ගොඩ ගෙන බුදු පිළිමය උණු කිරීම තම පරපුරටම සාපයක් වන කටයුත්තක් වන බව ය. එසේම මරා දැමූ ගුරුන්නාන්සේගෙන් ද ඔවුනගේ සිත්වලට ගැලවීමක් නො වී ඇත. උදුලාට මේ ලිපිය කියවන විට සිහිවූයේ අප්පච්චී ද දින කීපයක් ම “මාව මරණවෝ” කියමින් රෑ හීනෙන් බිය වී කෑ ගැසූ සිද්ධි කීපයකි. වාසුළ ද මෙසේ කෑ ගැසූ වාර අපමණ ය. සිතේ වූ බරින් හෑල්ලු වීමට ටිකිරි බණ්ඩාර මේ ලිපිය රන්දුණුට ලියන්නට ඇතැයි උදුලා සිතුවා ය. උදුලා ලිපිය කියවා අවසන් වනවිට ඇයට කිසිවක් අදහා ගත නොහැකි විය. ඇයගේ සියොළඟ වෙවුළන්නට විය. කාමරයෙන් ඉවතට ගිය උදුලාට අවට තිබූ සියල්ල කැරකැවෙන්නා සේ දැනිණි. ඒත් සමඟම පාත මාලයෙන් ලයිසාගේ ළතෝනිය ඇයට ඇසිණ. “සුදු මැණිකේ, කුමාරිහාමිට හොඳටම අමාරුයි.”

NEWS

විභව කෙටිකතා | නිධානයේ සාපය

  • Date: 2022-05-12